Wednesday, December 11, 2013
සන්දේශ සාහිත්‍යයේ ආරම්භය හා විකාශනය
සන්දේශ සාහිත්‍යයේ ආරම්භය හා විකාශනය
සන්දේශ හැඳින්වීම
රසයට හෝ අර්ථයට හෝ සමාජයට හෝ හිත වූ හෙයින් සාහිත්‍යය යන සංඥාව ලත් කලාව, භාෂාව මාධ්‍යය කොට පවතී. භාෂාව භාවිත කරන ආකාරය අනුව සාහිත්‍යය ත‍්‍රිවිධ වේ. එනම් ගද්‍ය, පද්‍ය, චම්පු (මිශ‍්‍ර* වශයෙනි. ඡුන්දසකට අනුව පාද නොබෙදා භාෂාව හසුරුවනුයේ ගද්‍යය යි. ඡුන්දසකට අනුව පාද බෙදා භාෂාව හසුරුවනුයේ පද්‍යය යි. ( නිසදැස් කාව්‍ය නිර්මාණවල ද ඡුන්දසක් දක්නට නැතත් පාදවලට බෙදීම දක්නට ඇති හෙයින් එය ද පද්‍ය විශේෂයෙහි ලා ම සලකනු ලැබේ. ගද්‍ය හා පද්‍ය දෙකෙන් මිශ‍්‍රව රචනා කෙරනුයේ චම්පු කාව්‍යයයි. (ගද්‍ය හා පද්‍ය මිශ‍්‍ර කළ පමණකින් චම්පු කාව්‍යය නො වේ. ගද්‍යයෙන් විස්තර වන්නාවූ කතාව පද්‍ය මගින් විස්තර වේ නම් චම්පු කාව්‍ය වේ.*
කාව්‍යයේ අභ්‍යන්තර ලක්ෂණ සලකා ආලංකාරිකයන් දක්වන විග‍්‍රහයන්ට අනුව පද්‍ය කාව්‍ය නැවත මහා කාව්‍ය හා ඛණ්ඩ කාව්‍යය ලෙස කොටස් දෙකකට බෙදා දක්වනු ලැබේ. අප සාකච්ඡුා කරන සන්දේශ කාව්‍යය නම් පද්‍ය කාව්‍ය විශේෂය අයත් වනුයේ ඛණ්ඩ කාව්‍යය යන වර්ගයට ය.
‘දක්වාලීම්’ යන අර්ථවාචක සංස්කෘත ‘දිශ්’ යන ධාතුවට පූර්වයෙන් ‘මනාව’ යන අර්ථවාචක ‘සං’ යන උපසර්ග පද යෝජනයෙන් නිපදවා ගෙන ඇති සන්දේශ යන්නෙහි ව්‍යාකරණමය නිරුක්ත්‍යර්ථය ‘මැනවින් දක්වාලීම’ යන්නයි. පාලි සිංහල ශබ්දකෝෂය සන්දේශ යන්නට අර්ථ දක්වන්නේ ‘උතුමන්ට යවන ලිපි, පණිවුඩ’ වශයෙනි. ශ‍්‍රී සුමංගල ශබ්දකෝෂය ‘ලියමන පණිවුඩය, දැන්වීම, ආරංචිය, ප‍්‍රවෘත්තිය, තොරතුරු නියමය’ යන අර්ථ දක්වයි. අනෙකුත් පාලි, සිංහල, සංස්කෘත, දෙමළ ශබ්දකෝෂවල ද දක්වා ඇත්තේ යථෝක්ත අර්ථයන් ම ය.
පදයක අර්ථය අවබෝධ කරගැනීමට එහි ව්‍යාකරණ විග‍්‍රහයක් පමණක් නො සෑහේ. ව්‍යාකරණමය නිරුක්ත්‍යර්ථයට වඩා වැදගත් වන්නේ ප‍්‍රාස්තවික අර්ථය හෙවත් අවස්ථානුකූල ව මතුවන අර්ථය යි. මහාචාර්ය පුඤ්චිබණ්ඩාර සන්නස්ගල මහතා සන්දේශ යන්න යෙදෙන අවස්ථා කිහිපයක් සංස්කෘත සාහිත්‍යයෙන් උපුටා දක්වමින් එහි ප‍්‍රාස්ථවික අර්ථ තුනක් මතු කරයි. එනම් ආඥාව, පණිවුඩය, ආරංචිය යනු යි. කාලිදාසයන්ගේ අභිඥාන සාකුන්තලයෙහි ‘‘ අනුෂ්ඨිතෝ ගුරෝඃ සන්දේශඃ ’’ යන ශ්ලෝකයේ සන්දේශ යන්න යෙදී ඇත්තේ ආඥාව යන අර්ථයෙනි. කාලිදාසයන්ගේ ම රඝුවංශයේ එන ‘‘ නිවාප්‍ය ප‍්‍රිය සන්දේශෛඃ සිතාමක්‍ෂ්‍ය වදෝත්්දතඃ ’’ යන ශ්ලෝකයෙහි සන්දේශ යන්න යෙදී ඇත්තේ ආරංචිය යන අර්ථයෙහි ය. කාලිදාසයන්ගේ ම මේඝ¥තයෙහි ‘‘ සන්දේශං මෙ තදනු ජලජ ශෝෂ්‍යස් ශෝතෘපෙයං ’’ යන ශ්ලෝකයේ සන්දේශ යන්නෙන් අතින් ගෙන යන පණිවිඩය යන අර්ථය කිය වේ.
සන්දේශ යන වචනයේ ලියමන පණිවිඩය දැන්වීම ආරංචිය ප‍්‍රවෘත්තිය ආඥාව යන අර්ථ ඇතත් සන්දේශ කාව්‍යය යන තන්හි අප ගත යුතු වන්නේ පණිවුඩය යන අර්ථය යි. එසේ හෙයින් සන්දේශ කාව්‍යයක් යනු පණිවිඩයක් අන්තර්ගත කොට කරන ලද කාව්‍යය යැයි සරල ව පැවසිය හැකි ය. පණිවුඩයක් අන්තර්ගත කළ පමණකින් ම කෘතියක් සන්දේශ කාව්‍යයක් නො වේ. යම් කෘතියක් සන්දේශ කාව්‍යයක් වන්නට නම් එය යම් යම් ලක්ෂණයන්ගෙන් සමන්විත විය යුතු ය. සන්දේශ කාව්‍යයක පැවතිය යුතු මූලික ලක්ෂණ හතරකි. එනම් පේ‍්‍රෂක හාරක ග‍්‍රාහක සන්දේශ යනු යි. පේ‍්‍රෂක යනු සන්දේශය හෙවත් පණිවුඩය යවන තැනැත්තා යි. හාරක යනු පණිවුඩය ගෙන යන්නා හෙවත් ¥තයා යි. ග‍්‍රාහක යනු හාරකයා ගෙනයන පණිවුඩය ලබන තැනැත්තා යි. සන්දේශ යනු ග‍්‍රාහකයා වෙත ගෙන යනු ලබන පණිවුඩය යි. මේ නයින් බලන කල සන්දේශ කාව්‍යය යනු පේ‍්‍රක්ෂකයකු විසින් හාරකයකු මගින් ග‍්‍රාහකයෙකු වෙත පණිවිඩයක් යවන ආකාරයෙන් රචනා කරන ලද කාව්‍ය විශේෂයකි. මෙපමණකින් ද කෘතියක් සන්දේශ කාව්‍යයක් නො වේ. සංස්කෘත ආලංකාරිකයන් විසින් අනුදත් ලක්ෂණ බොහෝමයක් සන්දේශ විෂයෙහි පවතී. ශ‍්‍රී ඝණානන්ද කාව්‍යයෙහි එම ලක්ෂණ මෙසේ විස්තර කෙරේ.
ප‍්‍රසිද්ධං නායකී කෘත්‍ය
පුරුෂංවාථ යෝෂිතං
සන්දේශං ප‍්‍රෂයේද්විද්වාන්
¥තෛර්වංශාදිශ්ශුෙභෙඃ
විද්වාන්; ඥානවන්ත වූ කවි තෙම, ප‍්‍රසිද්ධං; (ත්‍යාගවන්තකම පූජ්‍යවන්තකම කුලීනත්වය ආදී ගුණයෙන්* ප‍්‍රසිද්ධ වූ, පුරුෂං වා; පුරුෂයෙකු හෝ, අථ; නැතහොත්, යෝෂිතං වා; ස්ත‍්‍රියක හෝ, නායකීකෘත්‍ය; කායක කොට, වංශාදිභිඃ; වංශාදී ගුණයෙන්, ශුෙභෙඃ; ශෝභන වූ, ¥තෛඃ; ¥තයන් ලවා, ඉතිහාස කතා පූර්වංවා; ඉතිහාස කතාවක් පෙරටු කොට හෝ, ආශිර් පූර්වං; ආශිර්වාදයක් පෙරටු කොට ඇති, සන්දේශං; පණිවිඩය හෙවත් හස්න, ප‍්‍රසයේත්; යවන්නේ ය.
ඉතිහාස කතා පූර්වමාශිඃපූර්වමථාපිවා
¥තන්තු වර්ණයේ දාදෞ කුශල ප‍්‍රශ්න පූර්වකම්
¥තන්තු; ¥තයා වනාහි, ආදෞ; පළමු කොට, කුශල ප‍්‍රශ්න පූර්වකම්; ආරෝග්‍ය ප‍්‍රශ්නය පූර්ව කොට, වර්ණයේත්; වර්ණනා කරන්නේ ය.
වර්ණාන්තරං තස්‍ය
ගන්තව්‍යස්ථාන කීර්තනම්
පශ්චාත්තච්ඡෝෂ්‍යසීත්‍යුක්ත්වා
මාර්ගදේශාදි වර්ණයේත්
තස්‍ය; ඒ ¥තයාගේ, වර්ණාන්තරං; වර්ණනයෙන් අනතුරුව, ගන්තව්‍ය, යා යුත, ස්ථාන; ස්ථානය, කීර්තනම්; වර්ණනාව (කරන්නේය*, පශ්චාත්; පසුව, තත්; එය, ශ්‍රෝෂ්‍යසි ඉති; අසන්නයැයි, උක්ත්වා; කියා, මාර්ග දේශාදි; මාර්ග දේශාදිය, වර්ණයේත්; වර්ණනා කරන්නේය.
තතස්තද්දේශනගරී
නායකානාං ගුණස්තුතිඃ
තතෝ වෘත්තාන්ත කතනාං
¥තස්‍යාශිර්වචඃ පරම්
තතඃ; ඉක්බිති, තද්දේශනගරී; ඒ ප‍්‍රදේශයන්හි නගරයන්හි, නායකානාං; නායකයන්, ගුණස්තුථිඃ ; ගුණස්තුති පූර්වකව (වර්ණනා කරන්නේය.*, තතඃ ; ඉක්බිති, වෘතාන්ත කතනම්; සන්දේශ කීම වේ. පරම්; එයින් පසුව, ¥තස්‍ය ; ¥තයා පිළිබඳ වූ, ආශිර්වචඃ ; ආශිර්වාදය ද වේ.
සංස්කෘත ආලංකාරිකයන්ගේ මෙම ශ්ලෝකවලට අනුව සන්දේශ කාවඨ්‍යයක ආකෘතිය හා ලක්ෂණ පැහැදිළි වේ.
x කථා නායකයා හෝ කායිකාව ප‍්‍රසිද්ධ අයෙකු විය යුතු ය.
x ¥තයා වංශාදියෙන් උතුම් විය යුතුය.
x ආරම්භය ඉතිහාස කතාවකින් හෝ ආශිර්වාදයකින් විය යුතුය.
x මුලින්ම කුසල ප‍්‍රශ්නය පූර්ව කොට ¥තයා වර්ණනා කළ යුතුය.
x ¥ත වර්ණනාවෙන් පසු ¥තයා යා යුතු ස්ථානය වර්ණනා කළ යුතුය.
x සන්දේශාදිය පසුව අසන්න යැයි කියා මාර්ග දේශාදිය වර්ණනා කළ යුතුය.
x පසුව දේශාධිපති නගරාධිපති නායකයන් වර්ණනා කළ යුතුය.
x පසුව සන්දේශය කිය යුතුය.
x සන්දේශය කීමෙන් අනතුරුව ¥තයාට ආශිර්වාද කළ යුතුවේ.
මෙම ලක්ෂණයන්ගෙන් අනූන වූ කාව්‍යය සන්දේශ කාව්‍යයක් ලෙස අපි හඳුන්වමු. සන්දේශ කාව්‍යය යන්නට පර්යාය වශයෙන් සඳෙස් කව්, අසුන් කව්, හසුන් කව්, පණිවුඩ කාව්‍ය, ¥ත කාව්‍ය යන නාමයන් ද ව්‍යවහාර වේ.
සන්දේශ කාව්‍යයන්හි ආරම්භය
විද්‍යමාන ආදිත ම සන්දේශ කාව්‍යය ලෙස බහුමානයට පත්ව ඇත්තේ මහා කවි කාලිදාසයන්ගේ මේඝ ¥තය යි. මේඝයක් ¥ත කාර්යයෙහි යොදවමින් රචිත මෙය ඉතා රමණීය කාව්‍යයක් ලෙස විචාරකයෝ පිළිගනිති. එහි කතාව සංක්ෂිප්ත ව මෙසේ ය. ධනයට අධිපති වූ කුවේරගේ දාස වූ යක්ෂයෙක් අලූත යුග දිවියට පිවිසේ. මොහුට කුවේර විසින් පැවරුණු කාර්යය දෙයාකාරයකට ජනප‍්‍රවාදයන්හි දැක් වේ. එක් අදහසකට අනුව මොහුට පැවරුණේ ශිව දෙවියන් පුදනු පිණිස කුවේරට උදෑසනින් ම නොපුබුදු නෙළුම් රැුගෙන යාම යි. අලූත සරණ පිවිසි හෙයින් බිරියගෙන් වෙන්වනු නොකැමැති වූ හෙතෙම රාති‍්‍රයෙහි ම නෙළුම් කැකුළු සපයා තැබී ය. පුරුදු ලෙසින් නෙළුම් කැකුළු පුබුදුවන කුවේරගේ ඇ`ගිල්ලක් නෙළුම් කැකුළක ලැග සිටි බඹරෙකු විසින් විදිනු ලබයි. ශාප කරනුයේ මෙම වරදට යි. තවත් අදහසකට අනුව මොහු කුවේරගේ උයන් පල්ලා වේ. අලූත සරණ පිවිසි මොහුට උද්‍යානාරක්ෂණයට යාමට දිනක් ප‍්‍රමාද විය. ආරක්ෂකයාගේ ප‍්‍රමාදයෙන් අවසර ලත් ඉන්ද්‍ර දෙවියාගේ ඓරාවණ නම් හස්ති තෙමේ උයනට කඩා වැදී මල්ගොමු පාගා පොඩිකර දැමී ය. කුවේර කිපෙන්නේ මෙම කරුණෙනි. නිල කාර්යය පැහැරහරිනු ලැබීම හේතුවෙන් කුවේරයා විසින් යක්ෂ තෙමේ වින්ධ්‍යා පර්වතයේ රාමගිරි අසපුවට පිටත්කර හරිනු ලබයි. වසරක සිර ද`ඩුවමක් ලත් ඔහුට අට මසක් ගිය තැන පර්වතයක් මත ලැගුම් ගත් ඇතකු බඳු මේ කුළක් දක්නට ලැබේ. මේඝය උතුරු දෙසට ඇදෙන බව වටහා ගත් යක්ෂ තෙමේ සිය නිවහනේ විරහ සොවින් වෙසෙන සිය ප‍්‍රියාව වෙත පණිවිඩයක් යැවීමට සිතා වලාවට කන්නලව් කරයි. පසුව යා යුතු ගමන් මග දක්වයි. එම මගෙහි ගොස් ස්වකීය ප‍්‍රියාවට පිටුවහල් භාවයට තව ඇත්තේ සිව්මසක් පමණක් බවත් ඔහු පිළිබඳ බලාපොරොත්තු තබාගෙන සිටිනා ලෙසත් පවසන්න යැයි කියයි. එසේ ම බිරියගෙන්ද තමාට සුබ අස්නක් රැුගෙන එන ලෙස දන්වයි.
යථෝක්ත කතාව රමණීය කාව්‍ය සංකල්පනාවෙන් යුතුව මේඝ ¥තය නමින් කාව්‍යයක් නිපද වීමට පෙර ද ¥ත කාර්යය පිළිබඳ යම් යම් තොරතුරු සාහිත්‍යාගත ව දක්නට ලැබෙන බව නොරහසකි.
ඍග් වේදයේ දසවන මණ්ඩලයෙහි ඉන්ද්‍ර දෙවියන් පිළිබඳ එන විස්තරයෙක්හි පණි නම් අසුරයා ඉන්ද්‍ර දෙවියන්ගේ දෙනුන් පැහැරගෙන ගොස් ගුහාවක රඳවා තැබූ බවත් සරමා නම් බැල්ලියක ¥ත කාර්යයෙහි යොදවා ඉන්ද්‍ර දෙවි විසින් එම දෙනුන් සොයාගත් බවත් දැක්වේ. මහාභාරතයෙහි එන නලෝපාඛ්‍යානයෙහි ද ¥ත කාර්යයෙහි යෙදුණු හංසයෙකු පිළිබඳ කිය වේ. රාමායණයේ දී හනුමාන් රාම හා සීතා අතර ¥ත කාර්යයෙහි යෙදී ඇත. රාමායණයේ හතර වන කාණ්ඩයෙහි දී රාමගේ පණිවිඩයක් ලක්දිව රාවණගේ සිර භාරයේ සිටි සීතා වෙත හනුමාන් රැුගෙන එන අතර පස්වන කාණ්ඩයෙහිදී සීතාගේ පණිවිඩයක් රාම වෙත හනුමාන් රැුගෙන යයි.
හනුමාන්ගේ ¥ත කාර්යය, මේඝ ¥තය රචනය විෂයෙහි බලපෑ බව එහි එන ශ්ලෝකයක් සනාථ කරයි.
‘‘ ඉත්‍යාඛ්‍යාතේ පවනතනයං මෛථිලී වෝන්මුඛී සා ’’ (මෙසේ කී කල හනුමාන් දෙස බලාහුන් සීතා මෙන් ඕතොමෝ මුව උඩට හරවා...*
මේඝ ¥ත ටීකාකාර මල්ලිනාථයෝ ඍජුව ම මේඝ¥තයට රාම සීතා පුවත ආභාසය වූ බව කියයි.
‘‘ සීතාංප‍්‍රති රාමස්‍ය හනුමාන් සන්දේශං
මනසී විධාය කවිඃ කෘතවාන් ඉත්‍යාහුඃ’’
( රාම කුමරුන් සීතාවන් වෙත හනුමා අත යවන ලද පණිවිඩය සිතෙහි දරමින් කාලිදාස මේඝ¥තය කළේ යැයි කියන ලද හ.*
නාගාර්ජුනගේ ප‍්‍රඥා මූල ශාස්ත‍්‍ර ටීකාව චීින බසට පෙරලූ හසුෂුකාන් (ක‍්‍රි.ව: 196-221* කාන්තාවක විසින් තම ස්වාමියා වෙත පණිවුඩයක් රැුගෙන යන ලෙස වලාකුළකින් කරන අයැදීමක් සඳහන් වන බව චින්තාහරන් චක‍්‍රවර්ති දක්වයි.
‘‘ වළා මිතුරනි අහස් කුස තුළ කිමිදි කිමිදී පාවෙනා
ගොසින් කිව මැන මගේ මෙවදන් පෙම්වතාණන් හට වහා’’
කාම විලාප ජාතකයෙහි කපුටෙකුත් භූරිදත්ත ජාතකයෙහි කැස්බෑවෙකුත් උම්මග්ග ජාතකයෙහි ගිරවෙකුත් ¥ත කාර්යයෙහි යෙදෙන අයුරු පෙනේ. තවද සුබන්ධුගේ ස්වප්න වාසවදත්තා නම් ගදය කාව්‍යයෙහි ගිරා ධේනුවක ¥ත කාර්යයෙහි යෙදෙනු දක්නට ලැබේ.
සන්දේශ කාව්‍යයන්හි විකාශනය
විද්‍යමාන ආදිතම සන්දේශ කාව්‍යය සේ පිළිගැනෙන මේඝ¥තය ගුරු තැන්හි තබා ඉන්දියාවේ රචනා වූ සන්දේශ හතලිස් නවයක් පිළිබඳව ගොරතුරු චින්තාහරන් චක‍්‍රවර්ති දක්වයි. අකාරාදී පිළිවෙළ අනුව ඔහු දක්වන සන්දේශ මෙසේය.
ඉන්ද්‍ර ¥තය, උද්ධව ¥තය, උද්ධව සන්දේශ, කීර¥තය, කෝකිල සන්දේශ තුන, චකෝර සන්දේශය, චන්ද්‍ර ¥ත තුන, චටක සන්දේශය, චේතෝ ¥තය, ජෛන මේඝ ¥තය, කුලසි ¥තය, නේමි ¥තය, පදාංක ¥තය, පවන¥ත දෙක, පාන්ථ ¥තය, පික ¥තය, භක්ති ¥තය, භෘංග ¥තය, භ‍්‍රමර ¥තය, මනෝ¥ත පහ, මයුර සන්දේශ, මේඝ ¥තය, මේඝ ¥ත සමාස්‍යලේඛ, රතාංග ¥ත, විප‍්‍ර සන්දේශ, සීල ¥ත, සූක සන්දේශ තුන, සිද්ධ ¥තය, සුභග සන්දේශය, හංස ¥ත පහ, හෘද ¥තය ආදිය වේ.
මෙසේ බලන කල කාලිදාසගෙන් පසුව සාහිත්‍යය තුළ සන්දේශ කාව්‍යය ඉතා ජනප‍්‍රිය අංගයක් වී ඇති බව පෙනේ.
සිංහල සන්දේශ සාහිත්‍යය
සිංහල සාහිත්‍යය නැමැති වෘක්ෂයේ කොළයෙන්, මලින්, ඵලයෙන් වඩාත් ම අලංකාර වූයේ සිංහල සන්දේශ නැමැති ශාඛාව බව නොකිව මනා ය. පාලි, සංස්කෘත, දෙමළ වැනි සෙසු සාහිත්‍යන්ට වඩා වැඩි සංදේශ ප‍්‍රමාණයක් සිංහල සාහිත්‍යය සතුව ඇත. අපට හමුවන දෙසීයකටත් වඩා වැඩි වූ සන්දේශ ප‍්‍රමාණය ම මෙයට සාක්‍ෂ්‍ය සපයයි.
ගම්පොළ යුගයේ දී රචනා වූ තිසර, මයුර යන සන්දේශ දෙක දැනට සිංහල සාහිත්‍යයේ අපට හමු වන පැරණි ම සන්දේශ බව කිව යුතු ය. ඉන්පසු එළඹි කෝට්ටේ සාහිත්‍ය යුගයේ දී සිංහල සන්දේශ කාව්‍යය කෙතරම් නැගී ආවේ ද යත් එය ‘සන්දේශ යුගය’ යන අන්වර්ත නාමය ලැබීමෙන් ම පැහැදිළි වේ. කෙසේ වුවත් කෝට්ටේ යුගයෙන් පසු සිංහල සන්දේශ කාව්‍යවල පරිහාණි ලක්ෂණ මතු වන්නට විය.
සංස්කෘත, දෙමළ, පාලි, කේරළ සන්දේශවල ආභාසය සිංහල සන්දේශ සාහිත්‍යයට ලැබී ඇත. නමුත් සිංහල සන්දේශ කරුවාගේ ස්වාධීන ලක්ෂණ රැුසක් ද අපගේ සංදේශ තුළ දැක ගැනීමට තිබේ. එමෙන් ම සන්දේශ රචනයත් සමග ම සිංහල සාහිත්‍යයේ ද යම්යම් වෙනස්කම් මතුවී පෙනුණි.
සිව් පදය ප‍්‍රචලිත වීම ඒ අතර කැපී පෙනෙන්නකි. සීගිරි ගීයේ පටන් විවිධ අවස්ථාවන්හි අපට සිව්පද හමු වූ බව සැබෑවකි. නමුත් සිව්පද ආකෘතියට ප‍්‍රමුඛත්වය ලැබුණේත් එය ප‍්‍රචලිත වූයේත් සන්දේශ රචනයත් සම`ග යැයි කිව හැකි ය.
සිංහල සාහිත්‍යයේ දෙවියන් යැදීම ඉතා ප‍්‍රකටව ගියේ ද සන්දේශ සාහිත්‍යය හරහා ය. හින්දු දෙවිවරුන් ඉදිරියේ කරන අයැදුම් රැුසක් සිංහල සන්දේශවල පෙනේ.
සියබස්ලකර නම් කාව්‍යාලංකාර ග‍්‍රන්ථයේ ආ ‘පෙදෙන් බුදු සිරිතැ’ (පද්‍යයෙන් බුද්ධ චරිතය හා සම්බන්ධ නිර්මාණ කළ යුතු ය.* යන නියමය ඉතා පැහැදිලි ලෙස කඩ කිරීම ද සන්දේශ රචනයත් සමග සිදු විය. දේවාල නැටුම්, රජ ගෙදර නැටුම්, පැහැදිලි ව වර්ණනා කරන සිංහලයේ එක ම සාහිත්‍ය රචනය ලෙස ද සන්දේශ හැඳින්විය හැකි ය.
එමෙන් ම සෑම සම්භාව්‍ය සිංහල සන්දේශයක් ම පාහේ පොදු සැලැස්මකට අනුව සකස් කොට ඇති බව පෙනේ. එකී සන්දේශ සන්දර්භය මෙසේ දැක්විය හැකි ය.
¥තයාට ආසිරි පැතීම
¥තයා පැසසීම
සන්දේශ රචනා කිරීමේ අරමුණ දැක්වීම
පුර, රජ, දියකෙළි වන සැඳෑ නිසා උදා වැනුම් දැක්වීම
¥තයා යන ස්ථානය වර්ණනා කිරීම
සන්දේශය ලබන තැනැත්තා වර්ණනා කිරීම
සන්දේශය ඉදිරිපත් කිරීම
¥තයාට සුබපැතීම
සාමාන්‍යයෙන් සිංහල සන්දේශයක සැකැස්ම මෙසේය.
සම්භාව්‍ය සිංහල සන්දේශ සියල්ල ම ‘සැරද’ (බොහෝ කල් ජීවත් වේවා* යන ආසිරි පැතුම සහිත යහ ගීයකින් ආරම්භ වේ. ඉන්පසු ¥තයාගේ බාහිර සහ අභ්‍යන්තර ගුණ වර්ණනා කෙරේ. ඒ සඳහා ජාතක කතා ආදිය ද උපයෝගී කරගනියි. බොහෝවිට ¥තයා පිටත් වන්නේ සුභ මොහොතකිනි. අනතුරුව ගමනට සුභ නිමිති ද දක්වයි. බොහෝවිට තත් කාලයෙහි රටෙහි නායකයා හෝ වෙනත් ප‍්‍රසිද්ධ අයෙකු කාව්‍ය නායකයා ලෙස තෝරාගෙන වර්ණනා කරයි.
අතරමග ¥තයාට හමුවන නගර, වන, දියකෙළි, හිරු සඳු උදා, සන්ධ්‍යාව, රාජ සභාව, දේවාලයන්හි නැටුම් ආදිය මනහර ලෙසින් වර්ණනා කෙරෙයි. සන්දේශ ග‍්‍රාහකයා (ලබන්නා* බොහෝවිට උපුල්වන් විභීෂණ වැනි දෙවි කෙනෙකි. ඔහු ද වර්ණනයට බඳුන් වේ. අනතුරුව සන්දේශය හෙවත් පණිවුඩය ඉදිරිපත් කෙරේ. ඉන් පසු ¥තයාට සුබ පතා සන්දේශය නිමා කෙරේ.
සන්දේශයේ තැනින් තැන දසපද සැහැලි ශබ්දාඩම්බරයෙන් යුත් අනුප‍්‍රාස රස ගැබ් වූ ගද්‍ය ඛණ්ඩ ආදිය ඇතුළත් වේ. බොහොමයක් ඇත්තේ සිව්පදයි. සාහිත්‍ය විචාරකයන් විවිධාකාරයට සිංහල සන්දේශ සාහිත්‍යය බෙදා දක්වා ඇත. එසේ වුවත් විද්‍යාර්ථීන්ගේ සුඛාවබෝධය තකා සිංහල සන්දේශ සාහිත්‍යය මෙසේ ප‍්‍රධාන කොටස් තුනකට බෙදා දක්වමු.
1ග ආරම්භක යුගය
2ග ස්වර්ණ යුගය
3ග පරිහාණි යුගය
ආරම්භක යුගය
අනුරපුර යුගයේ පටන් ගම්පොළ යුගයේ ආරම්භය දක්වා කාලය ආරම්භක යුගයට ඇතුළත් කරනු කැමැත්තෙමු. අපගේ අවාසනාවකට මෙන් මෙම යුගයේ දී ලියවුණු එක ම සිංහල සන්දේශයක්වත් අද වන විට දැක ගැනීමට නැත. නමුත් එකල පැවැති සිංහල සන්දේශයන්ගෙන් උපුටා ගන්නට ඇතැයි සිතිය හැකි පද්‍ය හා පද්‍ය ඛණ්ඩ දඹදෙණි යුගයේ රචිත සිදත්ස`ගරාව, එළු සදැස් ලකුණ යන පසු කාලීන පොත්වලදී අපට හමු වේ.
එමෙන් ම සීගිරි කැටපත් පවුරේ එන සිරිනාග නැමැත්තෙකු විසින් ලියන ලද ක‍්‍රි.ව 08 වන සියවසට අයත් යැයි සැලකෙන පහත ගීය ද සිංහල සන්දේශ සාහිත්‍යයේ ආරම්භක යුගය පිළිබඳ කතා කිරීමේ දී වැදගත් කොට සලකනු ලැබේ.
‘‘වන්දිමි හිමිවලා , තොගොසින් ඇය නිවෙස්නට
පිරිබුන් පගා මලයුන , දිවොට තො හදහව කිය කියය්’’
මෙම ගීය කියවන විට ඉහත දී අප කතා කළ මහා කවි කාලිදාසයන්ගේ මේඝ ¥තය නිතැතින් ම සිහියට නැගේ. කරහම්පිටිගොඩ සුමනසාර නාහිමියන්ගේ ‘එළු සඳැස් ලකුණේ නිදසුන් පද්‍ය’ නැමැති පොත සංස්කරණය කළ මහාචාර්ය සුචරිත ගම්ලත් මහතා සිය සංස්කරණයේ සංඥාපනයෙහි ඉහත සීගිරි ගීය සම්බන්ධයෙන් මෙවන් අදහසක් දක්වා ඇත.
‘‘යක්ෂාධිපති වෙසවුණු රජු විසින් කිසියම් වරදකට රාමගිරි අසපුවෙහි සිර කරනු ලැබ සිටි යක්‍ෂයෙකු විසින් සිය බිරිඳ වෙත මේඝයක් ¥ත මෙහෙවරෙහි යොදා යවන හස්නක ව්‍යාජයෙන් එකව (මේඝ¥තය* රචිතයැ. එයම අනුකරණය කොට සිංහල කවියෙකු විසිනුදු සිංහල මේඝ ¥ත කාව්‍යයක් රචනා කරන ලදැයි හෝ යථෝක්ත කාව්‍යයම සිංහලයට අනුවාද කරන ලදැයි හෝ සිතියැ හැකියි. මේ කව දඹදෙණි අවධියෙහිදු ව්‍යවහාරයෙහි පැවති බව පෙනෙයි. සිදත්ස`ගරාවෙහි ප, පිරි උපසර්ග ප‍්‍රයෝගයට ෙඡ්කපාඨ විසින් පූර්වෝක්ත ගීයෙහි ‘පගා’ පිරිබුන්’ යන වචන දෙක ගන්නා ලද්දේ එකව එදවසැ වහරෙහි පැවති හෙයිනි.’’
ඡුන්ද ශාස්ත‍්‍රය සඳහා ගුරුහරුකම් ලබා දෙන එළුසඳැස් ලකුණ භද්‍ර නම් තෙර කෙනෙකුගේ රචනයකි. විවිධ විරිත්වලට උදාහරණ දැක්වීමට පද්‍ය රැුසක් භද්‍ර තෙරුන් විසින් ගෙන හැර දක්වා ඇත. ඒවා කවර පොත්වලින් ගත්තේද යන වග මෙහි දක්වා නොතිබීම මහත් ම පාඩුවකි. එසේ වුවත් එහි එන ඇතැම් නිදසුන් පද්‍ය දෙස බලා ඒවා අනුරපුර පොළොන්නරු යුගවල පැවති සිංහල සන්දේශයන්ගෙන් උදුරා ගන්නට ඇතැයි විචාරකයෝ පවසති. ඒ අනුව සිංහල සන්දේශ ආරම්භක යුගයට අයත් යැයි සිතිය හැකි සන්දේශ කිහිපයක් පිළිබඳ ව සුචරිත ගම්ලත් මහතා තොරතුරු දක්වයි. ඒවා මෙසේ ය.
මේඝ¥තය වැනි සන්දේශයක්
කිරිලි සන්දේශයක්
මානව සන්දේශයක්
හංස සන්දේශයක්
මයූර සන්දේශයක්
එමෙන් ම සිදත්ස`ගරාවේ එන ‘‘ කළවන් බි`ගු මහත්වත හිරු හත්වත’’ (හිරු බැස යන කල්හි බඹර සමූහයාගේ කළු පැහැය මහත් විය.*
යන පාඨය මයූර සන්දේශයෙන් ගෙන ඇති බව සිදත්ස`ගරා පුරාණ සන්නය පවසයි. මේ කියන මයූර සන්දේශය දැනට අප හමුවේ ඇති මයූර සන්දේශය නො වේ. දැනට විද්‍යමාන මයූර සන්දේශය සිදතට පසුව , ගම්පොළ යුගයේ දී රචනා කරන ලද්දක් හෙයින් එහි පාඨයක් සිදතට යාමට කොහෙත් ම ඉඩක් නැත. එසේ නම් සිදත්`සගරා පුරාණ සන්නය පවසන මයූරය සිංහල සන්දේශ සාහිත්‍යයේ ආරම්භක යුගය නියෝජනය කරන සන්දේශයක් යැයි සිතිය හැකි ය.
සිදතේ ම කම් විබතට දක්වා ඇති නිදසුන් අතරෙහි පෙනෙන ‘‘ නරඹන්න මොනරාන නස්නා’’ (නටන්නා වූ මොනරුන් නරඹන්න* යන පාඨය ද ඉහත කී මයූර සන්දේශයෙන් ම ගත්තකැයි සිතිය හැකි ය.
එමෙන් ම සිදතෙහි ම එන ‘‘ මොනරිඳු එකල්හි පුල් සලග නවා ගනී ’’ (මොනර රාජයා ඒ අවස්ථාවේ දී (මල්* පිපුණු සල් ගසක් අග නවාතැන් ගනියි*.
යන ගී පාඨය ද එම මයූර සන්දේශයෙන් ම උදුරා ගන්නට ඇතැයි සිතිය හැකි ය. එමෙන් ම සිදත්ස`ගරාවේ එන අලප් විබතට නිදසුන් ලෙස දක්වා ඇති
‘‘ බිගුනි, මී ලොලින් කල් ඉක් තඹරෝරේ ද`ග නොවා’’ යන පාඨය ද අදර විබත සඳහා නිදසුන් ලෙස දක්වා ඇති
‘‘ පහනැ තඹරන්හි බමන බමරමුළු තමඹ පියසැ සරන තිමිර බලල් වලා’’
යන පාඨය ද දෙස බැලූ කල සිංහල සන්දේශ ආරම්භක යුගය නියොජනය කළ බඹර සන්දේශයක් තිබී දෝ යන සැකය ඇති වේ.
ස්වර්ණ යුගය
ගම්පොළ රාජධානිය ආරම්භ වූ කාලයේ පටන් සීතාවක සමයෙහි සැවුල් සන්දේශය රචනා විම දක්වා කාලය සිංහල සන්දේශාවලියෙහි ස්වර්ණමය යුගය ලෙස හඳුන්වනු කැමැත්තෙමු.
සන්දේශ යුගය යන අන්වර්ථ නාමය ලත් කෝට්ටේ සාහිත්‍ය යුගයෙහි සම්භාව්‍ය සිංහල සන්දේශ කෘති පහක් රචනා විය. එම සන්දේශයන්ද කෝට්ටේ යුගයට පෙර එනම් ගම්පොළ යුගයේ දී ලියවුණු මයූර, තිසර යන සන්දේශ දෙක ද කෝට්ටේ යුගයට පසුව එළඹෙන සීතාවක සමයෙහි ලියවුණු සැවුල් සන්දේශය ද ඉහත කී ස්වර්ණමය යුගටය නියෝජනය කරයි. ඒ අනුව මෙම යුගයට අයත් සන්දේශ අටකි. සම්භාව්‍ය සිංහල සන්දේශ ගණයෙහි ලා සැලකෙන්නේ ද මෙම සන්දේශ අටයි.
තිසර සන්දේශය
මයූර සන්දේශය
පරෙවි සන්දේශය
කෝකිල සන්දේශය
සැළලිහිණි සන්දේශය
ගිරා සන්දේශය
හංස සන්දේශය
සැවුල් සන්දේශය
මේ එක් එක් කෙටියෙන් විමසා බලමු.
තිසර සන්දේශය
දැනට විද්‍යමාන ඉපැරණි ම සිංහල සන්දේශය ලෙස සැලකෙන්නේ මයූරය හා තිසරය යි. ගම්පොළ යුගයේ දී ලියවී ඇති මෙම සන්දේශ දෙකින් වඩාත් ම පැරණි කුමක් ද යන්න නිශ්චිත ව ම පැවසිය නොහැකි ය. ඇතමෙකු තිසරය වඩාත් ම පැරණි යැයි පවසන අතර ඇතමෙක් මයූරය වඩාත් ම පැරණි බව පවසති.
සංඥා -: තිසරෙකු ¥තයා කොට ගත් හෙයින් මෙම සන්දේශය මෙනම් විය. දිය ගොඩ අහස යන තුන් ස්ථානයෙහිම හැසිරෙන හෙයින් හංසයාට ‘තිසර’ යැයි කියති. හංස සන්දේශයක් කෝට්ටේ යුගයේ දී ද රචනා විය.
නිමිත්ත :- මෙය දැතිගම්පුර පරාක‍්‍රමබාහු රජතුමාට පිළිගැන්වෙන සන්දේශයකි. එතුමාට හා එතුමාගේ මව්තුමියට ආශිර්වාද කරන ලෙසත් රජුගේ ඇමති මණ්ඩලය ආරක්ෂා කර දෙන ලෙසත් සතුරන් ජය ගැනීමට ශක්තිය ලබා දෙන ලෙසත් දෙවිනුවර උපුල්වන් දෙවියන්ගෙන් ඇයැද සිටි බව දන්වමින් තිසරෙකු අත රජතුමාට සන්දේශය යවනු ලැබේ.
කතුවරයා :- මෙය ගලතුරුමුල මෛත‍්‍රී හිමියන්ගේ විය හැකි බව කෙනෙකු පවසන අතර, පාලි වුත්තමාලා ශතකය ලියූ දෙවිනුවර ගතාර පිරිවෙන් හිමියන් විසින් ලියන ලදැයි තවත් අයෙක් පවසති. කෙසේ වුවත් මෙහි කතුවරයා පිළිබඳ අවිනිශ්චිත බවක් පවතියි. දෙවිනුවර විහාරයෙහ් වැඩසිටි කිසියම් තෙර නමක විසින් ලියන ලදැයි සිතිය හැකිය.
පද්‍ය ප‍්‍රමාණය :- එකසිය අනූවයි.
ගමන් මග :- දෙවිනුවර සිට දැතිගම්පුරයට
මයූර සන්දේශය
ගම්පොළ යුගයේ දී ම ලියවී ආ තවත් සන්දේශයක් ලෙස මයූරය හඳුනාගත හැකි ය. සයවන බුවනෙක බාහු රජු දවස මෙය රචනා වී ඇත. මයූරය පැරද විය හැක්කක් මෙරට සන්දේශ අතර තව ම පහළ වී නැත. උපන් කවීත්වය මැනවින් පිළිබිඹු කරලන මයූර සන්දේශය අපේ ජාතිය හිමි නොනැසී පවතින කාව්‍යයකි.
සංඥා :- මයූර යනු මොනරාට නමකි. ඔහු ¥තයා කොට ගත් හෙයින් මෙම සන්දේශය මෙනම් විය.
නිමිත්ත :- සයවැනි බුවනෙක බාහු රජතුමා ද බිසොවද ඇමැති මණ්ඩලය ද යුද්ධ සේනාව ද ධර්මකීර්ති මාහිමියන් ඇතුළු සංඝයා ද යන මේ සියල්ලන්ට ගුණ නුවණ හා දීර්ඝායුෂ ලබාදෙන මෙන් දෙවි නුවර උපුල්වන් දෙවියන්ගෙන් ඇයැද සිටීම මෙහි නිමිත්ත වී ඇත.
කතුවරයා :- මෙහි කතුවරයා කවීශ්වර නැමැත්තෙකි. ඔහු පොළොන්නරු යුගයේ දී ධර්මප‍්‍රදීපිකාව, අමාවතුර යන ග‍්‍රන්ථ රචනා කළ ගුරුළුගෝමී ප`ඩිතුමාගේ මුණුබුරෙකු ලෙස සැලකේ.
පද්‍ය ප‍්‍රමාණය :- 160කි
ගමන් ම`ග :- ග`ගසිරිපුර (ගම්පල* සිට දෙවිනුවරට
පරෙවි සන්දේශය
කෝට්ටේ යුගයේ රචනා වූ ප‍්‍රථම සන්දේශය ලෙස ද තොටගමුවේ ශ‍්‍රී රාහුල හිමියන්ගේ ප‍්‍රථම ග‍්‍රන්ථය ලෙස ද පිළිගැනෙන්නේ පරෙවි සන්දේශය යි. මෙහි දී රහල් හිමියන් සංස්කෘත කාව්‍ය ග‍්‍රන්ථයන්ගෙන් ද කව්සිළුමිණෙන් ද ආභාසය ලබා ඇති ආකාරය පැහැදිළිව දැක ගත හැකි ය.
සංඥා :- පරෙවියෙකු අත යැවෙන හෙයින් මෙය මෙනම් විය. රාහුල හිමියන් මෙම පොතට දුන් නාමය කලරැුව් සදෙස යන්නයි. ‘කලරැුව්’ යනු පරෙවියාට ම නමකි. ‘කලරාව’ යන සංස්කෘත එය සිංහලයට පැමිණ තිබේ. ‘කල’ යන්නෙහි ‘මනස්කාන්ත’ යන අරුත ගැබ් වී ඇත. ‘රාව’ යනු ‘නාදය’යි. ඒ අනුව ‘මනස්කාන්ත හ`ඩක් ඇත්තා’ ‘කලරාව’ හෙවත් ‘කලරැුව්’ නම් වේ.
නිමිත්ත :- සයවන පරාක‍්‍රමබාහු රජුගේ වැඩිමහල් දියණිය වූ චන්ද්‍රවතී කුමරියට සුදුසු සැමියෙකු ලබා දී ඔහුට දාව, මතු සිහසුන දැරීමට සමත් පුත් රුවනක් ද ලබා දෙන මෙන් දෙවිනුවර උපුල්වන් දෙවියන්ගෙන් අයැද සිටීම මෙහි මුඛ්‍ය පරමාර්ථයයි. මීට අමතරව පරාක‍්‍රමබාහු රජු ද යුව රජු ලෙස කටයුතු කළ ඔහුගේ බාල සොහොයුරු ද ඇමති මණ්ඩලය හා යුද සෙනග ද ආරක්ෂා කර දෙන මෙන් දෙවියන්ගෙන් අයැද සිටියි.
කතුවරයා :- තොටගමුවේ රාහුල හිමි
පද්‍ය ප‍්‍රමාණය :- 208
ගමන් ම`ග :- ශ‍්‍රී ජයවර්ධනපුර සිට දෙවිනුවර
කෝකිල සන්දේශය
සම්භාව්‍ය සිංහල සන්දේශ අතර පද්‍ය ප‍්‍රමාණය අතින් ඉතා දීර්ඝ වූත් වැඩි ම දුරක් ගමන් කළා වූත් සන්දේශය කෝකිලය යි. මෙය ද සයවන පැරකුම් රජු දවස ලියවී ඇත.
සංඥා :- කෝකිලයකු ¥තයා කොට ගත් හෙයින් මෙය මෙනම් විය. ගත්කරු විසින් මෙයට ලබා දී ඇති නාමය පරපුටු සඳෙස යන්න යි. පරපුටු යනු කෝකිලයාට නමකි. ‘පරයන්ගෙන් පුටුයේ’ ( අනුන්ගෙන් පෝෂණය වූයේ * යමෙක් ද හේ පරපුටු නම් වේ. සංස්කෘත භාෂාවේ ඇති ‘පරපුෂ්ට’ යන්නෙන් මෙය බිඳී ඇත. කෙවිලිය කපුටු කූඩුවේ බිජු දමන බවත් කැවිඩිය ඒවා රැුක කුඩා පැටවුන් බිහි වූ පසු කවා පොවා පෝෂණය කරන බවත් ප‍්‍රසිද්ධ ය. එහෙයින් පරපුටු යන්න එම පක්ෂියාට අන්වර්ථ වී ඇත. කැවිඩිය කොවුල් පැටවුන් හඳුන්වා ගත්දාට උන් මරාදමයි.
නිමිත්ත :- සපුමල් කුමරු යාපනයේ ගම් කිහිපයක බලය තහවුරු කරගත් පසු, එහි බලහත්කාරයෙන් පාලන කටයුතු ගෙන ගිය ආර්ය චක‍්‍රවර්ති නැමැත්තා රට අතහැර පලා ගියේ ය. මේ අවස්ථාවේ දී යාපන රාජ්‍යයේ සම්පූර්ණ බලය අල්ලා ගැනීමට සපුමල් කුමරුන්ට ශක්තිය ලබාදෙන ලෙස අයදිමින් දෙවි නුවර උපුල්වන් දෙවියන් යැ¥ බව ඔහුට (සපුමල් කුමරුන්ට* දන්වාලනු පිණිස කෝකිල සන්දේශය රචනා කර තිබේ.
කතුවරයා :- දෙවිනුවර තිලක පිරිවෙනෙහි වැඩසිටි තෙර නමකි.
පද්‍ය ප‍්‍රමාණය :- 291 කි.
ගමන්මග :- දෙවිනුවර සිට යාපනයට
සැළලිහිණි සන්දේශය
සම්භාව්‍ය සිංහල සන්දේශ අතර කෙටි ම සන්දේශය මෙය යි. මෙහි උපයුක්ත බස සරල ය. රස පූර්ණ ය. අතාත්වික වර්ණනා කිසිවක් සාළලිහිණියෙහි නොමැති තරම් ය. මෙහි ශබ්දාර්ථ දෙදෙනාගේ මනා සංකලනය ද ළගන්නා සුලූ ය. සිංහල සන්දේශ අතර අතිශය ජනප‍්‍රියත්වයට පත් සන්දේශය මෙය බව පෙනේ.
සංඥා :- සැළලිහිණියෙකු ¥තයා කොටගත් හෙයින් මෙම සන්දේශය මෙනම් විය.
නිමිත්ත :- සයවන පරාක‍්‍රමබාහු රජතුමාගේ බාල දියණිය වූ ලෝකනාථා හෙවත් උලකුඩය දේවියට ප‍්‍රත‍්‍රයකු ලබා දෙන මෙන් කැළණියේ විභීෂණ දෙවියන්ගෙන් අයැදීම මෙහි නිමිත්ත වී ඇත. ලෝකනථාවගේ ස්වාමියා වූ නන්නූර්තුනයාර්ගේ නාමයෙන් දෙවියන් යැදීම මෙහි ඇති විශේෂත්වයකි.
කතුවරයා :- තොටගමුවේ රාහුල හිමි.
පද්‍ය ප‍්‍රමාණය :- 108කි.
ගමන්මග :- ජයවර්ධනපුර කෝට්ටේ සිට කැළණියේ විභීෂණ දේවාලයට
ගිරා සන්දේශය
මෙතෙක් ලියූ සන්දේශ සියල්ල යැවුණේ දෙවියන් වෙතට ය. නැතහොත් දෙවියන්ගෙන් ආසිරි රැුගෙන කාව්‍ය නායකයන් වෙතට ය. යතිවරයෙකු අතට පිළිගැන්වෙන ප‍්‍රථම සන්දේශය ගිරාව යි. තොටගමුවේ රාහුල හිමියන්ට අස්න පිළිගන්වා උන්වහන්සේ ලවා විජයබා පිරිවෙණේ නාථ දෙවියන් වෙත එය ඉදිරිපත් කිරීම මෙහි දී සිදු වෙයි. ගිරාවේ තරම් තාත්වික ලෙස ස්වභාව සෞන්දර්යය වර්ණනා කළ අනෙක් සන්දේශයක් නැති තරම් ය.
සංඥා :- ගිරවකු ¥තයා කොටගත් හෙයින් මෙම සන්දේශය මෙනම් විය.
නිමිත්ත :- සයවන පැරකුම් රජුත් ලක් සසුනත් ආරක්ෂා කර දෙන මෙන් රාහුල හිමියන් ලවා නාථ දෙවියන් යැදවීම මෙහි නිමිත්ත වී ඇත.
කතුවරයා :- අවිනිශ්චිත ය. ඇතමෙක් මෙය ගුත්තිල කාව්‍යය ලියූ වෑත්තෑවේ හිමියන්ගේ කෘතියක් බව පවසති.
පද්‍ය ප‍්‍රමාණය :- 254කිගමන්මග :- ජයවර්ධනපුරයේ සිට තොටගමුවේ විජයබා පිරිවෙණට
හංස සන්දේශය
ගිරා සන්දේශයට ලියන ලද පිළිතුරක් වශයෙන් බොහෝ වියතුන් පිළිගන්නා හංස සන්දේශය ද හයවන පරාක‍්‍රමබාහු රජු දවස ලියවුණකි.
සංඥා :- හංසයකු ¥තයා කොට ගත් හෙයින් මෙය මෙනම් විය. කතුවරයා මෙයට දී ඇති නාමය ‘තිසර සන්දේශය’ යන්නයි. නමුත් ගම්පොළ යුගයේ සිට ප‍්‍රකට ව ආ තිසර සන්දේශයක් තිබූ බැවින් මෙය හංස නමින් ප‍්‍රචලිත වූ බව පෙනේ.
නිමිත්ත :- කෑරගල පද්මාවතී පිරිවෙන්පති වනරතන මාහිමියන්ට මෙම සන්දේශය පිළිගැන් වේ. රතන සූත‍්‍රය ලක්ෂ වාරයක් දේශනා කොට උපුල්වන් සමන් කතරගම විභීෂණ යන දෙවිවරුන් ප‍්‍රමුඛ කොට ඇති සියලූ දෙවිවරුන් සතුටු කොට සිරි පරාක‍්‍රමබාහු රජුට ආශිර්වාද දෙවන මෙන් වනරතන හිමියන්ගෙන් අයැද සිටීම මෙහි දී සිදු වෙයි.
කතුවරයා :- අවිනිශ්චිතය. ඇතමෙකු මෙහි කර්තෘත්වය වීදාගම මෛතී‍්‍ර හිමියන්ගේ නමට පවරතත් එය සම්භාවිත නැත. කෙසේ වුවත් වනවාසී ස`ග පරපුර නියෝජනය කළ යතිවරයෙකුගේ රචනයක් බව නම් පැහැදිලි ය.
පද්‍ය ප‍්‍රමාණය :- 204යි
ගමන්මග :- ජයවර්ධන පුරයේ සිට කෑරගල පද්මාවතී පිරිවෙණට
සැවුල් සන්දේශය
සම්භාව්‍ය සිංහල සන්දේශාවලිය නියෝජනය කරන අවසන් සන්දේශය මෙය යි. කෝට්ටේ යුගයෙන් පසු එළැඹි සීතාවක සමයෙහි මෙය රචනා වී ඇත. එවක එහි සීතාවක රාජසිංහ රජු රට විචාළ බව සඳහන්වේ.
සංඥා :- සැවුලෙකු ¥තයා කොටගත් හෙයින් මෙය මෙනම් විය. කතුවරයා මෙයට ලබා දී ඇති නාමය ‘සැවුල් අස්න’ යන්නයි. සැවුලා යනු කුකුළාට නමකි.
නිමිත්ත :- සම්බුද්ධ සාසනයත් ලෝක සත්ත්වයාත් සීතාවක රාජසිංහ මහ රජතුමා ප‍්‍රමුඛ අමන්ත‍්‍රී ගණයාත් සිව්ර`ග සෙනුගත් නිරතුරුව ම රැුක දෙන ලෙස සබරගමුවේ මහ සමන් දේවාලයේ සුමන දෙවිඳුන්ගෙන් අයැද සිටීම මෙහි නිමිත්ත වී ඇත.
කතුවරයා :- අලගියවන්න මුකවෙටිතුමා ය. ‘ අලගිවන්න ’ යනු ඔහුගේ නම බවත් ‘මුකවෙටි’ යනු පදවි නාමය බවත් පෙනේ. රාජ්‍ය ලේකම් පදවිය ‘මුකවෙටි’ යන්නෙන් අදහස් වේ.
පද්‍ය ප‍්‍රමාණය :- 204යි
ගමන්මග :- සීතාවක සිට සපරගමු මහසමන් දේවාලයට
පරිහාණි යුගය
කෝට්ටේ යුගයෙන් පසු රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් විවිධ අර්බුධකාරී තත්වයන් ඇති වූ හෙයින් අප රටෙහි ආර්ථිකය සාසනය මතු නොව සාහිත්‍යය ද පරිහාණියට ගිය බව දැකගත හැකි ය. සීතාවක රාජසිංහ රජු හින්දු සමය වැළඳගෙන බුදු සමයට කළ විනාශය මෙහි ලා ප‍්‍රධාන වේ.
සැවුල් සන්දේශයෙන් පසු ලියවී ආ කහ කුරුලූ නීලකොබෝ වැනි සන්දේශවල පටන් සිංහල සන්දේශ සාහිත්‍යයේ පරිහාණි ලක්ෂණ ඉස්මතු වන්නට විය. ඒවා සමහරක් මෙසේ ය.
මූලික සන්දේශ ලක්ෂණ පවා ඇතුළත් නොවීම
පෞද්ගලික අභිමථාර්ථ සාධනය පිණිස සන්දේශ රචනා කිරීම
සිය විරුද්ධවාදීන්ට ගරහන රිසින් විවේචනාත්මක මඩ ප‍්‍රහාර එල්ල කිරීමට සන්දේශ යොදා ගැනීම
රසභාව අලංකාර ආදිය ගැන නො සිතා ඉතා ග‍්‍රාම්‍ය බස් වහරක් යොදා ගැනීම ( ව්‍යක්ත බස් වහරක් භාවිත කළ සන්දේශ කිහිපයක්ද නැත්තේම නොවේ.*
හුදු විනෝදාස්වාදය පිණිස පමණක් සන්දේශ රචනා කිරීම
කෝට්ටේ යුගයෙන් පසු ලියවුණු බොහෝ සන්දේශ ආත්මය වශයෙන් හෝ නිර්මාණ කෞශල්‍යය වශයෙන් පිරිහී ගොස් ඇට සැකිලි බවට පත්වී තිබෙන දුර්වල කෘති සමූහයකැයි කිව යුතුය. මෙකල රචිත සන්දේශ විෂය අතින් ද ඉතා පුළුල් පරාසයක විහිදෙන බව දැක ගත හැකි ය.
කොස්වාලිහිණි නිල්ලිහිණි ගිනිසැවුල් සක්වාලිහිණි කිරළ කුමාරි වැසිලිහිණි කොකැටු වැනි සන්දේශ ගිහි පැවිදි ප‍්‍රභූන්ට ආසිරි පතා ලියා ඇත. පුද්ගලයකු හෝ ස්ථානයක් පිළිබඳ හෝ පොදුවේ රටවැසියා කෙරෙහි බලපෑ විශේෂ සිදුවීමක් අරභයා ලියවුණු සන්දේශ අතර සමනල අස්න වටකුරුලූ අස්න රණමොනර සන්දේශය වැනි සන්දේශ ප‍්‍රධාන වේ.
සුරාසො`ඩ පස්කම් බේබදු තුර`ග වනමයුර කේසර වැනි සන්දේශ සුරාව සූදුව ගවඝාතනය ආදිය සමාජ ව්‍යසන බව පෙන්වා දෙමින් රචනා කොට ඇත. යම් යම් පුද්ගලයන් උපහාසයට ලක් කරමින් ඇතැම් සන්දේශ ලියැවුණු අතර හාස්‍ය රසය උත්පාදනය කරමින් ලියැවුණු සන්දේශ ද ඇත. ඒ අතර ඔපිසර, මිතුරු හීරලූ සතුරු, අතවැසි හෙරණ තෙල්ඌරු රුක්දෙව් ¥තඅ`ගන වැනි සන්දේශ ප‍්‍රධාන වේ.
පෞද්ගලික අභිමථාර්ථ සාධනය කර ගැනීම සඳහා රචිත සන්දේශ අතර නීලකොබෝ දියසැවුල් මයූර (II* යන සන්දේශ ප‍්‍රධාන වේ. එමෙන් ම මැතිවරණ ජය පතා සිළුකුරුලූ හස්ති වැනි සන්දේශ ද හුදු විනෝදය දනවනු පිණිස මදුරු වැනි සන්දේශ ද ලියා ඇත .
ගැටබරු වෙහෙරෙහි විෂ්ණු දෙවියන් වෙත යැවුණු ලෙහෙන සන්දේශය එම විහාරයෙහි යටලී සිදුරු කරමින් කුරුමිණියන් කරන විනාශය කියාපායි. අභිවන බකමුහුණු සන්දේශය ලියා ඇත්තේ දුම්රියේ තුන්වන පන්තියේ මගීන්ට වැසිකිළි පහසුකම් නොමැති හෙයින් විඳින්නට සිදුවී ඇති කරදරය කියාපාමිනි. 1929 ජූලි මස 30 වෙනිදා අනුරාධපුර ශ‍්‍රී මහා බෝධියෙහි ශාඛාවකට උමතු මිනිසෙකු විසින් එල්ල කරන ලද පොරෝ පහර පිළිබඳ තොරතුරු කියවෙන සන්දේශයක් ලෙස වනපරෙවි සන්දේශය පෙන්වා දිය හැකි ය. හීරලූ සන්දේශය රචනා කොට ඇත්තේ හීරලූවන් රටට කරන විපත දක්වමිනි. එහි එන ආරම්භක ගීය හා තවත් සිව් පදයක් මෙසේය.
මෙකල ඇතැම් සන්දේ්ශවල ¥තාශිර්වාදය ලෙස යෙදෙනුයේ ¥තයාට බැන වැදීමකි. සන්දේශ ග‍්‍රාහකයන් වූයේ දෙවියන් පමණක් ම නො වේ. ඇතැම් ඒවා ප‍්‍රභූන්ට හෝ රාජ්‍ය නිළධාරීන්ට යැවේ. තෙල්ඌරු සන්දේශය යැවුණේ මහසෝනා වෙතට ය. මෙම තොරතුරුවලින් සන්දේශ පරිහාණිය මනාව හ\ුනාගත හැකිය.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment