Thursday, December 12, 2013
කොළඹ යුගයේ කවිය
කොළඹ යුගයේ කවිය
කොළඹ කවීන්ගේ ජීවන පසුබිම සහ කවියෙන් ඔවුන් ස්පර්ශ කරන ලද අනුභූති හා භාෂා ව්‍යවහාරය ම`ගින් කොළඹ කවියේ රුව ගුණ පිළිබඳ අදහසක් ඇති කරගත හැක. එම කවීන් ලද අධ්‍යාපනය, ඇසුරු කළ සාහිත්‍යය නිර්මාණ හා ඔවුන්ගේ ජීවිත අභිලාස මෙහිදී අමතක කළ නොහැක.මේ තීරණාත්මක සාධක විසින් කොළඹ කවියේ ස්වභාවය හෙවත් කොළඹ කවියාගේ ගමන් දිශාව නිශ්චය කරන ලදි. සහෘදයාට තමන් අවට ඇති හාත්පස ලෝකය ජීවිතය දැක ගනු සැළැස්වීම පිණිස, විඳගනු සැළැස්වීම පිණිස කාව්‍යය රචනා විය. එය රසිකයන් විසින් ඉල්ලා සිටි කාර්යයක් විය.
එම කාර්ය්‍ය සාඵල්‍යය කිරීමේ පුරෝගාමී මෙහෙවරක් විමලරත්න කුමාරගමගේ අතින් සිද්ධ විය. අනෙකුත් කවීන්ට වඩා විමලරත්න කුමාරයන්ගේ කවිත්වය කිසියම් මට්ටමක අවධානයක් විචාරකයන්ගෙන් හිමි විය. කුමාරගමයන් සාමාන්‍ය පන්තියේ පුද්ගලයෙකි. ඔහු අඛන්ඩ ඉගෙනීමේ කටයුතු වල නිමග්න වීමෙන් පිබිදුණු පුද්ගලයකි. මේ නිසා සමාජය හා මනුෂ්‍ය ජීවිතය යථාර්ථවාදීව දැකීමට අවශ්‍ය චින්තය ශක්තිය කුමාරගම සතු විය.
කුමාරගමයන් කාව්‍ය නිර්මාණයේදී තාගෝර්ගේ කාව්‍යය ආභාසය ලැබූවෙකු බව පෙනේ. එම නිසා කුමාර ගමයන්ගේ කාව්‍යය නිර්මාණ කවි කතන්දර ස්වරූපයෙන් නිර්මාණය වී ඇත. ඔහුගේ නිර්මාණවල බොහෝ සෙයින් මානව භක්තිය ස්මතු කරුනු ලැබේ. යම් යම් අවස්ථාවලදී මානව භක්තිය නිර්මාණයේ දී කවියාගේ සංයත බව ගිලිහුණ ද සාර්ථක නිර්මාණයක් බිහි කිරීමට කුමාරගමයන් ප‍්‍රයත්න දරා ඇත. කවිය ම`ගින් හුදු කතන්දරයක් කීමම ප‍්‍රාමාණික නොවූවකි. ඒ හරහා යම් ව්‍යංගාර්ථයක් ඇති කිරීම කවියාගේ දක්‍ෂතාවයකි. කුමාරගමයන්ගේ කවි කලාව තුළින් දයාව, අනුකම්පාව, මානව භක්තිය වැනි හැ`ගීම් පමණක් නොව ඒ හරහා තත්කාලීන සමාජ දේශපාලනික තත්ත්‍වය පිළිබඳ සියුම් නිරීක්‍ෂණයක යෙදී ඇති බව පෙනේ.
02.
කොළඹ කවිය ලෙස අප හඳුනා ගන්නා කවි යුගය, ලංකා ඉතිහාසයේ කොළඹ යුගය ලෙස නම් කර ඇති කාලවකවානුව තුළ හමුවේ. කොළඹ යුගය වශයෙන් සාහිත්‍යයධරයන් වෙන්කර දක්වන්නේ 1815 සිට වර්තමානය දක්වා කාල පරිච්ෙඡ්දයයි.‘‘කොළඹ කවීහු සිංහල කාව්‍යය සම්ප‍්‍රදායේ විශාල පෙරළියක් ඇති කළහ. පැරණි කාව්‍යය සම්ප‍්‍රදායෙන් එතරම් දුරට නිදහස් වීමට තැත් කළ පිරිසක් ඊට පෙර පහළ නොවූ බව කිව යුතුය’’
‘‘කතා ව්‍යවහාරයයේ පවතින භාෂාව පදනම් කොට ගෙන මටසිළුටු වූ කාව්‍යය භාෂාවක් නිපදවීමේ ගෞරවය කොළඹ කවීන්ට හිමි වෙයි.රස නිෂ්පත්තිය යැයි යන මතය පැතිරීමේ ගෞරවය කොළඹ කවීන්ට හිමි වේ. උගතුන්ට පමණක් සීමා වී තිබුණු සිංහල කාව්‍යය පොදු ජනයා අතට පත්කිරීමේ ගෞරවය ද කොළඹ කවීන්ට හිමි වේ.’’ කොළඹ අවධියේ කවීන්ගේ පද්‍යය රචනා වස්තු විෂය, සන්දර්භය, ආකෘතිය හා භාෂාව ආදී කරුණු අතින් කරන විමසුමකදී කොටස් තුනකට බෙදා දැක්විය හැකිය.
01. කොළඹ යුගයේ වැඩිහිටි කවීන්ගේ පද්‍යය රචනා
02. කොළඹ යුගයේ තරුණ කවීන්ගේ පද්‍යය රචනා
03. හෙළ හවුලේ කවීන්ගේ පද්‍යය රචනා
එසේම කොළඹ කවීයේ ප‍්‍රථම හා ද්විතීය භාගය නියෝජනය කරන කවීහු කවරහු ද? ‘‘පැරණි කවි සමයට නොපටහැණි වූ අලූත් කවි රචනා කළවුන් අතර බෙන්තොට ඇල්බට් සිල්වා, පියදාස සිරිසේන, වී. ඞී. ද ලැනරෝල්, ආනන්ද රාජකරුණා, ජේ. පී. වික‍්‍රම තිලක, ජී. එච්. පෙරේරා, සෝමවීර චන්දසිරි ආදීහු නායකයෝ වූහ. අල්විස් පෙරේරා, සාගර පලන්සූරිය, මීමන පේ‍්‍රමතිලක, විමලරත්න කුමාරගම, විමලඛන්ති හිමියෝ, එච්. එම්. කුඩලිගම ආදිහූ පැරණි කවි සමය විසින් නොබඳිනු ලැබූ තරුණ කවි පරපුරේ නායකයෝ වූහ’’
කොළඹ කවීන්ගේ නිර්මාණ වලින් ඔවුන් පිට දුන්නා වූ සමාජ, ආර්ථික, දේශපාලනික වටපිටාව හෙළි පෙහෙළි කර ගැනීමට යම් අනුබලයක් ලැබේ. මේ අනුව කොළඹ කවියේ විවිධ සමාජ කොටස් නියෝජනය කරමින් විවිධ විසිතුරු වස්තු විෂයන් සහ කාව්‍යය භාෂාවන් යොදා ගනිමින් නිර්මාණ කරණයෙහි යෙදුනේය.
03. විමලරත්න කුමාරගම මානව භක්තියකින් පද්‍යය කරණයේ යෙදුන නමුත් එම`ගින් සමකාලීන සමාජ - දේශපාලනික අර්බුදය සූචනය කළ අයුරු
කොළඹ යුගයේ කවීන් ලෙස හැඳින්වෙන නූතන විචාරක අවධානයට ලක් වූ වැදගත්ම කවියා විමලරත්න කතුමාරගමයි. වන්නි ප‍්‍රදේශයේ ආදායම් පාලක නිළධාරියෙකු වූ කුමාරගම තත්කාලීන කවීන්ට විෂය නොවූ අත්දැකීම් රැුසක් ස්වකීය කාව්‍යය රචනය සඳහා විෂය කර ගැනීම සිය වෘත්තිය ජීවිතය නිසාම සමත් වී යැයි කිව හැකිය. ඔහු තමා ජීවත් වූ යුගයේ කවීන්ගේ රචනා සම්ප‍්‍රදායට බොහෝ දුරට නෑකම් පෑව ද, එයින් විමුක්ත වීමට දැරූ උත්සහය සුළුපටු නොවේ. ඔහු කාව්‍යයේ වස්තු විෂය මෙන්ම ආකෘතිය සම්බන්ධයෙන් ද වැදගත් ප‍්‍රවනතා කිහිපයක් සලකුණු කළේය. කුමාරගමගේ සාර්ථක පද්‍යය රචනා සියල්ලෙන්ම මූර්තිමත් වන්නේ නිර්ව්‍යාජ අත්දැකීම් විෂය කර ගැනීමට සමත් වීම හා මානව භක්තියයි. දිළිඳු ගැමි ජන ජීවිතය දෙස ඔහු දයාවෙන් නෙත් හෙළීය. එමගින් තත්කාලීන සමාජ දේශපාලණික අර්බුදය ද සූචනය කළ අයුරු විද්‍යමාන වේ.
‘‘කුමාරගම බහුජනතාව වෙනුවෙන්, බහුජනතාව සඳහා කවි ලියූ බව අපි කීවා. එම නිසා කුමාරගම - බහුජනතාව- සමාජ ඉතිහාස යැයි අතර දැඩි බැම්මක් පවතී. ඔහු ජීවත්ව සිටි සමය තේරුම් නොගෙන ඔහු තේරුම් ගත නොහැකිය. කුමාරගමගේ කාව්‍යාවලිය ඔහුට ආවේණික ආකාරයෙන් තම සමය හා සංවාදයක් පැවැත්වීම ඊට ප‍්‍රතිචාර කිරීමකි. මෙහිදී සමය වශයෙන් අප හසුකරගන්නේ 1930 සිට 1970 දක්වා වූ දශක හතරය. සමයේ ප‍්‍රමුඛ දේශපාලන - සමාජ - ආර්ථික - සංස්කෘතික අභියෝග, දිගුකාලීන ව්‍යාපාර නැතහොත් අරගල තුනක ස්වරූප ගන්නවා. එනම් අධිරාජ්‍ය විරෝධී, වැඩවසම් විරෝධී හා ධනවාදී විරෝධී ව්‍යාපාරයි. මේ ව්‍යාපාර තුනම කැටිකර බහුජනතා ව්‍යාපාරය වශයෙනුත් හැඳින්විය හැකිය. මේ ව්‍යාපාර මෙහෙයවපු බලවේගය, බහුජනතාවයි’’
කුමාරගමගේ සම්පූර්ණ කවිවල සමස්ත අන්තර්ගතය ගොඩනැ`ගී ඇත්තේ එහි සඳහන් ප‍්‍රධාන ගුණයන්ගෙන්ය. ඔහුගේ කවියේ උත්තරීතර හා අසමසම සාධනය ර\ පවතින්නේ මේ සමස්ත අන්තර්ගතය උඩය.‘‘කුමාරගමගේ යථාර්ථවාදය අංග කිහිපයක එකතුවකි. පළමුව තමාගේ කවිවලට විෂය වන සෑම අත්දැකීමකට යථාර්ථය නිර්දය ලෙස ලූහුබඳින සුලූ ගවේෂණාත්මක ආකල්පයක් ඔහු සතු විය. නිරතුරුව හා දැනුවත්ව ඔහු එම අත්දැකීම් වලදී ඒවාට ආවේණික හරය සාක්‍ෂාත් කිරීමට යත්න දරයි. මතුපිට පරයා ඇතුළත, විවෘතය පරයා අවිවෘතය, සරලත්වය පරයා සංකීර්ණත්වය කරා හාරා ඇවිස්සීමක් ඔහු අතින් හැමවිටම සිදු විය. දෙවනුව, ඔහු යථාර්ථය ග‍්‍රහණය කරගන්නේ එකී සංකීර්ණත්වය රකිමිනි. සමාජය යථාර්ථය තුළ පුද්ගල යථාර්ථයත්, පුද්ගල යථාර්ථයත් තුළ සමාජ යථාර්ථයත් අඩු - වැඩි වශයෙන් ඔහු නිසි සමබරතාවයකින් ග‍්‍රහණය කළා. තෙවනුව, ඔහුගේ යථාර්ථවාදයේ ප‍්‍රබලම අංගයක් වූයේ අතිශය විචාරවත් බුද්ධි ශක්තියක් හා එකට සමායෝග වූ අතිශය සංවේදනාත්මක හැ`ගුම් ශක්තියකි. ඔහුගේ හැම සිතුවිල්ලක්ම ප‍්‍රශ්න කිරීමක්, හැම ප‍්‍රශ්න කිරීමක්ම හැ`ගුමෙන් තෙත් වුණකි. කුමාරගමගේ දෘෂ්ටිය නූතනත්වයට බොහෝ සෙයින් ඉවහල් වන්නකි’’ සමාජ යථාර්ථය ‘බර, හරක් හොරා, හේරත් හාමි, අය්යනායක’වැනි නිර්මාණ තුළින් ද පුද්ගල යථාර්ථය නිරූපිත ‘තොටිල්ල, නැකත, මුනිදුන් පුදන්න, ස\’ආදී නිර්මාණ තුළින් ද හඳුනාගත හැක. කුමාරගමගේ බුද්ධි ශක්තිය, හැ`ගුම් ශක්තිය, පළවූ හර පද්ධතිය මානවීය වාදය ලෙස නම් කළ හැකිය. මිනිසා හා සමාජය පිළිබඳ ඔහු අදහපු ස්ථාවරය මේ මානව වාදය හරහා උකහගත හැක. ඔහුගේ සදාචාරාත්මක දැක්ම ද ඉන් විකාශනය වූවකි. ඔහුගේ දර්ශනයේ මුල මැද හා අග මිනිස්කමයි.
‘‘විමලරත්න කුමාරගම කවියාගේ කවීත්වය පිළිබඳ ස්වර්ණමය යුගය වශයෙන් ගැනෙන්නේ ඔහු වන්නියේ ගත කළ යුගයයි. කුඩා දරුවෙකු මවගේ තුරුල්ල ප‍්‍රිය කරන්නාක් මෙන් ඔහු වන්නිය ප‍්‍රිය කළේය. ඔහුගේ හදවත නිසරු කටුක මළානික වන්නියේ වෙසෙන අගහි`ගකමින් පිරුණු, ලෙඩ රෝගවලින් පිරුණු, අසරණ ජනතාවගේ දුක්බර ජීවිත වීණාවේ ගීතය බවට පත්ව තිබුණි. වන්නියේ අමිහිරි දුගී ජීවිතයේ හැම පැත්තක්ම කුමාරගමගේ පෑන් තුඩට හසුවිය’’ ඔහුගේ ‘කවුද ගෙදර’ නිර්මාණය තුළින් ඒ බව ගම්‍යමාන කරගත හැකිය.
‘‘අව්වට මැරී කුඩ මැස්සන් කුණු වෙනවා - දිය තලමින් කන කොක් වැල පොරකනවා
අලි බෙටි හරක් බෙටි වතුරට දියවෙනවා - අලියා වැටුණු වැව මේ වැව් දිය බොනවා
අලියාවැටුණු වැව ගැන තොරතුරු අසන - මා ඉදිරියේ ඔහුගේ දරුවන් දෙදෙන
අවුදින් බලා හිටියා කවුතුක කමින - යටවී ගියා පිළිකුළ හද නැ`ගි දුකින’’
ගිනි ගහන වන්නියේ වෙසෙන මිනිසුන්ගේ දුක්ඛාන්තය කුමාරගම මානව භක්තිය ජනනය වන අයුරින් චිත‍්‍රණය කොට ඇත. වන්නියේ මිනිසුන්ගේ ජන ජීවිතය කෙතරම් කටුක ද යන වග ‘අලි බෙටි හරක් බෙටි වතුරට දියවෙනවා’ ආදී වශයෙන් පානය සඳහා ගන්නා දිය බිඳ පවා අපිරිසිදු තත්ත්‍වයක ඇති බව පෙනේ. කවියා ඉදිරියේ සිටින දරුවන් දෙදෙනා දෙස බලා සිටීමෙන් කවියා ලබන මානසික වේදනාව පැහැදිළිය. දරු දෙදෙනාගේ ඇ`ග හැම තැනම කොරපොතු, මාන්දම් ගඩුය, දෙතොල වණ වී ඇත. මෙසේ ඉතාමත් දුක්ඛිත තත්ත්‍වයට පත්වී ඇති බව කවියා මෙහිදී ප‍්‍රකාශ කරයි. කවියා පෙන්වා දෙන්නේ එය කුමක් නිසා සි¥ වී ද යන වග නම්
‘‘ආහාරයේ වරදිනි මේ දෙය වන්නේ - යන වග අනේ! මේ අය කෙලෙස ද දන්නේ
උණ ගෙඩිවලින් ඉදිමුණ බඩගෙඩි උන්නේ - කොහොම ද දෙපා උඩ රඳවාගෙන ඉන්නේ’’
මෙවැනි දුකකට මොවුන් පැමිණ ඇත්තේ ඔවුන් පරිභෝජනයට ගන්නා ආහාර නිසා බව කවියා ප‍්‍රකාශ කරයි. නමුත් ඒ වග ඔවුන්ට අවබෝධයක් නැත. මන්දපෝෂණයෙන් පෙළෙන මේ දරුවන් ‘කොහොම ද දෙපා උඩ රඳවාගෙන ඉන්නේ’යනුවෙන් ඉදිමුණු බඩ දෙපාමත රඳවාගෙන සිටීම ද පුදුමයට කරුණක් ලෙස කවියා දකියි. වන්නියේ මිනිසුන්ගේ පෝෂණ තත්ත්‍වය කෙබඳු ද යන වග පැහැදිළිය. මේ තුළින් ගම්‍ය වනුනේ කවියා පෙන්වා දෙන තම අභිමුඛයේ සිටින දරුවන් දෙදෙනා ගැන පමණක් නොව සමස්ත වන්නියේ ජනතාවම සිහිකරගෙන බව වටහා ගත හැකිය. මේ කවි පන්තිය තුළින් මානව භක්තිය ජනිත වීම පමණක් නොව එම`ගින් ධ්වනිත වන සමාජ දැක්ම ද විමසිය යුත්තකි. සමාජය තුළ නාගරිකව හෝ ග‍්‍රාමීයව වෙසෙන ධනපතියන් තම බඩගෝස්තර වාදය මත ජීවත් වන පිරිසකි. සමාජය තුළ අන්ත අසරණභාවයට පත්වුණු මිනිසුන් දෙස සානුකම්පිතව බැලීමට තරම් එවැනි මිනිසුන්ගේ හදවත සසළ නොවන බවක් පෙනේ. දේශපාලනිකව බැලූ කල ද පෙනී යන්නේ මහජන නියෝජිතවයන් යැයි සැළකෙන පිරිස මහජනතාවගේ සුබසාධන ක‍්‍රියාවන් පිළිබඳ දක්වන අඩු අවධානයයි. දේශයේ මිනිස් පරපුර රැුකීමේ අභිලාසය ඔවුන් අතින් ගිලිහී ගොස් ඇත බව පෙනේ.
‘‘...මේ දරුවන්ට දෙවියනි! මේ කිම ද වුනේ - මුන් හා සොහොන අතරේ මොන දුරද අනේ!’’
ගිනි ගන්නා වන්නියේ ඉපිද වන්නියේම මිය යන අසරණයන්ගේ ජීවිතයේ අඳුරු පැත්ත මෙසේ ශෝකී හැ`ගීම් වලින් සමාජය ඉදිරියට ගෙන එන හැම මොහොතේම කුමාරගම සිටියේ ඔවුන්ගේ කඳුළුවල දැවැටී, ඔවුන්ගේ සුසුම් අතරේ දියවෙමිනි. දුක්බර අසරණ ගැමියන්ගේ අගහි`ගකම් මධ්‍යයේ ශෝක වීණාව හැ`ඩවූ කුමාරගම කවියාගේ ආත්මය වන්නියේ අඳුරු සෙවනැළි සම`ග එක්වී දෝංකාර නංවනු අපට ඇසිය හැකිය.
‘‘ විමලරත්න කුමාරගම ‘හපුමලී’ රචනා කරන්නේ අනිත් තරුණ ලේඛකයෙකු මෙන්ම සංවේග ජනක කථාවක් කියනු පිණිසය. ඔහුගේ මේ කාව්‍යයට ‘පපු ඇට පෙළට හදවත පැන පැන ඇන්නා, හදවත උණුව ආ සෝකී සුසුම් හෙළා, තිරිසනෙකුටත් වඩා නින්දිත කෙනෙකි, හ`ඩ හ`ඩා වැළපි වැළපි, ...උදුනක ගින්න කා වියළි සුමුදු පෙති’ වැනි පදමාලා පිවිස ඇත. ඔහු දැනුමෙන්, අත්දැකීමෙන් හා වයසින් ද පැසෙන විට තම ශක්තිය හික්මවතියි සිතෙන පද්‍යය මේ කාව්‍යයෙහි ද දක්නා ලැබේ’’ කවියා මුලින්ම ස්ත‍්‍රී වර්ණණාවෙන් මේ පද්‍යය පන්තිය ආරම්භ කරයි. කවිකථා ස්වරූපයෙන් මෙය ඉදිරිපත් කෙරෙයි. ස්ත‍්‍රිය වර්ණණාවේදී කවියා ඈ ඉතා අහිසංක සුන්දර යුවතියක් ලෙස නිරූපණය කිරීමට උත්සහ දරා ඇත. එය කියවන පාඨකයාට වුවද ඇය පිළිබඳ හැ`ගීමක් ඇතිවන ලෙසට එය නිරූපණය කොට තිබේ.
‘‘ඇගෙ පා වලට යටවී වන මල් නැළවේ - තුඟු ළැම පෙදෙස යන එන ගමනට සෙලවේ....’’
ගමේ රාලහාමි පිළිබඳ විස්තර කිරීමේදී කවියා නොසන්සුන් වුවද මේ තුළින් සමාජ යථාර්ථය මනාව ස්පුට වේ.
‘‘ගමේ රාල මහ බලවත් කෙනෙකු නිසා - මුළු ගම සිටී නිහ`ඩව අවනඩුද අසා
ඔහු අසතුටු කරපු අය හිරගෙයක වසා - පසුවිය යුතුය කළු ගලකට පහර ගසා’’
ගලපිට ගමේ රාලගේ චරිතය පොදුවේ හැම ගමකම විසූ මිනිසෙකුගේ නරක ගති පමණක් කැටිකොට දක්වන්නකි. ගම් ප‍්‍රධානියා බලවත් කෙනෙකු නිසා අහිංසක ගම්මු කුමන අවනඩුවකදී වුවද හිස නමාගෙන සිටිති. ඔහුට විරුද්ධ වීමට කිසිකෙනෙකුට නොහැකිය. එසේ කළ හොත් සිදුවන ප‍්‍රති විපාකය කවියා අපූර්වට නිරූපණය කොට ඇත.‘පසුවිය යුතුය කළු ගලකට පහර ගසා’ සිරගෙයක ලැගීමට පමණක් නොව බරපතල වැඩ ද සහිතව එය විඳීමට සිදුවේ. කවියා මේ පද්‍යය පන්තිය හරහා තත්කාලීන සමාජ දේශපාලනික තත්ත්‍වය පිළිබඳ ව්‍යාංගාර්ථව ඉදිරිපත් කරනු ලබයි. ගැමි මුවඟ රැුඳුණු ව්‍යවහාරයක් නම් ‘‘නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගේ’’ යන යෙදුම මනාව සැසඳේ.මොහු තම නම්බුව හිස මත තබාගෙන එය ආභරණයක් ලෙස භාවිත කොට ඇත. ධනපති පන්තියේ ස්වභාවය මනාව ඉස්මතු වේ. අසරණ ගැමියන්ගේ වතුපිටිවල අයිතිය මොහු කූට අන්දමින් ලබා ගනියි. තම බලය පාවිච්චි කොට සොරුන්ට පවා රැුකවරණය ලබාදී තිබේ. එම නිසා සමකාලීන සමාජ දේශපාලනික පසුබිම කුමක් ද යන්න වටහා ගත හැකිය. විචාරක මතය අනුව සෑම මිනිසෙකුම දේශපාලන සත්වයෙකි. ඒ අනුව එම රාජ්‍යය තුළ ජීවත් වන ඒ දේශපාලනික සත්ත්‍වයා ආරක්‍ෂා කිරීමට පවතින පාලක පක්‍ෂය තටයුතු කිරීම එහි වගකීමයි. නමුත් ඔවුන් අසරණයාට තවත් අසාධාරණ කම් සිදු කරන්නේ නම් එය විශාල සමාජ ප‍්‍රශ්නයකි.
හපුමලී ¥ෂණය කිරීමේ සිදුවීම හරහා පාඨකයාට ඇය කෙරෙහි අනුකම්පාවක්, අනේ අපොයි! යන හැ`ගුමක් ඇතිවනු ඇත.
‘‘හ`ඩ හ`ඩා වැළපි වැළපී ගෙහිමි ල`ග-ඈ කිවු නමුත් ගම බැලූමට නොහැකි වග
නොතකා ඇයගෙඅසරණ දුක් සුසුම දිග - ඒ කුහකයා පෙන්විය ගේ අසළ ම`ග’’
ඇයගේ විලාපය දෝංකාර දුන්න ද ඇයට පිහිට වීමට කිසිවෙකු නොමැත. නව යටත්වාදී යුගයේ පැවැති අසාධාරණයන් හමුවේ මුනිවත රැුකගැනීම විනා කළ යුතු යමක් නැති බව පෙනේ.අසරණයාට වෙනත් නීතියක් ද බලවතාට තවත් නීතියක් ද පැවැතීම නිසා සිදුවන අසාධාරණ කම් එහිම වැළලී යනු ඇත. මවු කෙනෙකුට වුවද කිසිම සරණක් නැති ගරු සැළකිල්ලක් නොමැති කල මැයගේ ශෝකන්තය ද එක් සිදුවීමක් ලෙසට සැළකිය යුත්තක් බව සිතා කවියාට සිත හදාගැනීමට සිදුවේ.
සාහිත්‍යය කරුවා තමා ජීවත් වන මනුෂ්‍ය සමාජය ගැඹුරින් නිරීක්‍ෂණය කළ තැනැත්තෙකු වී නම් ඔහුගේ නිර්මාණ මනුෂ්‍ය ජීවිතය අර්ථවත් කරයි.‘‘කවර ලේඛකයෙකුට වුව සමකාලීන සමාජ ඓතිහාසික බලවේගයන්ගෙන් ඈත් වී උසස් වූ ද අර්ථවත් වූ ද නිර්මාණයක් කළ හැකි නොවේ. සාහිත්‍ය සමාජයේ අර්ථවත් දර්පණ තලයකැයි හඳුන්වනු ලැබුවේ එහෙයිනි. නියම සාහිත්‍යය නිර්මාණයකින් එක් අතකින් අවංකවත් පැහැදිළි ලෙසත් මිනිස් ජීවිතයේ සත්‍යය පිළිබිඹු කෙරෙන අතර අනෙක් අතින් එම කෘතිය පහළ කළ සමාජයේ ක‍්‍රියාත්මක වන්නා වූ විවිධාකාර බලවේගයන් ද පිළිබිඹු කෙරෙයි. එමතු නොව එම නිර්මාණය පහළ කළ යුගයට අයත් මිනිසාගේ දුර්වලතා හා ප‍්‍රබලතා මෙන්ම ප‍්‍රාර්ථනා හා අපේක්‍ෂා ද ධ්වනිත කෙරේ’’
සාහිත්‍යයෙන් ප‍්‍රකාශවන ශක්තිය එක් එක් සැබෑ පුද්ගලයා හෝ සිද්ධි පිළිබඳ සත්‍යය නොව පොදු සමාජය පිළිබඳ සත්‍යයකි. සමාජ සමස්තාර්ථය පිළිබඳ සත්‍යයකි. මිනිසා පිළිබඳ සත්‍යයකි.
‘හේරත් හාමි’පද්‍යාවලිය මුහුකුරා ගිය ශක්තිය, දෘෂ්ටිය, නුවන හා මානව භක්තිය ද හෙළි කරන රචනයකි. ඒ පද්‍යාවලියට වස්තු වන්නේ පොතපතින් ලත් අත්දැකීමක් නොව ඔවුම පසක් කරගත් අත්දැකීමකි. අනෙක් පොදු උගතුන්ගේ නාසය හකුළුවන ඒ අත්දැකීමෙහි සැ`ගවුණු සුන්දරත්වය ඔහු දකින්නේ ලෝකයෙහි වරද නිසා පාපයෙහි ගිලූණකුගේ නිර්මල ආධ්‍යාත්මය දකින්නකු ලෙසිනියි හැෙ`ග්. කුමාරගම බොළඳ හැ`ගීමකින් ගැමියන්ගේ හා දිළින්දන්ගේ චරිත දකින්නෙක් නොවේ. වැටහෙන නුවනින් හා දයානුකම්පාවකින් ඔවුන්ගේ චරිතයන්ගේ හොඳ නරක දකින්නෙකි. ඔහු ‘හේරත් හාමි’ පාඨකයාට හඳුන්වන්නේ බොළඳ හැ`ගීමෙන් වීර චරිතයක් නිපදවන්නකු ලෙස නොවේ. මනුෂ්‍ය චරිතය තැන්පත් නුවණින් සළකන්නෙකු ලෙසිනි.
‘‘අවනත සිනහා රැුළි වත නිතරම පතුරයි- හැම වදනක්ම අවිහංසකවම මතුරයි
හැමදා වගේ සවසට බොන ගිනි වතුරයි - ඔහුගේ පපුව දැඩි කරුණාවෙන් උතුරයි’’
හේරත් හාමි හවසට ගිනි වතුර බොතත් ඔහුගේ පපුව දැඩි කරුණාවෙන් උතුරයි. ගිනි වතුර, පපුව යන ගැමි වහර කරුණාවෙන් උතුරන හේරත් හාමිගේ පපුව කරුණාව නිසා ද දැවෙයි යන අරුත ද ධ්වනිත කරයි. මහත් දයාවකින් ගැමියන්ගේ හොඳ ගති මෙන් දුබලකම් ද හෙළිකරන කුමාර ගමගේ දෘෂ්ටියෙහි එක් පැත්තක් හේරත් හාමි පද්‍යාවලියේ අවසාන පද්‍යයෙන් හෙළි වේ.
‘‘නූපන් නිසා ධනවත් මහරු පායක - පන්සල වෙතට යයි හැම විටම පෝයක’’
බුදුන් අදහමින් අය්යනායකට වැඩි සැළකිළි දක්වන හේරත් හාමී කුමාරගමගේ සදයසිනහවට භාජනය වේ. මහා ධනපති පන්තියේ ස්වභාවය මෙහිදී පෙන්නුම් කරයි. සතර පෝයටම සිල් ගන්නේ ඉතා දුක් මහන්සියෙන් දෛණික ජීවිතය ගැටගසා ගන්නා පවුල්වල උදවියයි.මෙය තත් සමාජය මෙන්ම වර්තමාන සමාජයේ තත්ත්‍වයට ද සමාන ලක්‍ෂණයක් බවපෙනෙයි. ගොවි - කම්කරු - රදළ - උඩරට කිසිම කුලයක කෙනෙක් නොකරන රැුකියාවක් ඔහු කරයි. රෝහලේ මෝචරියේ සේවය කරන ඔහු කිසි විටෙක සතෙකුට වත් හිරිහැරයක් නොකරන අයෙකි. සමාජ යථාර්ථය මැනවින් ස්මතු කළ පද්‍යය පන්තියකි හේරත් හාමි.
කුමාරගමගේ ‘ආගන්තුක සත්කාරය’ නමැති පද්‍යය පන්තිය තුළින් ග‍්‍රාමීය ජනයා තුළ පවතින මානසික ගුණයන් මනාව ස්මතු කෙරේ.
‘‘පෙර දැක නොමැති මුත් සුන්දර හාමි විසින් - මගෙ තොරතුරු ඇසූ හැටි හිතවතෙකු ලෙසින්....’’
කිසි දිනෙක නොදැකපු ආගන්තුකයා තමාට හුරු පුරුදු අයෙකු ලෙසින් ගැමියා සලකයි. නමුත් නාගරිකයා ඒ ආගන්තුක සත්කාරයෙන් පසු ගැමියාට මුදලින් සැළකීමට උත්සහ දැරීමේ අවස්ථාවේදී නාගරික සමාජය හා ග‍්‍රාමීයව සමාජයේ පැවැති ගති ලක්‍ෂණ මොනවට පැහැදිළි වේ. එයින් ගම්‍ය වනුයේ ගම හැම අතින්ම පාරිශුද්ධ සමාජයක් බව නොවේ.
කුමාරගම අත්‍යන්තයෙන්ම ගවේෂකයෙකු වීය. ඔහුගේ සෑම හොඳ කවියක්ම වාගේ යථාර්ථය ගවේෂණය කිරීමකි. යථාර්ථය අලූතින් සොයා ගැනීමකි. තමා සමගත් සමාජය සමගත් සීමා රහිත හා නිරන්තර අරගලයක් ගෙන ගිය කුමාරගමට ඉතා බල සම්පන්න හැ`ගුම් මහිමයක් තිබුණි. ඔහු එය නොකඩවා නව අරමුණු කරා සංවර්ධනයෙන් සංවර්ධනයට පත් කිරීම ඔහුගේම මනෝමූල ජයග‍්‍රහණයයි.
කුමාරගමගේ ‘දින පොත’ නමැති නිර්මාණයේ සඳහන් ප‍්‍රස්තුතය හරහා මානව භක්තිය ජනනය වන අයුරු කවියා ඉතා හොඳින් නිරූපණය කොට ඇත. පිලිකාවකින් පෙළුණු අසරණ කාන්තාවක් මැරෙන්න ප‍්‍රථම ප‍්‍රතිකර කළ යුතු යැයි සිතා රෝහලට ඇතුලත් කොට ඇත. එසේම සමකාලීන සමාජයේ පවත්නා මුල්බැස ගත් පාරම්පරික මතවාදයන් තුළ මිනිසුන් එල්බගෙන සිටි අයුරු මෙහිදී නිරූපණය කරයි. කළුවා වෙදාගේ දුවනිය මල්සර වීම නිසා පාසල් යැවීම නතර කිරීමට තීරණය කරනු ලබයි.ළමයාට ඉගෙන ගැනීමට තිබෙන එම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට තරම් තම දෙමාපියන් ද උත්සහ කොට තිබේ. යම් මතවාදයන් තුළ එල්ඹ ගෙන සිටීම එයට හේතුවයි. නමුත් මෙකල පැවැති දේශපාලනික ව්‍යූහය තුළින් සමාජයේ මිනිසුන්ගේ මූලික අයිතිවා්සිකම් වෙනුවෙන් හ`ඩක් න`ගනවා වෙනුවට තම සුඛෝපභෝගී ජීවිතය ගැන පමණක් සළකා ක‍්‍රියා කරනු ලබයි.
කුමාරගමයන්ගේ ‘කිරා’ නිර්මාණය මැනවින් සමාජ යථාර්ථය චිත‍්‍රණය කරන්නකි. කවි පන්තිය තුළ ඇති කරන මානව භක්තිය හරහා පාඨක මනස තුළ සංවේගය නමැති හැ`ගීම ජනනය කරනු ලබයි. කවියා පවසන පරිදි ඔහු වන්නියේ ජීවත් වන අවස්ථාවක දී යම් පිරිසක් අතින් පැටවකු සහිත එළදෙකනු ඝාතනය කොට උගේ මස් කා මත්පැන් බීගෙන විනෝද විය. ඇගේ පැටියා අසරණ විය. කවියා ඌ රැුගෙන රැුක බලා ගන්නා බව ඉන් අනතුරුව ප‍්‍රකාශ කරයි. ඇවිද ගැනීමට වත් නොහැකි අවදියේ උඹව බලා නොගත්තා නම් උඹට ද ජීවත් වීමට වරම් නොමැති බව කියයි. කතන්දරයක් විලාසයෙන් මෙය ඉදිරිපත් වුවද මේ හරහා යම් දේශපාලනික දෘෂ්ටියක් ධ්වනිත බව වටහා ගත හැකිය.
‘‘ලෝකයේ විනිස ළ`ග පියවිය යුතුය නෙත - කඳුලැලි වලින් වෙයි මට මුළු ලොවම තෙත
ඔබ දැ`ගලූවොත් ඕනවට වැඩිය පුත- වෙඩි උණ්ඩයක් පිළිසරණක් උඹට ඇත’’
මේ සමාජය තුළ ජීවත් වන විට බොහෝම ප‍්‍රවේසම්සහගත වියයුතු බව කියයි.‘පුත’ යනුවෙන් ආමන්ත‍්‍රණය කිරීම හරහා එය සමස්ත සමාජයටම කරන ආමන්ත‍්‍රණයක් වැනිය. තත් දේශපාලනික පරිසරය තුළ ඇති භයානක බව වටහා ගැනීම අපහසු නොවේ.‘වෙඩි උණ්ඩයක් පිළිසරණක් උඹට ඇත’මේ හරහා මතුකරන දේශපාලනික අර්ථය විශද කරගැනීම දුෂ්කර නොවේ.
තවද ඔහුගේ ‘සිරගෙය’ නමැති නිර්මාණය හරහා ඉදිරිපත් කෙරෙන කතන්දරය ශෝකාන්තයකි. මහා බලවත් සතෙකු වූ ඇතින්නියකට වූ ශෝකාන්තය ඒ හරහා ඉදිරිපත් කරයි. ඒ අතර තුර මතු කර දක්වන
‘‘බලයේ බලය වූ මහ එකෙකුට ද මෙසේ - මෙය හිර ගෙයක් වූ බව අදහමු ද කෙසේ
තරු වැළ පෙනී මහ ? මැඳ අහස් කුසේ- ඇගෙ දුක කියන හැටි ගව් ගණනකට ඇසේ’’
කෙතරම් බල සම්පන්න ලෙස සමාජයේ ජීවත් වුවද යම් කලෙක අසරණ තත්ත්‍වයකට පත්විය හැකිය. එවිට ඒ බලයෙන් ඇති නිෂ්ප‍්‍රයෝජන බව මැනවින් පෙන්නුම් කරයි. එසේම එයින් මතුකරන අනෙක් කරුණ නම් ලාංකේය මිනිසුන් තුළ ඇති මානව භක්තිය නිරූපණය කරයි. කිසියම් කෙනෙකුට අවැඩක් සිදුවීමේදී ගැමියන්ගේ හිත් උණුවන අයුරු කුමාරගම කවියා ප‍්‍රත්‍යක්‍ෂයෙන් නිරූපණය කොට ඇත. ඒ අනුව කුමාරගමයන්ගේ කාව්‍යය අධ්‍යනයේදී විද්‍යමාන වන කරුණ නම් මානව භක්තිය ස්මතු කොට ඒ හරහා සමකාලීන සමාජ දේශපාලනික තත්ත්‍වය පිළිබඳ ආත්ම සංයමයෙන් කරුණු දක්වා ඇති බවයි.
04. සමාලෝචනය
කවිය යනු හුදු විනෝදාස්වාදයෙන් ඔබ්බට ගිය පරිකල්පනීය අදහසක් පාඨක මනස තුළ ජනිත කළ යුතුය. කාව්‍යය නිර්මාණ තුළින් පුද්ගල මානසික ස්වභාවය අතරමන් කරනු ලබන්නේ නම් එය අසාර්ථක ප‍්‍රයත්නයකි. මා මේ නිබන්ධනයේදී බලාපොරොත්තු වූයේ විමලරත්න කුමාරගමයන් තම කාව්‍යය නිර්මාණයන් හරහා මානව භක්තිය ඇති කොට ඒ හරහා සමාජ දේශපාලනික පසුබිම සූචනය කරනුයේ කෙසේ ද යන බව දැක්වීමටයි.
යථෝක්ත කාරණාවන් පිළිබඳ අවධානයේදී අපට සාක්‍ෂාත් වන කරුණක් නම් කුමාරගමයන් තම නිර්මාණයන් තුළ ඉතා සියුම්ව මේ කාරණාව ස්මතු කොට ඇත. සමාජයේ දේශපාලනික, ආර්ථික, සමාජමය හා සංස්කෘතික ක‍්‍රියාදාමයන් අප දකින්නේ එය සංකීර්ණ යථාර්ථයක අන්‍යෝන්‍ය බැඳියාවකින් යුක්තව එකිනෙකට ඈඳුණු ක‍්‍රියාවලීන් සමුදායක් වශයෙනි. කවිය ද සමාජමය ක‍්‍රියාවකි. ඒ හරහා කවියේ ද තීරක සාධකය ජනතාවයි. ඕනෑම යුගයක හා වකවානුවක ඒ යුගයට හා වකවානුවට සාපේක්‍ෂව ප‍්‍රගතිශීලී කවීන් සිටිය හැකිය. කුමාරගම ද එවැනි ප‍්‍රගතිශීලී කවියන් අතර ප‍්‍රමුඛත්වය ලබාගෙන තිබේ. අප ඉහතින් දක්වා ලූ කරුණු දෙසම සියුම්ව බැලූ කල කුමාරගමයන්ගේ සමාජ දේශපාලනික දෘෂ්ටිය සියුම්ව එම නිර්මාණ තුළින් වෙන් කරගත හැකි බව පෙනේ. ඒ අනුව මානවී වාදය පමණක් නොව තමා ජීවත් වන අවට පරිසරයේ මිනිස් ප‍්‍රශ්න දෙස ද අවධානය යොමුවී ඇත බව යථෝක්ත කාරණාවන් තුළින් ස්ඵුට වේ.
05. ආශ‍්‍රිත ග‍්‍රන්ථ නාමාවලිය
ද්විතීයික මූලාශ‍්‍ර
අබේසිංහ දීපචන්දි, සිරිගුණසිංහ සහ නූතන සිංහල කාව්‍යය, ඇස්. ගොඩගේ ප‍්‍රකාශකයෝ, කොළඹ 10, ප‍්‍රථම මුද්‍රණය 2001.
අල්විස් පෙරේරා පී. බී, විමලරත්න කුමාරගම, කේ. කේ. පුංචිබණ්ඩා ප‍්‍රකාශනයකි, ප‍්‍රථම මුද්‍රණය 1963.
ගුණසේකර බන්දුසේන, නූතන සිංහල කවිය විචාරය හා රසාස්වාදය, ඇස්. ගොඩගේ ප‍්‍රකාශකයෝ, කොළඹ 10, ප‍්‍රථම මුද්‍රණය 2005.
ධම්මින්ද හිමි අගුලූගහ, සිංහල කාව්‍යයේ නව ප‍්‍රවනතා, කර්තෘ ප‍්‍රකාශන, ප‍්‍රථම මුද්‍රණය 1991.
රාජකරුණා අරිය, නූතන සිංහල කාව්‍යය 02, ඇස්. ගොඩගේ ප‍්‍රකාශකයෝ, කොළඹ 10, ප‍්‍රථම මුද්‍රණය 2004.
වික‍්‍රමසිංහ මාර්ටින්, නව පද්‍ය සිංහලය, සරස සමාගම, රාජගිරිය, ප‍්‍රථම මුද්‍රණය 1957.
විජේසූරිය සරත්, නව කවි අධ්‍යයනය, විජේසූරිය ග‍්‍රන්ථ කේන්ද්‍රය, පුංචි බොරැුල්ල, ප‍්‍රථම මුද්‍රණය 2007.
තෘතීයික මූලාශ‍්‍ර
නව කවි සංග‍්‍රහය, සංස්. කුසුමා කරුණාරත්න, ප‍්‍රබුද්ධ ප‍්‍රකාශකයෝ, බොරලැස්ගමුව, ප‍්‍රථම මුද්‍රණය 1992.
නූතන පද්‍ය සංග‍්‍රහය, සංස්. පී. එච්. ඩබ්ලිව්. රණසිංහ මිය, අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේන්තුව, ප‍්‍රථම මුද්‍රණය 1995.
විමලරත්න කුමාරගමගේ එකතු කළ කවි, සංස්. සුසිල් සිරිවර්ධන, සුසිල් සිරිවර්ධන ප‍්‍රකාශන, කොළඹ 3, ප‍්‍රථම මුද්‍රණය 1987.
සම්භාව්‍ය විචාර ලිපි සරණිය, ‘‘සම්ප‍්‍රදාය හා සිංහල කවිය’’ (ගුණසේකර බන්දුසේන*, සංස්. ජී. එම්. සේනාරත්න, ඇස්. ගොඩගේ ප‍්‍රකාශකයෝ, කොළඹ 10, ප‍්‍රථම මුද්‍රණය 1998.
පුවත්පත් හා ස`ගරා
දේශයට ජීවය දුන් පනස්වෙනි දශකයේ කවි ස`ගරා, සංස්. විජයසිරි වෙත්තමුනි, ශ‍්‍රි ලංකා ජාතික පුස්තකාල සේවා මණ්ඩලය, ප‍්‍රථම මුද්‍රණය 1991.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment