UC0GG2kdhy3J-tiQE5Pyrerg?sub_confirmation=1 Sipyaya: අට්ඨකථාකරණයේදී බුද්ධඝෝෂ හිමියන් විසින් සම්භාවිත පරිවර්තන ක‍්‍රමවේදය පිළිබඳ සංක්‍ෂිප්ත අධ්‍යයනයක්.

Wednesday, December 11, 2013

අට්ඨකථාකරණයේදී බුද්ධඝෝෂ හිමියන් විසින් සම්භාවිත පරිවර්තන ක‍්‍රමවේදය පිළිබඳ සංක්‍ෂිප්ත අධ්‍යයනයක්.

අට්ඨකථාකරණයේදී බුද්ධඝෝෂ හිමියන් විසින් සම්භාවිත පරිවර්තන ක‍්‍රමවේදය පිළිබඳ සංක්‍ෂිප්ත අධ්‍යයනයක්. පූර්විකා පාලි සාහිත්‍යය පෝෂණය කළාවූත්, ති‍්‍රපිටක පර්යේෂණයේ ප‍්‍රබල මූලාශ‍්‍ර වූත් පාලි අට්ඨකථා සාහිත්‍ය පිළිබඳ සඳහන් කළ සැනින් අපගේ මතකයට නැගෙනුයේ බුද්ධඝෝෂ හිමියන්ය. අටුවා සාහිත්‍යයේ ප‍්‍රමුඛයෙකු ලෙස බුද්ධඝෝෂ හිමියන් හඳුනා ගත හැකි වුවත් මෙම අටුවා සංවර්ණනා ක‍්‍රමය බුද්ධ කාලයේ සිට ආරම්භව සංවර්ධනය වූ එසේම සංගායනාත‍්‍රයෙන් සකස් වූ සාහිත්‍යාංගයක් මිස ආකශ්මිකව පහළ වූවක් නොවන බව මෙහිදී අවධාරණය කළ යුතුය. බුද්ධඝෝෂ හිමියන් විසින් සිදු කරන ලද්දේ හෙළටුවාවන් පාලි භාෂාවට පරිවර්තනය කිරීමේ කි‍්‍රයාවලියයි. ඒ බැව් බුද්ධඝෝෂ හිමියන් භාරතයේදීම අටුවාකරණයට උනන්දු වූ නමුත් ඒ සඳහා අවැසි මූලාශ‍්‍ර නොතිබූ නිසාවෙන් රේවත හිමියන්ගේ අනුශාසනා පරිදි හෙළදිවට පැමිණීමේ ප‍්‍රවෘත්තියෙන් සනාථ වේ. මෙම නිබන්ධයේදී අපගේ අවධානය යොමු වනුයේ බුද්ධඝෝෂ හිමියන් ලක්දිවදී සංස්කරණය කරන ලද අටුවා ග‍්‍රන්ථයන්ගේ පරිවර්තන ක‍්‍රමවේදය පිළිබඳ සංක්‍ෂිප්ත අධ්‍යයනයක් සිදු කිරීමයි. වංශකථාගත තොරතුරු අනුව බුද්ධඝෝෂ හිමියන් විසින් දඹදිවදී අත්‍ථසාලිනිය රචනා කරන ලදැයි පිළිගැනේ. මේ අදහස පිළිබඳ ඇති ප‍්‍රාමාණිකත්‍වය කෙසේ වෙතත් භාරතයේදී අටුවාකරණයේ නියැලීමේදී බුද්ධඝෝෂ හිමියන් ලද නිදහස හෙළදිවදි සීමා වූ බව අප දන්නා කරුණකි. ඒ ථෙරවාද සම්ප‍්‍රදායේ මූලස්ථානය වූ එතෙක් හෙළටුවා ග‍්‍රන්ථ සුරක්‍ෂිත කර ගෙන ආ මහාවිහාර න්‍යායට අනුගත වන්නට වූ නිසාවෙනි. එහෙත් උන්වහන්සේගේ මේ ක‍්‍රියාවලිය හුදු පරිවර්තන කි‍්‍රයාවලියක් ලෙස නොව සංස්කරණ කි‍්‍රයාවලියක් ලෙස පිළිගැනීමට බොහෝ උගතුන් කැමති වනුයේ බුද්ධඝෝෂ හිමියන් විසින් හෙළටුවා පරිවර්තනයේදී අනුගමනය කර ඇති විවිධ ශාස්ත‍්‍රීය ක‍්‍රමවේද නිසාවෙනි. මේ පිළිබඳව නූතන විචාරක මතවාද හා බුද්ධඝෝෂ හිමියන් විසින් සම්පාදිත අටුවාග‍්‍රන්‍ථ හා ඒ ආශ‍්‍රිතව ලියවී ඇති ද්විතීයික ග‍්‍රන්‍ථයන්ද, ශාස්ත‍්‍රිය ලිපි ලේඛනයන්දි ඇසුරු කර ගනිමින් සංක්‍ෂිප්ත අධ්‍යයනයක් සිදු කිරීමට උත්සහවන්ත වීම අපගේ අරමුණයි. අටුවා සාහිත්‍යය සංකාසනා, පකාසනා, විවරණා, විභජනා, උත්තානීකරන හා පඤ්ඤත්ති යන අර්ථ ෂට්කයෙන්ද, අක්‍ෂර, පද, ව්‍යඤ්ජන, නිරුත්ති, නිද්දෙස, ආකාර යන ව්‍යඤ්ජන ෂට්කයෙන්ද සමන්විත වූ අටුවා සාහිත්‍යය දේශනා පාලියේ ඇතුළත් වූ අර්ථ වශයෙන්ද අධිප්පාය වශයෙන්ද භාව වශයෙන්ද ගැඹුරු වූ ධර්ම පදයන් සාර්ථවත් කිරීම උදෙසා සකස් වූ සාහිත්‍යාංගයකි. ව්‍යඤ්ජනාර්ථ, පදගතාර්ථ, නිදාන, වස්තු හා පූර්වාපර සම්බන්ධය යන මෙයින් සංකලනය කර සිදුකරන ලද අර්ථව්‍යාඛ්‍යාන ක‍්‍රමවේදය ඇතුළත් මූලාශ‍්‍ර අට්ඨකථා නමි. අර්ථකථාවන්ගෙන් පාලි සාහිත්‍යයට, බෞද්ධ සම්ප‍්‍රදායට, ශාසන සංවර්ධනයට ලැබෙනුයේ මහාත්ම ඵලයකි. සාමාජික වූද, සාමයික වූද බුද්ධිකලාත්මක වූද, ලලිතකලාත්මක වූද නානාවිධ තොරතුරු අර්ථකථාවන්ගෙන් දැන ගත හැකිය. භෞතික මතිමතාන්තර වලින්ද, ලෞකික ගතිගතාන්තර තුළින්ද පිරුණු සංකීර්ණ මානව සමාජයක බුදුන් වහන්සේ දෙසූ ධර්මය තුලනාත්මකව, සාර්ථවත්ව, විවරණාත්මකව ප‍්‍රකට වන්නේ අර්ථකථා මාර්ගයෙනි. මේ අනුව අට්ඨකථා සාහිත්‍යාංගය අගය කළ හැක්කේ ධර්ම ව්‍යඛ්‍යාන ග‍්‍රන්‍ථ සමුදායක් වශයෙන් පමණක් නොව බෞද්ධ ඉතිහාසය හෙළි කරන ඓතිහාසික ලේඛණ සංග‍්‍රහයක් වශයෙන්ද විවිධ මතවාද සාකච්ඡුා කර ඇති විචාර ග‍්‍රන්‍ථ සමුච්ඡුයක්ද වශයෙනි. පෙළදහම විචිත‍්‍රය. එමෙන්ම ගම්භීරය. සියුම් ධර්ම කාරණා පෙළ සාහිත්‍යය තුළ නිරතුරුවම දක්නට ලැබේ. නානා දේශනා ක‍්‍රම හා හේතුඵල සබඳතාවයේ පවත්නා වූ සියුම් බව නිසා පෙළ සාහිත්‍යය අතිශයින් ගැඹුරු බවක් උසුලයි. විශේෂ අර්ථ අපේක්‍ෂා කරන බැවින් පෙළ දහමේ අර්ථද ඉතා ගැඹුරුය. සුගතයන් වහන්සේ මුලදීම ධර්ම දේශනාවට මන්දෝත්සාහී වූයේද මේ ගැඹුරු බව නිසාමය. පෙළදහමේ නුවණ මුහුකුරා ගිය බුද්ධිමත් ශ‍්‍රාවකයන්ට මෙන්ම සාමාන්‍ය මිනිසුන්ටද දේශනා කළ සූත‍්‍ර දේශනා ඇතුළත් වේ. මේ සෑම දේශනාවක්ම පොදුවේ කාටත් තේරුම් ගනීම සඳහා අටුවා ග‍්‍රන්ථ සම්පාදනය කර ඇත. එසේම අටුවාවකින් ලැබෙන තවත් ප‍්‍රයෝජනයක් වනුයේ දේශනා පාලියේ විවිධ නයින් වටහා ගැනීමට ඉඩ ඇති ඇතැම් දේශනාවන්හීදී බුදුන් වහන්සේගේ අදහස වූයේ කුමක්දැයි නිරවුල්ව දැන ගැනීමට හැකි වීමයි. බොහෝ විට ශාස්තෘවරයකුගේ අනුගාමිකයන් විවිධ නිකායන්ට කැඞී යාමට හේතු වනුයේද එකම දේශනාවට එකිනෙක වෙනස් වූ අර්ථකථන සැපයීමට යොමු වූ නිසාවෙනි. බුදුන් වහන්සේ ධරමාන අවධියේදීම එසේ බුද්ධ දේශනාවන්ට විවිධ ලෙසින් අර්ථ කථන ඇති වූ අවස්ථා මහා මාලූංක්‍ය සූත‍්‍රය, මහා තණ්හාසංඛය සූත‍්‍රය, අලගද්¥පම සූත‍්‍රය වැනී දේශනා තුළින් පැහැදිලි වේ. දේශනා පාලියේදී අර්ථකථාව හැඳින්වීම සඳහා අත්‍ථ යන වචන යොදා ගෙන ඇති බව භික්‍ඛු විභංගයේ අත්‍ථූපසංහිතො යන්නට අරුත් දක්වන සමන්තපාසාදිකා ‘‘අත්‍ථූපසංහිතොති අට්ඨකථානිස්සිතො’’ යන උද්ධරණයෙන් පෙනේ. සාරත්‍ථදීපනී විනය ටීකාවට අනුව අටුවාව යනු ප‍්‍රකීර්ණක දේශනාවයි. මෙය සුත්තානුලෝම දේශනා නමින්ද ව්‍යවහෘතය. විමතිවිනෝදනී ටීකාව ප‍්‍රකීර්ණක දේශනාව අටුවා නම් වන බවත් එය ඔක්කන්තික දේශනා නමින්ද හැඳින්වෙන බවත් සඳහන් කරයි. නානා නය සම්මිශ‍්‍රීත බවම ඔක්කන්තික නම් වේ. එසේම සුමංගලවිලාසිනියේ ‘‘ආචරියවාදො නාම අට්ඨකථා’’ යනුවෙන් දක්වා තිබීමෙන් අටුවා යනු ආචරියවාදය යැයි දක්වා ඇත. බී. සී. ලෝ හා ජී. පී. මලලසේකර වැනි වියතුන් බුද්ධ කාලයේ සිටම පැවතී තෙරවරුන්ගේ ධර්ම සාකච්ඡුාමය ක‍්‍රම තුළින් අටුවාවන්ගේ ප‍්‍රභවය සිහිගන්වන බව සඳහන් කරයි. මේ සම්බන්ධව ඊ. ඩබ්. අදිකාරම් මහතාගේ අදහස වනුයේ භානකයන්ගේ මත ලෙසින් අටුවා ආරම්භ වූ බවයි. දේශනා පාළියේ විවිධ ගම්භීර ස්ථානයන් අර්ථ සුඛාවබෝධය කරගනු වස් බුද්ධ කාලීනවම යම් ක‍්‍රමවේදයක් සකස්ව තිබූ බව අටුවා ලක්‍ෂණ ඇති සූත‍්‍ර දේශනා ති‍්‍රපිටකයේ හමු වීමෙන් සනාථ වේ. එසේම ඒ සඳහා සුදුසුකම් ඇති ථෙරවරුන්ද බුදුන් වහන්සේ විසින් නම් කර තිබීමෙන් ඒ බව තහවුරු වේ. මජ්ක්‍ධිම නිකායේ විභංග වර්ගයේ එන සූත‍්‍ර අටක්ම එනමින් හඳුන්වා ඇත්තේ ගැඹුරු ධර්ම කරුණු විවරණාත්මකව දේශනා කර ඇති නිසාය. එසේම විනය පිටකයේ පාරාජිකා පාලි, පාචිත්තිය පාළි යන ග‍්‍රන්‍ථද්වය හැඳීන්වෙන්නේ සුත්ත විභංග නාමයෙනි. මේ අනුව සුත්ත යන්නෙන් ශික්‍ෂාපදද, විභංග යන්නෙන් එහි අර්ථ විවරණ දැක්වීමද සිදු කර ඇත. මහා නිද්දෙසපාළිය දේශනා ග‍්‍රන්ථයක් ලෙස සලකතත් එය සම්පූර්ණ අටුවා ලක්‍ෂණ ඇති අටුවා ග‍්‍රන්‍ථයෙකි. අභිධර්ම පිටකයෙ ධම්මසංගණිප්පකරණයේ අට්ඨකථා යනුවෙන් වෙනමම කාණ්ඩයක්ද දක්නට ලැබේ. මෙසේ පිටකත‍්‍රයේ ඇතුළත් අට්ඨකථා ලක්‍ෂණ පශ්චාත්කාලීන අටුවාචාරීන්ට බලපෑවාට සැකයක් නැත. බුද්ධඝෝෂ හිමියෝ ඒ බව සඳහන් කර ඇත. මේ තුළින් අපට පැහැදිලි වනුයේ දේශනා පාලිය තුළම අටුවා ලක්‍ෂණ ආරම්භව සංවර්ධනය වී අටුවා සංවර්ණනා ක‍්‍රමවේදයක් සකස් වෙමින් පැවතී බවත් එය ආරක්‍ෂා කර ගනිමින් ඉදිරියට ගෙන ගිය පරම්පරාවක්ද සිටි බවයි. ඒ බව සාහස්සික සංගීතියේදී ක‍්‍රමානුකූල ලෙස සකස් වී තිබුණු අටුවා සාහිත්‍යයෙන් පෙනේ. හෙළටුවා දක්වා අටුවා පරම්පරාව සුමංගලවිලාසිනී, අත්‍ථසාලිනී අටුවාවන්හී ප‍්‍රාරම්භක ගාථා පරීක්‍ෂා කිරීමේදී හෙළි වන්නේ බුද්ධ කාලයේ පටන් පැවතී අටුවා පඤ්චසතික සංගීතියෙන් සංගායිතව ද්වීතීය, තෘතීය සංගීතියෙන් අනුසංගීත වූ බවයි. ‘‘අත්‍ථප්පකාසනත්‍ථං අට්ඨකථා ආදිතො වසීසතෙහි පඤ්චහි යා සංගීතා අනුසංගීතාච පච්ඡුාපි’’ ‘‘යා මහා කස්සපාදීහි වසීහට්ඨකථා පුරා සංගීතා අනුසංගීතා පච්ඡුාපිච ඉසීහි යා’’ සුමංගලවිලාසිනී ප‍්‍රාරම්භක ගාථාවලට අනුව තෘතීය සංගීතිය දක්වා අටුවා පරපුර පිළිබඳ මෙබඳු නිගමනයකට එළඹිය හැකිවේ. බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද සංක්‍ෂිප්ත හා ගැඹුරු ධර්ම කොටස්වල අර්ථ සුඛාවබෝධය උදෙසා ත‍්‍රිපිටකය තුළම අර්ථකථන ක‍්‍රමවේදය ප‍්‍රභවය වූ බවත් පසුව එය ති‍්‍රපිටකයෙන් පරිබාහිර සාහිත්‍යාංගයක් වශයෙන් සංවර්ධනය වූයේ යැයි සිතිය හැකි වේ. පළමු සංගායනාව සම්බුද්ධ පරිනිර්වාණනේ මාස තුනක් වැනි කෙටි කලකින් සංවිධානය කිරීමත් ඒ වන විට අටුවාවන්ගේ පරිපූර්ණත්‍වයක් හා ප‍්‍රාමාණිකත්‍වයක් නොවූ හෙයින් පළමු සංගායනාවේදී යම් ආකාරයකින් ත‍්‍රිපිටකානුබද්ධ මේ අර්ථ විවරණ ක‍්‍රමය පිළිබඳවද යම් සාකච්ඡුාවක් සිදු වී නම් එය ඉතා කෙටියෙන් නමුත් සාකච්ඡුාවට ලක් වන්නට ඇත. එහෙත් ඒ පිළිබඳ සටහන් කිරීම චුල්ලවග්ගපාළි සංගීති වාර්තාවෙන් මඟහැරී යාමත් බුද්ධඝෝෂ අටුවාවන්හී ඒ පිළිබඳ සඳහන් කිරීමෙනුත් එකිනෙකට විසංවාදී මත දෙකක් මතු වී ඇත. සංගීති වාර්තා කොටස චුල්ලවග්ගාපාළියට එක් වන්නට ඇත්තේ දෙවන සංගායනාවෙන්ද පසුවය. ඒ දෙවන සංගායනාව පිළිබඳවද චුල්ලවග්ගපාළියේ සඳහන් වන නිසාවෙනි. එහෙත් පසුව හෝ එක් කර සංගීති වාර්තාවේ සඳහන් නොකිරීමට හේතුව කුමක්දැයි නොවිසඳුන ගැටළුවකි. එහෙත් බුද්ධඝෝෂ හිමියන්ගේ අදහස ප‍්‍රාමාණිකත්‍වයෙන් පිළිගත හැකිය. අටුවාකරණයේ මූල බීජ මුල් බුදුසමයෙන්ම සොයා ගත හැකි වීමත් පසුව තෙවන සංගායනාවේදී මිහිඳු හිමියන් අටුවා සහිත ත‍්‍රිපිටකය රැුගෙන යාමත් යන සිදුවීම් දෙක තුළ ක‍්‍රමිකව සංවර්ධනය වූ අඛණ්ඩ අටුවා ක‍්‍රම වේදයක් පැවතුන බව සඳහන් කළ හැකි නිසාවෙනි. එසේ නම් එම අටුවා කොටස් ත‍්‍රිපිටකානුබද්ධ වූ නිසාවෙන් සංගායනාවන්හීදී සංගීතීකාරක මහරහතුන් වහන්සේලාගේ අවධානයට යොමු නොවූයේ යැයි කීම අතාර්කිකය. කල්යත්ම ප‍්‍රායෝගිකව පැන නැගුණු අර්ථ විවරණ ක‍්‍රමයේ අවශ්‍යතාව තීව‍්‍රවත්ම සංගීතිත‍්‍රය තුළදී මෙහි ක‍්‍රමාභිවර්ධනයක් සිදු වූ බව සිතිය හැකිය. පේටකෝපදේසය, නෙත්තිප්පකරණය වැනි අර්ථ ව්‍යාඛ්‍යානයට සදුපදේශයන් ලබා දෙන ග‍්‍රන්‍ථ මෙසේ දියුණු වෙමින් ආ අර්ථකථන සම්ප‍්‍රදායේ උච්ඡුස්ථානය ප‍්‍රකට කරන්නක් වැනිය. මේ අනුව මහින්දාගමනයට පූර්වයෙන් ඉන්දියාවේ පාලි අර්ථකථන සම්පදායක් පැවති බව නිශ්චය කළ හැකිය. මිහිඳු හිමියන් බුදුදහම ලක්දිවට ගෙන එන විට ති‍්‍රපිටකයත් තදනුබද්ධ අටුවා සම්ප‍්‍රදායත් ගෙන එන ලද බව සුමංගලවිලාසිනී ප‍්‍රාරම්භක ගාථා තුළින් සනාථ වේ. ‘‘සීහළදීපං පන ආභතාථ වසිනා මහාමහින්දෙන ඨපිතා සීහළ භාසාය දීපවාසීනමත්‍ථාය’’ මිහිඳු හිමියන් විසින් ගෙන එන ලද අටුවා කුමන බසින් පැවතියේදී යන්නට පිළිතුරක් ධම්පියා අටුවා ගැටපදයේ මේ උද්ධෘතයෙන් සැපයේ. ‘‘මගධ බසින් වැටෙමින් ආ බුදුකැලි අටුවා’’ පාලියෙන් පැවතී මේ අටුවා දීපවාසීන්ගේ ප‍්‍රයෝජනය උදෙසා උගත් මහ තෙරවරුන් විසින් හෙළ බසට නගන ලදි. ඒ සඳහා මිහිඳු හිමියන්ගේ ප‍්‍රමුඛත්‍වය ලැබෙන්නට ඇත. බුද්ධ වර්ෂයෙන් පස්වන සවන ශතකයෙහි පමණ ති‍්‍රපිටකය සහිත අටුවා ග‍්‍රන්‍ථාරූඪ කළ බවට වංශකථා විස්තර සපයයි. මෙහිදී තථාගත දේශනා සංඛ්‍යාත ති‍්‍රපිටක පාළිය පාලි බසින් ලියා තබන ලද බවත් නිශ්චය කළ හැකිය. මේ කාලය වන විට පෙළ අටුවා හා හෙළටුවා මුඛවාදයෙන් පැවතියේ යැයි සිතිය හැකි අතර ඉතා දුෂ්කර කාල පරිච්ෙඡ්දයක් වූ නිසා හෙළටුවා පමණක් ග‍්‍රන්‍ථාරූඪ කළේ යැයි සිතිය හැකිය. මේ අනුව සිංහල ග‍්‍රන්‍ථ වංශයේ ආදිතම ග‍්‍රන්‍ථ ලෙස හෙළටුවා හඳුනා ගත හැකිය. මෙසේ හෙළටුවාවන්ගේ භාවිතය වැඩි වත්ම පාලියෙන් පැවතී අටුවා පරිශීලණය අඩුවීම නිසා බුද්ධඝෝෂාචාර්ය යුගය වන විට හෙළටුවා පමණක් සුරක්‍ෂිත වී වාචනා මාර්ගයෙන් පැවතී පාලි අටුවා සම්ප‍්‍රදාය පිළිබඳ මතකය මැකී යන්නට ඇත. පාලි අට්ඨකථා හා බුද්ධඝෝෂ හිමියෝ පාලි සාහිත්‍යය පෝෂණයෙහිලා අග‍්‍රගණ්‍ය සේවාවක් සිදු කළ ධර්ම ග‍්‍රන්‍ථ ව්‍යාඛ්‍යාතෘවර බුද්ධඝෝෂ නම් වූ අතිශේ‍්‍රෂ්ඨ බෞද්ධ අර්ථකථාචාරීන් වහන්සේගේ චරිතාපදානය පිළිබඳ විශ්වාසදායක තොරතුරු සපයා ගැනීම ඉතා අසීරුය. උන්වහන්සේගේ අටුවා කෘති තුළින්ද දැන ගන්නට ලැබී ඇති කරුණු ඉතා ස්වල්පයකි. මුඛපරම්පරාගත විස්තර, පුරාණ වෘත්තාන්ත ආදිය නිසා බුද්ධඝෝෂ හිමියන් පිළිබඳ චරිතය අතිශයෝක්තියකට නැගී ඇති නිසා ඒ පිළිබඳ විශ්වාසය තැබීමද අසීරුය. බුද්ධඝෝෂ හිමියන් පිළිබඳ දීර්ඝ විස්තරයක් සපයන බුද්ධඝෝසුප්පත්තියද ප‍්‍රබන්ධ කථාවක ස්වරූපයෙන් රචනා කර ඇති බැවින් උන්වහන්සේ පිළිබඳ සත්‍ය තොරතුරු සොයා ගැනීමට ඉවහල් කරගත නොහැක. යම් තරමින්වත් උන්වහන්සේ පිළිබඳ තොරතුරු සපයා ගත හැකි විශ්වාසදායී මූලාශ‍්‍රයක් ලෙස වැදගත් වන්නේ මහාවංසාගත විස්තරයයි. ඒ අනුව බෝධි මණ්ඩල ප‍්‍රදේශයේ උපන් බ‍්‍රාහ්මණ මානවකයෙක් තුන්වේදයේ පාරප‍්‍රාප්තව සියලූ වාදයන්හී විසාරද වූයේ වාද කරනු කැමතිව දඹදිව ඇවිදිමින් වෙහෙරකට අවුත් මහත් හඬින් උගත් වාදයන් පුරුදු පුහුණු කෙරෙයි. එකල්හී ඒ වෙහෙරවැසි රේවත නම් උගත් තෙරුන් වහන්සේ මෙතෙමේ මහා පැන ඇත්තෙකැයි සිතා ‘කොටළු හඬින් හඬන්නේ කවරෙක්දැ’ යි ඇසූ සේක. මෙසේ දෙදෙනා අතර ඇති වූ සංවාදයෙන් අනතුරු මේ ඝෝෂ නම් වූ තරුණයා බුද්ධමන්ත‍්‍රය ඉගෙනීමේ අභිලාෂයෙන් පැවිදි වූයේය. මොහුගේ හඬ බුදුන් වහන්සේගේ හඬ මෙන් ගැඹුරු වූ නිසා බුද්ධඝෝෂ නමින් ව්‍යවහාර විය. ආචාර්යන් වහන්සේ වෙතින් තුන් පිටකය පිළිබඳ කුසාග‍්‍ර බුද්ධියක් ලද මේ තෙරුන් වහන්සේ දඹදිව්දි ඤාණෝදය නම් ප‍්‍රකරණය කොට ධම්මසංගනියට අත්‍ථසාලිනී නම් අටුවාව කළේය. පිරිත් අටුවාව සම්පාදනය කිරීමට පටන් ගත් බුද්ධඝෝෂ තෙරුන්ගේ ධර්ම ඥානයේ මහත් වූ බුද්ධි ප‍්‍රභාව දුටු රේවත තෙරුන් වහන්සේ මෙසේ සැලකළහ. ‘‘මෙහි පෙළ පමණක් පරම්පරානීතය. මෙහි අටුවා නැත. එසේම නානාප‍්‍රකාර ආචාර්ය වාදයෝද නොවෙති. තුන් සංගායනාවට නගන ලද බුද්ධ වචනයද සාරිපුත‍්‍රාදී මහතෙරුන් විසින් වදාරන ලද කථා මාර්ගයද මොනවට බලා, ප‍්‍රාඥ මිහිඳු තෙරුන් වහන්සේ විසින් සිංහල භාෂාවෙන් කරන ලද ශූද්ධ වූ සිංහලාර්ථකථාතොමෝ සිංහලයන් කෙරෙහි ඇත. තෙපි එහි ගොස් ඒ අසා මාගධී නිරුක්තියට පෙරළව. ඕතොමෝ සියලූ ලොවට හිතඵලවන්නී වෙයි.’’ මෙසේ සිය ගුරු හිමියන්ගේ අනුදැනුම මත උන්වහන්සේ මහානාම රජු දවස ලක්දිවට පැමිණ සියලූ සජ්ජන පර්ෂද් සඳහා නිකේතන වූ මහාවිහාරයට පැමිණ සංඝපාල තෙරුන් වෙතින් හෙළටුවා හා ථෙරවාදයත් සර්වප‍්‍රකාරයෙන් අසා දැන සංඝයා රැුස් කරවා අටුවා කරන්නට පොත් ඉල්ලා සිටියහ. සංඝතෙමේ බුදුගොස් හිමියන්ගේ අටුවාකරණයේ සමර්ථ භාවය පරීක්‍ෂා කරනු වස් විවරණ කරනු පිණිස ගාථාද්වයක් දී ‘අටුවාකරණයට සුදුසුකම් මෙහි දක්වව, ඒ බලා සැම පොත් දෙමු’ යි දන්වා සිටියහ. බුදුඝොස් හිමියෝ ගාථාද්වය සංවර්ණනා කරමින් අටුවා සහිත තුන් පිටකය සමාසද්වාරයෙන් එහි සංග‍්‍රහ කෙරෙමින් විසුද්ධි මග්ගය සම්පාදනය කළහ. දේවතාවෝ බුදුගොස් හිමියන්ගේ නිපුණ බව ලොවට දක්වනු පිණිස මුල් පොත් දෙකම සැඟ වූ අතර තෙවෙනි වරටද රචනා කළ ග‍්‍රන්‍ථය කියවන්නට ගෙනා කල්හී දේවතාවෝ අනිත් පොත් දෙකත් එහි තැබූහ. එකල්හී භික්‍ෂූන් වහන්සේලා පොත් තුන සස\ බලා අර්ථ, ව්‍යඤ්ජන, පද, ආදී නයින් පොත් තුනෙහිම විසදෘශ බවක් නොදැක වෙසෙසින් ප‍්‍රමෝද්‍යව නිසැකින්ම මේ තෙමේ මෙතේ බෝසත්හු යැයි කියා අටුවා සහිත පිටකත‍්‍රයේ පොත් දුන්හ. එකල්හී බුදුගොස් හිමියෝ මහාවිහාරයට අයත් ¥රසංකර ග‍්‍රන්‍ථාකර පිරිවෙණෙහි වෙසෙමින් සියලූ හෙළටුවා සාර්වභාෂික සත්වයනට හිත සුව පිණිස මාගධී නිරුක්තියෙන් තිබූ අතර සියලූ ථෙරවාදීන් එය පෙළ සෙයින් පිළිගත්හ. වඩා ශීඝ‍්‍රව ලියනු පිණිස ශක‍්‍රයාගේ පන්හිද ලැබිණැයි මුඛපරම්පරාගත කථාවක්ද ඇත. ඉක්බිති උන්වහන්සේ කටයුතු නිමවා මහ බෝ වඳනට දඹදිව වැඩි සේක. බුද්ධඝෝෂ හිමියෝ දඹදිව්හිදීම ඤාණෝදය නමින් ග‍්‍රන්‍ථයක් රචනා කළේ යැයි මහාවංශයේ දැක්වේ. එහෙත් ඒ පිළිබඳ ඊට වඩා යමක් දැන ගැනීමට නොහැකි වීම අභාග්‍යයෙකි. කෙසේ වෙතත් මේ කෘතිය දර්ශනය විෂය කොටගත් රචනාවක් යැයි පිළිගැනීමට එහි අභිධානය සාක්‍ෂ්‍යයෙකි. බුද්ධඝෝෂ හිමියන් ලක්දිවදී රචනා කරන ලද පළමු කෘතිය වන්නේ විසුද්ධි මග්ගයයි. විසුද්ධිමග්ගය සකල තථාගත දේශනය ඇතුළත් ධර්මය පිළිබඳ කෝෂ ග‍්‍රන්‍ථයෙකි. ධර්මස්කන්ධය සම්පිණ්ඩනය කළ ති‍්‍රපිටකයේ සංක්‍ෂිප්ත සංස්කරණයකි. බුද්ධඝෝසුප්පත්තියට කරන ලද ප‍්‍රස්තාවනාවේ ග්‍රෙ දක්වා ඇති පරිදි ‘‘උන්වහන්සේ වෙන කිසිවක් නොලීවද මේ එකම ග‍්‍රන්‍ථය පමණක් වුවත් උන්වහන්සේට අමරණිය නාමයක් ගෙන දෙනු ඇත.’’ බුද්ධඝෝෂ හිමියන්ගේ අන්‍ය කෘති පිළිබඳ කිසිඳු සඳහනක් මෙහි නොවන නිසා මේ උන්වහන්සේගේ පළමු කෘතිය යැයි නිගමනය කළ හැකිය. බුද්ධඝෝෂ හිමියන් මේ සඳහා මහත් පරිශ‍්‍රමයක් දැරූ බව නිසැකය. මෙම විශිෂ්ඨ ග‍්‍රන්‍ථය වස්තු වින්‍යාසයෙහිලා ප‍්‍රසංසාර්භ විවේක බුද්ධියෙකින් යුක්තව ව්‍යක්ත රීතියකින් නිරර්ථක තර්කයෙන්ද සාකච්ඡුාවෙන්ද වියුක්තව රචනා කර ඇත. සමන්තපාසාදිකාව බුදුගොස් හිමියන් විනය පිටකයට කරන ලද අර්ථකථාවයි. විශාල ග‍්‍රන්‍ථයක් වන මෙය විනයට කරන ලද විස්තර ව්‍යාඛ්‍යානයට අමතරව පුරාණ භාරතීය සමාජය, ආචාර ධර්ම දර්ශන ලබ්ධි ආදී ඓතිහාසික තොරතුරු රැුසක්ද අනාවරණය කර ගැනීමට ඉවහල් වේ. විනය පිටකයේම කොටසක් වන විනය නීති ඇතුළත් ප‍්‍රාතිමෝක්‍ෂයට සපයන ලද අටුවාව වනුයේ කංඛාවිතරණියයි. මේ කෘතින්ට පසුව සඟි පොත් හතරට පිළිවෙළින් අටුවා ලියන ලදි. දීඝ නිකායට කළ සුමංගලවිලාසිනී අටුවාව බුදුගොස් හිමියන්ගේ සාර්වභෞමික ඥානය පිළිබිඹු කරන අනෙක් අටුවාවන්ට වඩා ව්‍යාකූලත්‍වයෙන් අඩු භාෂා විලාශයෙකින් විරචිතය. එසේම මජ්ක්‍ධිම නිකායට පපඤ්චසූදනියත්, සංයුත්ත නිකායට සාරක්‍ථප්පකාසිනියත්, අංගුත්තර නිකායට මනෝරථපූරණියත් රචනා කරන ලදි. මේ හැම කෘතියකම ප‍්‍රාරම්භක ගාථා කොටසෙහි තම රචනය කිරීමට හේතු වූ කරුණුත් ඒ සඳහා ආරාධනා කළ පඬිවරුන්ගේ නාමයනුත් දක්වා ඇත. මෙයට අමතරව ඛුද්දක නිකායාගත ඛුද්දක පාඨ හා සුත්තනිපාත සඳහා පරමත්‍ථජොතිකා අටුවාව රචනා කරන ලදි. ධම්දපදට්ඨකථාවෙහි කර්තෘත්වය බුදුගොස් හිමියන්ට පවරන පාරම්පරික අදහස ඇතැම් උගතුන් විසින් විවේචනයට හා විරෝධයට ලක් කර ඇත. මේ සඳහා ඔවුන් පෙන්වා දෙන ප‍්‍රබල අදහසක් වනුයේ මෙහි හා අන්‍ය බුද්ධඝෝෂ කෘත අටුවා අතරත් ඇති විශාල පරතරයයි. එහෙත් මේ වෙනසට හේතුව ප‍්‍රස්තුත වස්තුවේ වෙනස විය හැකි බව මලලසේකර ශූරීහු පෙන්වා දෙති. ගද්‍යයෙන්ද ගාථාවන්ගෙන්ද යුක්ත නිකාය ග‍්‍රන්‍ථයන් මෙන් නොව ධම්මපදය ගද්‍යමය විස්තරයෙන් තොර ගාථාවෙන් පමණක් යුක්තය. නිකායයන්හී ගද්‍යමය විස්තර ග‍්‍රන්‍ථයෙහිම දක්වා ඇත. එහෙයින් එය පිටක ග‍්‍රන්‍ථයන්ගේ තත්වයට ගෙන ඒම අවශ්‍යය. මේ අටුවාව අවසානයේ කර්තෘ නාම සන්දර්ශනයේ මෙසේ දැක්වේ. ‘‘විපුලවිසුද්ධබුද්ධිනාබුද්ධඝොසොති ගරූහි ගහිත නාමධෙයේ‍යන කතායං ධම්මපදස්ස අත්‍ථවණ්ණනා’’ එසේම මෙම කෘතිය සිරිනිවාස රජුගේ හා ඔහුගේ මහානිගම නම් අමාත්‍යවරයාගේද ආරාධනයෙන් රචනා කරන ලද බව දක්වා ඇත. මේ සිරිනිවාස නම් මහානාම රජු යැයි සැලකේ. මේ ග‍්‍රන්‍ථයන් හැරෙන්නට බුද්ධඝෝෂ හිමියෝ අභිධම්ම පිටකයටද අටුවා පෙළක්ම ලියූහ. එයින් ධම්මසංගනියට ලියන ලද අත්‍ථසාලිනී නම් වූ අටුවාව ඉන්දියාවේදී රචනා කරන ලදැයි සඳහන් විය. එහෙත් එහි සමන්තපාසාදිකාව, ලක්දිව අටුවා හා විසුද්ධිමග්ගය පිළිබඳවද කිහිප වතාවක්ම සඳහන් වන හෙයින් පළමු අවස්ථාවේදී ගයාවේදී රචනා කළත් ලංකාවේදී සම්පූර්ණයෙන්ම සංශෝධනය කරන ලදැයි රීස් ඬේවිඞ්ස් මැතිණිය පෙන්වා දෙයි. අනෙක් විභංගයට කළ අටුවාව සම්මොහවිනෝදනියයි. සෙසු ප‍්‍රකරණ පහට කළ අටුවාව පඤ්චප්පකරණට්ඨකථා (පරමත්‍ථදීපනී* නම් වේ. අටුවාකරණයෙන් පසු බුදුගොස් හිමියෝ සියලූ සිංහල අටුවා රාශිභූත කරවා සමාන්‍ය ප‍්‍රමාණයේ ඇතුන් සත් දෙනෙකුන් පමණ උස් වූ ගිනි මැලයක් කරන ලද බව බුද්ධඝෝසුප්පත්තිය කියයි. විස්මයජනක බුද්ධි ප‍්‍රභාවෙකින් යුත් බුදුගොස් හිමිියෝ එවැනි කි‍්‍රයාවකට පෙළඹුනේ යැයි සිතිය හැකි නොවේ. බුද්ධඝෝසුප්පත්තියේ දැක්වෙන බොහෝමයක් තොරතුරු කල්පිත ප‍්‍රබන්ධගත ස්වරූපයක් විදහාපාන බැවින් මේ පිළිබඳ අදහස පිළිගත හැති නොවේ. අනෙක් අතින් ස්වකීය නිර්මාණ ශක්තිය, ස්වාධීන පරිකල්පනය ආදී බුද්ධි බලයන් පරම්පරායාත මතයන් කෙරෙහි අතිමාත‍්‍ර වූ ගෞරවය වෙනුවෙන් ආයාසයෙන් සීමා කර තැබීමට තරම් ශාස්ත‍්‍රීය සංයමයකින් කි‍්‍රයා කළ බුදුගොස් හිමියන්ගෙන් එවැන්නක් අපේක්‍ෂා කළ හැකි නොවේ. බුද්ධඝෝෂ හිමියන් ලංකාවේ ස්වකීය කාර්යය නිමකළ පසු බුද්ධධර්මය ව්‍යාප්ත කරීම සඳහා බුරුමයට ගියේ යැයි කර්න් :ඵ්බම්ක දෙ ඉමාායසිප චග 125* පවසන අතර බුරුම දේශවාසීන් මහා අටුවාචාරීන් වහන්සේ එහි ගිය කාලයට ඔවන්ගේ ආගමේ නව යුගයක් අයත් කරන බව ස්පෙන්ස් හාර්ඩි :ඊමාායසිප චග 532* සඳහන් කරයි. ධර්මය පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා ගැනීමට බුද්ධඝෝෂ හිමියන්ගේ අටුවාවන්ගෙන් ලැබෙනා ආලෝකය අති මහත්ය. උන්වහන්සේගේ විවරණයන් නොතිබෙන්නට බුද්ධ දේශනයේ ගැටළු තැන් කිහිපයක්ද, දර්ශනයේ සැක තැන්ද අවබෝධ කරගනු දුෂ්කර වනු ඇත. උන්වහන්සේගේ වාග් නිරුක්තීන් හා විවරණයන් අනර්ඝය. එහෙයින්ම බුද්ධඝෝෂ හිමියෝ ථෙරවාදයේ හෙවත් දක්‍ෂිණ නිකායේ අසහාය ව්‍යාඛ්‍යාතෘ ලෙසින් අවිවාදයෙන්ම සම්භාවනාවට පාත‍්‍ර වේ. සීහළට්ඨකථා පාලියට නැගීමේ අරමුණු ‘‘හිත්‍වා පුනප්පුනාගතමත්‍ථං අත්‍ථං පකාසයිස්සාමි සුජනස්සච තුට්ඨත්‍ථං චිරට්ඨිතත්‍ථච ධම්මස්ස’’ හෙළ බසින් පැවතී අටුවා පාලි භාෂාවට නගන්නේ කුමක් සඳහාද යන්නත් මෙහි සඳහන් වේ. ධර්ම චිරස්ථිතිය උදෙසා මෙසේ පාලි භාෂාවට නගන බව බුද්ධඝෝෂ හිමියෝ පවසත්. එහිදී අපට මෙබඳු පැනයක් ඇති වේ. ඒ හෙළබසින් ධර්මය චිරස්ථායී නොවන්නේද යන ගැටළුවයි. මෙයට පිළිතුරු දීමට නම් සමකාලීන සමාජ වටපිටාවද අධ්‍යයනය කළ යුතුය. හෙළටුවා පාලියට නැගුණු කාලපරිච්ෙඡ්දය තුළදී අභයගිරිය කැපී පෙනෙන දියුණුවක් ලබා ගෙන තිබුණු බව පැහැදිලි වේ. ෆාහියන් භික්‍ෂුවගේ වාර්තාවලට අනුවත් අභයගිරි පූජා භූමියේ පුරා විද්‍යාත්මක කැනීම් මඟිනුත් හෙළි කොට ඇති සාක්‍ෂි තුළින් මනාව පසක් වේ. මහායාන අදහස් පමණක් පිළිගත් අභයගිරි විහාරීය භික්‍ෂූන් වෙනත් අලූත් ආගමික අදහස් පිළිගත් නිදහස් මතධාරී පිරිසක් වූහ. දන්තධාතූන් වහන්සේගේ අයිතියද මේ වන විට භාරව පැවතියේ අභයගිරිවාසී භික්‍ෂූන්ටය. ජාත්‍යන්තර බෞද්ධ ලෝකයේ වඩාත් ජනප‍්‍රිය පිළිගැනීමට ලක් වූ ආයතනයක් බවට පත් වීමට අභයගිරියට මේ නිසා හැකි වුණි. මේ සඳහා භාෂා මාධ්‍යය ලෙස යොදා ගැණුනේ සංස්කෘත භාෂාවයි. මේ කරුණු නිසා අභයගිරිය අභිභවා යමින් එවකට මහාවිහාරය සතුව පැවතී පිරිසිදු ථෙරවාද බෞද්ධ සම්ප‍්‍රදාය ලෝකය තුළ ප‍්‍රචලිත කිරීමෙන් ජාත්‍යයන්තර ප‍්‍රසිද්ධියට පත් වීමේ උවමනාවක් මේ වන විට මහාවිහාරීය භික්‍ෂූන් තුළ වූහයි සිතිය හැකිය. ථෙරවාද සම්ප‍්‍රදාය පිළිබඳවත් එම සම්ප‍්‍රදාය මැනවින් රැුකගත් මහාවිහාරයේ ඉතිහාසය පිළිබඳවත් කරුණු ඇතුළත් වන පැරණි හෙළටුවා විවිධ භාෂාවන්ට නැගීමට වඩා එවකට බෞද්ධ ලෝකයේ පොදු භාෂාව බවට පත් වී තිබුණු පාලි භාෂාවට නැගීම ඉතා යෝග්‍ය බව මහාවිහාරීය භික්‍ෂූන් හොඳින් වටහා ගෙන සිටි බව පෙනේ. මේ අනුව සීහළට්ඨකථා පාලියට නැගීමේ අවශ්‍යතාව x දීපාන්තරවාසීන්ගේ ප‍්‍රයෝජනය පිණිස (පාලි භාෂාව ජාත්‍යන්තර බෞද්ධ භාෂා මාධ්‍යය විය.* x විවිධ භාෂාවන්ගෙන් තිබූ මතවාද පොදු භාෂාවකින් හා පොදු එකඟතාවකින් පවත්වා ගැනීමේ අවශ්‍යතාව x ධර්මවිනය ආරක්‍ෂා කර ගැනීමේ පියවරක් වශයෙන් x පෙළ පාලියෙන් පැවතීම නිසා අටුවාවත් තත්භාෂාවෙන්ම පැවතීම ධර්මයේ චිරස්ථිතිය පිණිස පවත්නා නිසා x සිංහල භාෂාවේ භාෂා පරිනාමීය ප‍්‍රවණතාව යටතේ පසුකාලීනයන්ට භාෂාව අවබෝධ කර ගැනීමේ දුෂ්කරතා මතු වේ යැයි සිතූ නිසාවෙන්. x හෙළටුවාවල තිබුණු වැරදි හා ප‍්‍රමාද දෝෂයන්ගෙන් විනිර්මුක්ත කර ශෝධනය කිරීමේ අවශ්‍යතාව අටුවාකරණයට මූලාශ‍්‍ර භාවිතය ආචරියවාද දික්සඟි අටුවාව වන සුමංගලවිලාසිනියේ ‘‘ආචරියවාදො නාම අට්ඨකථා’’ යනුවෙන් දක්වා තිබෙන උද්ධරණයට අනුව අටුවා යනු ආචරියවාදය යැයි සන්දර්ශිතය. මේ ආචරියවාද නම් කුමක්දැයි යන්න නිරාකරණය කර ගැනීමට අවැසි සාධක අටුවා විස්තරයකින්ම සොයා ගැනීමට හැකිවීම මෙහිලා නිවැරදි අර්ථයක් ලබා ගැනීමට හේතු වෙයි. සමන්තපාසාදිකා නම් විනය අටුවාවේ ‘‘ආචරියවාදො නාම ධම්මසංගාහකෙහි පඤ්චහි අරහන්තසතෙහි ඨපිතා පාලි විනිම්මුත්තා ඔක්කන්තික විනිච්චයප්පවත්තා අට්ඨකථාති’’ යන්නෙන් පෙනේ. මේ අනුව ආචාර්ය වාදය නම් ධර්ම සංග‍්‍රාහක පන්සීයක් මහරහතන් වහන්සේලා විසින් තබන ලද පෙළෙන් වෙන්ව බැස ගන්නා ලද විනිශ්චය වශයෙන් පැවතී අටුවායි. මේ අනුව ඒ ඒ සංගායනාවන්ට සහභාගී වූ මහරහතන් වහන්සේලා විසින් සුරක්‍ෂිත කරන ලද මතිමතාන්තර ආචාර්යවාදය යැයි සැලකිය හැකිය. මේ අනුව අට්ඨකථාවල අයිතිය පැවරෙනුයේ සංගීතිකාරක මහරහතන් වහන්සේලාට යැයිද මතයෙකි. පොල්වත්තේ බුද්ධදත්ත හිමියෝ අටුවා නම් ආචාර්යවාදය විනා ප‍්‍රකීර්ණක දේශනා නොවන්නේ යැයි පවසත්. භාණක පාලි අට්ඨකථාකරණයේදී බුද්ධඝෝෂ හිමියන් කරුණු ලබාගත් වැදගත් මූලාශ‍්‍රයක් ලෙස භාණකයන් හැඳින්විය හැකිය. භාණක යන්නේ වාච්‍යාර්ථය කියවන්නන් යනුවෙන් දැක්විය හැකි වුවත් මෙහිදී ති‍්‍රපිටකයේ විවිධ කොටස් පිළිබඳ ප‍්‍රවීණතාවක් ඉසිලූ එම ධර්ම කොටස් පරපුරෙන් පරපුරට ගෙන ආ මුඛපාඨ සමූහය ආරක්‍ෂා කළ පිරිස මෙනමින් හඳුන්වා ඇත. තථාගත ධර්මය සංරක්‍ෂණය වෙනුවෙන් කි‍්‍රයා කළ බුද්ධකාලීන ධම්මධරා, මාතිකාධරා, විනයධරා ආදී පිරිස් භාණකයන්ගේ ආරම්භය හා සම්බන්ධ කළ හැකිය. පැහැදිලි ලෙසම පඤ්චසතික සංගීතියේදී සතර ආගම ග‍්‍රන්‍ථයන් භාණකයන් සඳහා පැවරූ ආකාරය පිළිබඳ සාධක දක්නට ලැබේ. මුල් කාලයේදී සම්බුද්ධ දේශනා ලේඛනගත කිරීමේ හැකියාවක් නොවූ නිසාවෙන් ලක්දිවදී මාතලේ ආලෝක විහාරයේදී ග‍්‍රන්‍ථාරූඪ කිරීම දක්වාම පවත්වාගෙන ආවේ මුඛ පරම්පරාවෙනි. මෙහිදී භාණකවරුන්ගේ කාර්යය සුළු පටු නොවීය. එසේම පුරාණ අර්ථකථන විවරණ ක‍්‍රමවේදයද ඔවුන් සුරක්‍ෂිත කරන්නට ඇතැයි සිතිය හැකිය. ධර්මවිනය සංරක්‍ෂණය සඳහා ගත් ඉතා ප‍්‍රයෝජනවත් උපාය මාර්ගයක් වූ භාණක සම්ප‍්‍රදාය තුළින් ඇතැම් විට භික්‍ෂුණ් අතර භේද ඇතිවී ගැටුම්කාරී අවස්ථා ඉස්මතු වූ අයුරුද විනය අටුවාවේ දැක්වේ. මෙම භාණක මත සමූහය බුද්ධඝෝෂ හිමියන්ට ලබා ගත හැකිව තිබුණේ කෙබඳු ලේඛන වලින්දැයි නිශ්චය වශයෙන් දැන ගැනීමට මාර්ගයක්් තවමත් හමු වී නැත. පොරාණ බුද්ධඝෝෂ හිමියෝ පෝරාණ මතයන්ද ප‍්‍රාමාණිකත්‍වයෙන් දක්වා ඇත. ඕල්ඩර්න් බර්ග් මහතාට අනුව පොරාණා යනු පොරාණට්ඨකථායි හෙවත් පුරාණ අටුවායි. ථෙරවාද ශාසනයේ පිතෘවරුන් බඳු මේ පෝරාණයන් ධර්මය මත විකාශනය වෙමින් පැවතී දාර්ශනික ආචාර්යවාදයන් වෙනුවෙන් පෙනී සිටි ප‍්‍රබුද්ධ පිරිසක් බවත් සම්ප‍්‍රදායික මතයන්ට ගරු කළ ධර්ම ව්‍යාප්තිය, විමුක්තිය වෙනුවෙන් කැප වූ පිරිසක් ලෙස නොව පොත් ගරු කළ බෞද්ධ සභ්‍යත්‍වයේ පැවිදි ලේඛකයෝ වූහයි රීස් ඬේවිඞ්ස් මැතිණිය අදහස් කරයි. පෝරාණාචාරීන් අර්ථකථාචාරීන් ම බව ගන්‍ධවංසයේ පැහැදිලිවම දක්වා තිබේ. සංඝයා අතර පහළ වූ ප‍්‍රශ්න තෝරා බේරා දීමට ආරාධනා ලැබූ ස්ථවිරවරුන් මෙනමින් හැඳින්වෙතැයි ලෝ මහතා අදහස් කරයි. එතුමාට අනුව ‘‘අට්ඨකථාවන්ට ඇතුළත් කරන ලද්දේ මේ ස්ථවිරවරුන්ගේ විස්තර ව්‍යාඛ්‍යානයෝය. මුලින් පැවතී ලෙස පාලි භාෂාවෙන්ම මේවා උද්ධෘත වීමෙන් විශිෂ්ටත්‍වයට පැමිණ සිංහල අටුවාවන්හී ආරක්‍ෂිතව තිබෙන්නට ඇතැයි ද ඔහු කල්පනා කරයි. පෝරාණා යනුවෙන් සඳහන් වන්නේ අට්ඨකථාවන්ට අවශ්‍යයෙන්ම අන්තර්ගත නොවී විවිධ නිකායන්හී මුඛපරම්පරාගතව ඇතැම් විට වාචෝද්ගත කිරීමට පහසු පරිදි සූත‍්‍ර ගාථා වශයෙන් පැවත ආ විස්තර ව්‍යාඛ්‍යානයන්ගේ කර්තෘවරුන් වූ ආචාර්යපාදයන් ගැන යයිද බුද්ධඝෝෂ හිමියන් නිර්නාමිකව පොරාණා යයි සඳහන් කරන්නේ මේ පරම්පරාගත ව්‍යාඛ්‍යානයට යයිද එතුමා පවසයි. බොහෝ විට සිංහල ග‍්‍රන්‍ථයන්හී කර්තෘවරුන් තමන් නොදන්නා නැතහොත් නමින් සඳහන් කිරීම අවශ්‍ය යයි නොසිතන මූලාශ‍්‍රයන්ගෙන් කරුණු උපුටා දක්වන විට (එහෙයින් පුරාතනයෝ කීහු* යනුවෙන් ඉදිරිපත් කරති. පාලි අට්ඨකථාවන්හී පොරාණ පාඨ 116ක් ඇත්තේය. එයින් 85ක් පද්‍යයටද 29ක් ගද්‍යයටද ඇතුළත් වේ. කෙටි වාසගම් වූ ඉතිරි දෙක ගද්‍ය පාඨ හෝ ගාථා දෙකක කොටස් හෝ විය හැකිය. මෙයින් වැඩි කොටසක් ඇත්තේ බුද්ධඝෝෂ හිමියන්ගේ කෘතිවලය. ධම්මපාල හිමියන්ගේ කෘතිවල පෝරාණ මත විරලය. පෝරාණයන්ගේ විශිෂ්ඨත්‍වය විශෘත කරනු වස් අදිකාරම් මහතා මෙබඳු අදහසක් දක්වා ඇත. ‘‘ඒ පාඨයන්ට වස්තු වූ පාඨයන්ට වස්තු වූ විෂයයෝ ව්‍යාකරණ රීති මාත‍්‍රයේ සිට ගැඹුරු දර්ශනය දක්වාද හුදු ජනප‍්‍රවාද කථා වල සිට ඉතිහාසය දක්වාද වෙති.’’ පෝරාණ යන්නට සමීප අටුවාවන්හී දැක්වෙන තවත් නම් කිහිපයකි. එනම්, x පොරාණකෙත්‍ථරා (පැරණි තෙරවරු* x පුබ්බාචරියා (පෙර සිටි ආචාර්යවරයෝ* x පොරාණාචරියා (පැරණි ආචාර්යවරු* x අට්ඨකථාචරියා (අටුවාචාරීහු* හෙළටුවා තෘතීය සංගීති අවස්ථාව වන විට පූර්ණ භාවයකට පත්ව තිබුණු අර්ථකථා ව්‍යඛ්‍යාන සාහිත්‍යය, ආචාර්යවාදය මිහිඳු හිිමියෝ ලක්දිවට වැඩම කරත්ම රැුගෙන අවුත් ඒවා දීපභාෂාවට නැගූහ. ඒ අනුව මේවා දීප භාෂාවට නැගීමට පෙර මගධ බසින් පැවතී බව කියනු ලැබේ. (මගධ බසින් වැටෙමින් ආ බුදුකැලි අටුවා හෙළදිව් ඇජුරෝ හෙළු බසින් තැබූහ.* එතැන් සිට ලාංකික භික්‍ෂූන් ඒවා උද්ග‍්‍රහණ, ධාරන, මනසිකාර නයින් වර්ධනය කළහ. දේවානම් පියතිස්ස රජුගේ කාලයේ සිට සිංහල අටුවා පිළියෙළ වෙමින් පැවතිණ. වට්ටගාමිණී අභය රජුගේ කාලයේදී සිංහල අටුවා වැඩි හරියක් ලියවිණ. මේ රාජ්‍යෝදයේ ත‍්‍රිපිටකය සහිත අටුවා සාහිත්‍යය මාතලේ අළුලෙන් විහාරයේදී ග‍්‍රන්‍ථා?ඪ කරන ලදි. ඊට පසුවද කි‍්‍ර. ව. 5 වන සියවස දක්වාත් සිංහලෙන් යම් යම් අටුවා ලියන ලදි. ලක්දිව හෙළටුවා ලියවෙන කාලයේ ඉන්දියාවේ ආන්ධ‍්‍රා දේශයේ ද්‍රවිඩ අටුවා ලියන ලද්දේ යැයි සිතිය හැකිය. එහෙත් එය ලක්දිවදී මෙන් සාර්ථකව දියුණු ලෙස සිදු වූවක් නොවේ. මේ අනුව බුද්ධඝෝෂ හිමියන් දිවයිනට පැමිණෙන විට එනම් පස්වැනි සියවස මුලදී නොයෙක් ස්ථානවල නොයෙක් වකවානුවල මෙසේ පරම්පරාගතව පැවත ආ අටුවා සංගෘහිත කර ග‍්‍රන්‍ථගත කොට දේශීය භාෂාවන්ගෙන් ලිඛිතව තිබිණ. තද් යුගයේදී ඇති වූ එබඳු ග‍්‍රන්‍ථ කිහිපයක නාමයන් පමණක් දැනට සේෂව පවතී. 1ග තුන් පිටකයටම අයත් මූල නොහොත් මහා අට්ඨකථාව. 2ග පච්චරියක් හෙවත් පසුරක් උඩදී ලියන ලද මහාපච්චරී අට්ඨකථාව. 3ග ලක්දිව කුරුන්දිවේලූ විහාරයේදී ලියන ලද කුරුන්දි අට්ඨකථාව. 4ග දකුණු ඉන්දියාවේ කාඤ්චිපුර (කොන්ජීවරම්* ප‍්‍රදේශයේ පැවතී ආන්ධ‍්‍ර භාෂාවෙන් රචිත යැයි සිතිය හැකි අන්ධක අටුවාව. 5ග චුල්ලපච්චරී අටුවාව නමින් හැදින්වෙන අටුවාව යැයි සිතිය හැකි සංඛෙප අට්ඨකථාව. මෙයට අමතරව ඊ. ඩබ්. අදිකාරම් මහතා බුදුගොස් හිමියන් පැමිණෙන විට තිබු අට්ඨකථා සංහිතා 28ක නාමාවලියක් දක්වා ඇත. පාලි අටුවා ලිවීමේදී ඇසුරු කර ගන්නා ලද තවත් සිය ගණනක් ග‍්‍රන්‍ථ තිබිණි. එයින් බොහෝමයක් පිළිබඳ කරුණු දැනගන්නට නොමැත. ධම්මසංඛෙප, සීහළභාසා නමක්කාරවණ්ණනා, විසුද්ධිකථා, අරියවංසකථා, උත්තර චුල්ලභාජනීය, බොජ්ඣංගසංයුත්ත උපදෙස, භූමිචාල විජ්ජා, පවෙණිකථා, සුපිනසත්‍ථ, මණිලක්‍ඛණසත්‍ථ, යනු ඉන් සමහරකි. මේ ග‍්‍රන්‍ථයන් විවිධ විෂයන් අරමුණු කරගෙන රචනා කරන ලද කෘතීන් යැයි සිතිය හැකිය. ඒවායේ ග‍්‍රන්‍ථ තත්වය නාමයෙන් සිතා ගත හැකිය. මහා විහාරීය කෘති වශයෙන් පිළිගැනීමට නොහැකි කෘති රැුසක්ද විය. වණ්ණ පිටක, අංගුලිමාල පිටක, රට්ඨපාලගජ්ජිත, ආලවකගජ්ජිත, ගුල්හ උම්මග්ග, ගුල්හ වෙස්සන්තර, ගුල්හ විනය, යන ග‍්‍රන්ථ මහා විහාරිකයන් පිළිගෙන නැත. සුමංගලවිලාසණියේ හා මනේරථපූරණියේ ඉහත සඳහන් ප‍්‍රබන්ධ සම්පූර්ණයෙන් ම ප‍්‍රතික්‍ෂේප නොකර රාගාදිය ප‍්‍රහාණය සඳහා සුදුසු නොයේ නම් ප‍්‍රතික්‍ෂේප කරන ලෙස උපදෙස් දී ඇත. එසේම අටුවාචාරීන් වහන්සේලා මිලින්දපඤ්හය ප‍්‍රාමාණික කෘතියක් ලෙස පිළිගෙන ඇතත් අනෙක් නෙත්තිය හා පේටකෝපදේසය සම්භාවනාවෙන් පරිශීලනය කර නොමැති බව පෙනේ. මෙසේ බුද්ධඝෝෂ හිමියන් ඉදිරියේ මූලාශ‍්‍ර බොහෝමයක් වූ බව පැහැදිලි වේ. මේ අටුවාවල විවිධ මත ඇතුළත් වූ බවත් නොයෙකුත් ආචාර්ය වාදයන්ට අයත් අදහස් දැක්වුණු බවත් නිසැකය. ටීකාවන්හී පවා හෙළටුවා පිළිබඳ සෑහෙන තොරතුරක් දක්නට නොමැත. මේ අනුව ටීකා යුගය වන විට පැරණි අටුවාවන්හී භාවිතය දුරස් වී අභාවයට යන්නට ඇතැයි සිතිය හැකිය. මේ අනුව හෙළටුවා පාළි අටුවාකරණයට ප‍්‍රධානතම මූලාශ‍්‍ර වූ බවට සැකයක් නැත. මීට අමතරව ඒ යුගය වන විට රචනා වී තිබුණු සංස්කෘත භාෂ්‍ය ග‍්‍රන්‍ථයන්ගේ ආභාෂය ලැබෙන්නට ඇතැයි සිතිය හැකිය. භාෂ්‍ය ග‍්‍රන්‍ථ යනු පදවලට විස්තරාර්ථ සපයනු පිණිස රචනා වී තිබූ කෘති සමුදායකි. එසේම වෛදික සාහිත්‍යයේ චතුර්වේද ග‍්‍රන්‍ථයන්ට අටුවා ස්වරූපයෙන් රචනා වී ඇති බ‍්‍රාහ්මණ ග‍්‍රන්‍ථ තුළින්ද අර්ථ කථන ක‍්‍රමයක ලක්‍ෂණ පෙන්නුම් කෙරේ. මේවායේදී පර්යාය නාමයන් දීම ආඛ්‍යාත වෘත්තාන්ත ආදිය ජනශ‍්‍රැතියෙන් හෝ ව්‍යවහාරයෙන් ගෙන නිදර්ශන වශයෙන් ඉදිරිපත් කොට ඇත. පාලි අටුවාවල මේ ක‍්‍රමය දක්නට ලැබේ. විශේෂයෙන්ම බ‍්‍රාහ්මණ ජාතික භික්‍ෂුවක් ලෙස බුද්ධඝෝෂ හිමියන් මේ අර්ථකථන ක‍්‍රමය පිළිබඳ සුනිසිත දැනුමක් ඇතිව සිටින්නට ඇතැයි සිතීම සාධාරණ වේ. මේ අනුව බෞද්ධ අර්ථකථන සම්ප‍්‍රදාය බුදුන් වහන්සේගේ සිට සාරිපුත්ත කච්චායන ආදී මහරහතන් වහන්සේලා මෙන්ම සංගීතිකාරක තෙරුන් වහන්සේලා වෙතින්ද සංස්කෘත අර්ථකථන සම්ප‍්‍රදායේ ඇතැම් ලක්‍ෂණ එක්වීමෙන්ද සුපෝෂණය වූයේ යැයි සිතීම වරදක් නොවේ. අටුවා පරිවර්තක ක‍්‍රමවේදය බුද්ධඝෝෂ හිමියන්ට පාලි අටුවා රචනා කිරීමට හෙළ අටුවා මූලාශ‍්‍ර වූ බවට පැහැදිලිව පෙනෙන්නට ඇත. මෙහිදී බුද්ධඝෝෂ හිමියන් විසින් අනුගමණය කළ පරිවර්තන ක‍්‍රමවේද කෙබඳු ශාස්ත‍්‍රිය පදනමක ලක්‍ෂණ විදහා පාන්නේද යන්න විමසීමට භාජනය කරනු ලැබේ. ඒ සඳහා උපස්ථම්භක වන එක් සාධකයක් සුමංගලවිලාසිනී ප‍්‍රාරම්භක ගාථාවල සඳහන් වේ. ‘‘අපනෙත්‍වාන තතොහං සීහළභාසං මනොරමං භාසං තන්තිනයානුච්ඡුවිකං අරොපෙන්තො විගත දොසං හිත්‍වා පුනප්පුනාගතමත්‍ථං අත්‍ථං පකාසයිස්සාමි සුජනස්සච තුට්ඨත්‍ථං චිරට්ඨිතත්‍ථච ධම්මස්ස’’ දැනට පවතින පාලි අටුවා මුලින් පාලි බසින් පැවත නැවත හෙළබසට පෙරළී නැවත පාලි බසට නැගුණු සාහිත්‍යාංගයකි. එවිට බුද්ධඝෝෂ අටුවා ප‍්‍රතිපරිවර්තන :ඊ්ජන ඔර්බික්එසදබි* අටුවා ලෙස හඳුනාගත හැකිය. පාලි අටුවා රචනයේදී බුද්ධඝෝෂ හිමියෝ සංස්කරණමය රචනා ක‍්‍රමයක් උපයුක්ත කොට ගෙන තිබේ. මෙසේ ප‍්‍රතිපරිවර්තන කිරීමේදී නොයෙක් දුෂ්කරතා වලට රචකයන්ට මුහුණ පෑමට සිදුවේ. එහෙත් බුද්ධඝෝෂ හිමි වැනි උගත් භික්‍ෂුවක් ශාස්ත‍්‍රීය පදනමක පිහිටා තත් කර්තව්‍යයේ පුරෝගාමීත්‍වය ගෙන තිබීම නිසා මෙහි ප‍්‍රාමාණිකත්‍වය සුරක්‍ෂිත වී ඇත. බුද්ධඝෝෂ හිමියන් මෙහිදී උපයුක්ත කොට ගත් පරිවර්තන ක‍්‍රමවේද පිළිබඳ උගතුන් නොයෙකුත් අදහස් පල කර ඇත. මහාචාර්ය ගතාරේ ධම්මපාල හිමියෝ - ‘‘පදානුගත පරිවර්තන නොවන අතර අර්ථයේ අනන්‍යතාව ආරක්‍ෂා වන පරිදි ඒ ගැන විශේෂ අවධානය යෙමෙු කරමින් අටුවා ලියා ඇත.’’ මහාචාර්ය ජී. පී. මලලසේකර මහතා - ‘‘සිංහල හා ද්‍රවිඩ අටුවාවන්ගෙන් කරුණු ලබා ගත්තත් උන්වහන්සේලා ඒවා පදයෙන් පදය පරිවර්තනය කර නැත.’’ පාලි සාහිත්‍යයේ ඉතිහාසය පිළිබඳ අගනා ග‍්‍රන්‍ථයක් සකස් කළ බී. සී. ලෝ මහතාගේ මතය වනුයේ බුද්ධඝෝෂ හිමි මහාවිහාරීය හෙළටුවා මෙන්ම මහාවිහාරික භික්‍ෂූන් වහන්සේලාගේ මතවාදද විමසා බලමින් පාලි අටුවා ලියූ බවය. ඊ. ඩබ්. අදිකාරම් මහතා බුදුගොස් හිමියන්ගේ කාර්යය වූයේ බුදුසමය පිළිබඳ අමුතුවෙන්ම ග‍්‍රන්‍ථ සමූහයක් නිෂ්පාදනය කිරීම නොව එතෙක් හෙළටුවාවන්හී ආ කරුණු විධිමත්ව හා සුගමව පාලි භාෂාවට නැගීම’ යැයි සඳහන් කරයි. එපමණක් නොව බුදුගොස් හිමි අටුවාකරණයේදී සියලූම හෙළටුවාද පෙළද පරිශීලනය කළ බව කියයි. මහාචාර්ය වල්පොල රාහුල නාහිමි - අටුවාවන්හී බුද්ධඝෝෂ තෙරුන් සංස්කාරකයෙකු සේම අනුවාදකයෙකු වශයෙන්ද කාර්යය දෙකක් කරන ලදි.’’ සුමංගලවිලාසිනියේ එන ආරොපෙන්තො යන වචනය පරිවර්තනය යන වචනයට වඩා පුලූල් අරුතක් ඇති වචනයෙකි. ඒ හාම සමාන අරුත් ඇති වචනයෙකි, ‘ඨපිතා’ යන්න. මේ අනුව බුද්ධඝෝෂ හිමියන්ද පරිවර්තන යන නාමය භාවිත නොකර ඇති බව මෙයින් පෙනේ. එසේම නූතන විචාරකයෝ පරිවර්තනය යන්නට වඩා සංස්කරණය යන වචනය භාවිත කිරීමට වැඩි රුචිකත්‍වයක් දක්වති. සංස්කරණය යන වචනයේ මැනවින් සකස්කිරීම යන අරුත ඇත. පාලි අටුවාකරණයේදී එපරිද්දෙන් මැනවින් සකස් කළ ආකාරය පැහැදිලිවම දැකගත හැකිය. සමන්තපාසාදිකාවේ පද්‍යමය ප‍්‍රස්තාවනාවේ උන්වහන්සේ තමන් කරන ලද්දේ කුමක්දැයි විස්තර කරයි. ‘‘මෙම අට්ඨකථාව ආරම්භ කරන්නාවූ මම මහා අට්ඨකථාව ශරීරය ලෙස ගෙන, මහා පච්චරියෙහි යම් විනිශ්චයක් දක්වන ලද්දේද ඒ සියල්ලෙහි යුක්ත වූ අර්ථයන් අත් නොහැර, ස්ථවිරවාදයන්ද අන්තර්ගත කොට මාගේ කාර්යය ඉෂ්ට කරන්නෙමි. ධර්මප‍්‍රදීප වූ තථාගතයන් වහන්සේගේ ධර්මය කෙරෙහි උචිත ගරුකාර ඇති නවක, මධ්‍යම, ස්ථවිර භික්‍ෂූහු මාගේ වචනය අසත්වා! භාග්‍යවතුන් වහන්සේ විසින් යම් ධර්මයකුත් විනයකුත් වදාරන ලද්දේද, බුද්ධ පුත‍්‍රයෝ එය එසේම අවබෝධ කර ගත්හ. පූර්වයේ ඒ සිංහල අර්ථකථාචාර්යවරයෝ ඔවුන්ගේ මත කිසිවකුත් ඉවත් නොකරමින්, එසේම ප‍්‍රමාදලේඛයන් හැර, ඒ සියල්ලම මේ ශාසනයේ ශික්‍ෂා ගරුක වූ පණ්ඩිතයන්ට ප‍්‍රමාණ වේයැයි ගෙන අර්ථකථා රචනා කළහ. ඒ අර්ථකථාවෙන්ද භාෂාන්තරය පමණක් අත්හැර, විස්තර මාර්ගය සංක්‍ෂිප්ත කොට සියලූම විනිශ්චය ශේෂ නොකොට පාලි භාෂා ක‍්‍රමයන් අතික‍්‍රමණය නොකොට සූත‍්‍රයන්ගේ අර්ථය එයට අනුරූප වන පරිදි පරිදීපනය කරන්නාවූ මේ වර්ණනා තොමෝ සකසා ශික්‍ෂා කටයුතුය.’’ පූර්වෝක්ත විස්තරයට අනුව බුුදුගොස් හිමියන් විසින් සුභාවිත පරිවර්තන ක‍්‍රමවේධයන් මෙසේ දැක්විය හැකිය. x මූලාශ‍්‍රගත අටුවාවල සුදුසු අර්ථ අත් නොහැරීම. (යුත්තමත්‍ථං අපරිච්චජන්තො* x ථෙරවාදයට හෙවත් මහාවිහාර න්‍යායට පක්‍ෂපාතී වීම. (තතොපි අන්තොගධ ථෙරවාදං* x භාෂාව පමණක් වෙනස් කිරීම. (භාසන්තරමෙව හිත්‍වා* x විස්තරාර්ථ කථන සංක්‍ෂිප්ත කර දැක්වීම. (විත්‍ථාර මග්ගඤ්ච සමාසයිත්‍වා* x අදාළ සියලූ විනිශ්චයන් දැක්වීම. (විනිච්ඡුයං සබ්බමසෙසයිත්‍වා* x පාලි ක‍්‍රමයෙන් බැහැර නොවීම. (තන්තික්කමං කඤ්චි අවොක්කමිත්‍වා* x පුනරුක්ත හා සවද්‍යස්ථාන වන ප‍්‍රමාද ලේඛයන් ඉවත් කිරීම. (තං වජ්ජයිත්‍වාන පමාදලෙඛං* මුලාශ‍්‍රයන්හී සුදුසු අර්ථ අත් නොහැරීම. බුද්ධඝෝෂ හිමියන් ඉදිරියේ වූයේ කිසිලෙසකිනුත් සූකර කාර්යයෙක් නොවන බැව් පැහැදිලිය. අනේක මූලාශ‍්‍රයන්ගේ විවිධ කරුණු බහුල වීමම මහත්ම දුෂ්කරතාවෙකි. දඹදිවින් පිටත් වීමේදී උන්වහන්සේගේ බලාපොරොත්තුව වූයේ සිංහල අටුවාවන් ඉගෙන පාලි භාෂාවට පරිවර්තනය කිරීම පමණෙකි. එහෙත් දැන් ප‍්‍රතිවිරුද්ධ මත, පරස්පර විරෝධී අර්ථග‍්‍රහණ, ඇතැම්විට අයෝග්‍ය ධර්ම ආදියට මුහුණ පෑමට උන්වහන්සේට සිදුව ඇති නිසා ලෝපන සංක්‍ෂේපණ විස්තාරණ ආදියෙන් ස්වාධීන අට්ඨකථා සකස් කිරීමට සිදුව ඇත. විසුද්ධිමග්ගය බඳු ක‍්‍රමවත් වූ ඒකාබද්ධ සාරසංග‍්‍රහයක කර්තෘවරයාට හුදෙක් පරිවර්තනය කිරීමෙන් තෘප්ත වීමට නොහැකිය. විවිධ මූලාශ‍්‍රයන්හී ඇතුළත් වූ විවිධ කරුණු රාශිය ක‍්‍රමාණුකූලව රාශීභූත කිරීමෙන් පැරණි ශාස්ත‍්‍රීය විවේචන අනාගත විද්වත් පර්ෂදයන්ට සුරක්‍ෂිත කිරීමට අදහස් කළ ඔහු ව්‍යාඛ්‍යානයට ප‍්‍රස්තුත වූ පාඨය උත්තානීකරණය කරනු පිණිස තමන් සතු මූලාශ‍්‍රයන්හී විස්තර ලියා තැබීමට පසුබට නොවූහ. උන්වහන්සේ මේ කර්තව්‍යය සඳහා බටුයේ චිරන්තන පුරාතන පණ්ඩිතයන්ට ශාස්ත‍්‍රීය නියමයන්ට පහරදීමේ අසංයත ආශාවක් මුදුන් පත් කරගනු සඳහා නොවේ. ඒ වෙනුවට පූර්ව ආචාර්යයන් කෙරෙහි භක්තිමත්ව ප‍්‍රසාද පූර්වකව උන්වහන්සේලා විසින් සංගෘහිත කර ලේඛනගත කරන ලද දේ නොමදව අධ්‍යයනය කරන ලදි. උන්වහන්සේගේ සිත් තුළ තැන්පත්ව තිබූ උසස් පරමාර්ථයක් ලෙස ශාස්ත‍්‍රීය ලෙස පිළිගත හැකි උසස් මතයන්ට ගෞරව දැක්වීම දැක්විය හැකිය. මෙසේ බුද්ධඝෝෂ හිමියන්ගේ කෘතීන් කීර්තිධර සංඝයා වහන්සේලා විසින් සියවස් ගණනක් මුලූල්ලෙහි ආරක්‍ෂා කරන ලද සුදුසු අර්ථයන් සංබද්ධ කරන ලද බව පෙනේ. බුද්ධඝෝෂ හිමියෝ අටුවාකරණයේදී ආරක්‍ෂා කරන ලද ක‍්‍රමවේදය හැමලෙසින්ම පරීපූර්ණ වූ ශාස්ත‍්‍රීය න්‍යායට අනුගත වූවකි. උන්වහන්සේගේ සෑම අර්ථකථාවකම ඒ බැව් සමර්ථනය කළ හැකි උද්ධරණ දැකිය හැකිය. විවිධ මූලායතනයන්හී විවිධ අත්පිටපත් විමසා බැලූ උන්වහන්සේ එහි වූ පාඨාන්තර අවංකව දැක්වූහ. බොහෝවිට, විශේෂයෙන් කථාන්තරයන්හී වෙනස් අනුවාදයන් දුටුවිට ඒ සියල්ල අනාගත පරම්පරාවට ලේඛනගත කොට තැබූහ. ථෙරවාදයට හෙවත් මහාවිහාර න්‍යායට පක්‍ෂපාතී වීම. හෙළටුවා පාලියට නැගීමේ කාර්යයේදී ලාංකික භික්‍ෂූන්ගේද අනුග‍්‍රහය ලැබී ඇත. ඒ අතරින් මහා විහාරීය භික්‍ෂූන්ගේ දායකත්‍වය උපරිමයෙන් ලැබී ඇත. නිර්මල ථෙරවාදී සම්ප‍්‍රදායට අයත් හෙළටුවා ග‍්‍රන්‍ථ ආරක්‍ෂා වී පැවතුනේ මහා විහාරීය භික්‍ෂූන් යටතේය. උන්වහන්සේලා ඒවා ඉතා උවමනාවෙන් සුුරක්‍ෂිත කළහ. එසේම මේ දුර්මත හා නිකායාන්තර මත පිවිසීමට ඇති ඉඩද සම්පූර්ණයෙන්ම වළක්වා ඇත. බුද්ධඝෝෂ හිමියන් ලක්දිවට පැමිණි විට ලාංකික භික්‍ෂූහු උන්වහන්සේ පිළිබඳ දැන නොසිටින්නට ඇත. උන්වහන්සේ ලංකාවට අවුත් හෙළටුවා පාලියට නැගීමට ඉල්ලීමේදී ග‍්‍රන්‍ථකරණාර්හත්‍වයට පරීක්‍ෂණයක් පැවැත්වීමට ගාථාවක් දී සුදුසුකම් පිරික්සා ඇත. ග‍්‍රන්‍ථකරණයට ඇති පෘථුල දැනුම සම්භාරය ඒ පළමු කෘතියෙන්ම වටහාගත් නමුත් මහාවිහාර භික්‍ෂූන් වහන්සේලා ඉතා අමාරුවෙන් රැුක ගත් හෙළටුවා සම්ප‍්‍රදාය විරෝධී මතවාදයන්ගෙන් ¥ෂණය වන්නට ඉඩ ඇතැයි සලකා මහා විහාරීය සමයට, විනිශ්චයට අනුගතව පාලියට නැගීමට අවසර දුන්හ. ‘‘මහාවිහාරවාසීනං දෙසනානය නිස්සිතං’’ ‘‘ආචරියවාදං අවිහාය විභජ්ජවාදීසිස්සානං’’ ‘‘මහාවිහාරවාසීනං වාචනාමග්ගනිස්සිතං’’ ‘‘සුවිසුද්ධං අසංකිණ්ණං - නිපුණත්‍ථ විනිච්ඡුයං මහාවිහාරවාසීනං සමයං අවිලොමයං’’ ‘‘සමයං අවිලොමෙන්තො ථෙරානං ථෙරවංසදීපානං සුනිපුන විනිච්ඡුයානං ආරොපෙන්තො විගතදොසං’’ ථෙරවංසය දීපනය කළ නිපුන විනිශ්චය ඇති මහා විහාරීය තෙරවරුන්ගේ අදහස් ඉවත් නොකර අටුවා රචනා කරන්නට බුද්ධඝෝෂ හිමි පොරොන්දු වේ. මෙහි එන සමය යන පදයෙන් මහා විහාරීය භික්‍ෂූන් බුද්ධඝෝෂ හිමියන්ට සීමාවන් පැනවූ ආකාරය පිළිබිඹු වෙතැයිද මහාවිහාරීය අදහස්වලට පටහැනි නොවී ඒ කර්තව්‍ය කිරීමට බුද්ධඝෝෂ හිමියන්ට උපදෙස් දී ඇතැයිද ඇතැම් උගතුන් විසින් පෙන්වා දී ඇත. මෙසේ දැක්වෙන මහාවිහාරීය සමය පිළිබඳ තොරතුරු විභංග අටුවාවේ දක්නට ලැබේ. ‘‘තස්සා අත්‍ථසංවණ්ණනං කරොන්තෙන 1ග විභජ්ජවාදිමණ්ඩලං ඔතරිත්‍වා ආචරිය අනබ්භාචික්කන්තෙන 2ග සකසමයං අවොක්කමන්තෙන 3ග පරසමයං අනායූහන්තෙන 4ග සුත්තං අප්පටිබාහන්තෙන 5ග විනයං අනුලොමෙන්තෙන 6ග මහාපදෙසෙ ඔලොකෙන්තෙන 7ග ධම්මං දීපෙන්තෙන 8ග අත්‍ථං සංගහන්තෙන 9ග තමෙවත්‍ථං උපපරික්කන්තෙන 10ග අපරෙහිපි පරියායෙහි නිද්දිසන්තෙන ච යස්මා අත්‍ථසංවණ්ණනා කාතබ්බා හොති.’’ මේ පිලිබඳව අපගේ අදහස වන්නේ මහාවිහාරවාසී තෙරුන් වහන්සේලා විසින් අටුවාවන්ගේ අර්ථකථනයන් නිවැරදිදැයි පරීක්‍ෂා කර බැලීම සඳහා යොදා ගන්නා ලද නිර්ණායක වශයෙන් මේ කරුණු 10 හඳුනාගත හැකි බවයි. බුදුන් වහන්සේ ධරමාන අවධියේදීම බුද්ධ දේශනාව පිළිබඳ යම් සංකාවක් ඇති වන්නේ නම් එය නිවරද කර ගැනීමට ධර්ම විනයේ බහා බලන්නට අනුදත් ආකාරය චතුර්විධ මහාපදේශ විස්තරයෙන් දත හැකි වේ. බුද්ධඝෝෂ හිමියන් විසින් මේ හෙළටුවා පාලියට පෙරලීමට භාර ගනුයේ බුද්ධ පරිනිර්වාණයෙන් සියවස් 10ක් පමණ වූ දිගු කලකට පසුවය. එසේම අප දන්නා තරමින් මේ යුගය වන විට පරවාදයන් හා නිකායාන්තරික මතවාද බලවත්ව බහුලව පැවතී බවත්, අභයගිරිකයන්ගේ බලය ප‍්‍රබලව පැවතී අයුරුත් ඓතිහාසික මූලාශ‍්‍ර තුළින් අනාවරණය කර ගත හැකි වේ. එසේම මහාවිහාරයට නවකයෙකු වූ බුදුගොස් හිමියන් පැමිණි කෙනෙහිම උන්වහන්සේට ස්වාධීනව මේ පරිවර්තන කි‍්‍රයාවලියට මහාවිහාරීය භික්‍ෂූන් අවසර දෙන්නට ඇතැයි යන්න සමර්ථනය කළ නොහැකි කරුණෙකි. හේතුව නොයෙක් උවදුරු බාධක මධ්‍යයේ ඉතා අසීරුවෙන් මේ පෙළ සහිත අර්ථව්‍යඛ්‍යාන ක‍්‍රමවේදය සුරැුකිව ගෙන ආ නිසාවෙනි. මෙහිලා අප පූර්වයෙන් දැක්වූ කරුණු 10 නීති රීති යනුවෙන් හඳුනා ගැනීමට වඩා අටුවාකරණයේදී මතුවන දුෂ්කරතා මගහරවා ගැනීමට යොදා ගත් න්‍යාය වශයෙන් සැලකීම මනාය. මෙය මහාවිහාරිකයන් විසින් එතෙක් කලක් සුභාවිත ක‍්‍රමවේදය වන්නට ඇතැයි අපට උපකල්පනය කළ හැක්කේ පාලි අටුවාවන්හී දැක්වෙන මහාවිහාර නය යනුවෙන් දැක්වූ විස්තරයට අදාළ වෙනත් කිසිඳු තොරතුරක් මේ මූලාශ‍්‍රයන්හී නොපෙනෙන නිසාවෙනි. මහාවිහාර භික්‍ෂූන් වහ්නසේලා පෙළ සහිත අටුවා තමන් සතු වස්තුවක් ලෙස පමණක් රැුකගෙන ආවේයැයි සිතිය හැකි නොවේ. බුද්ධදේශනා තේරුම් ගැනීමේදී තමන් සන්තකව පවතින මෙම අර්ථව්‍යඛ්‍යාන ක‍්‍රමවේදයේ සහයද උපයෝගිතාමය වශයෙන් ලබා ගන්නට ඇත. ඒ අනුව මේ විවිධ මූලාශ‍්‍රයන්හී තිබූ විවිධතා, සාවද්‍යස්ථාන උන්වහන්සේලාගේ නෙත නොගැටෙන්නට ඇතැයි සිතිය හැකි නොවේ. ඒ අනුව උන්වහන්සේලා විසින් මේ අයුරින් නිවැරදි බුද්ධවචනය පිළිබඳ අරුත් විවරණ ලබා ගන්නට යොදා ගත් ක‍්‍රම වේදය මෙසේ දැක්වූයේ යැයිද අට්ඨකථාකරණයේ නියැලෙන බුදුගොස් හිමියන්ට එම ක‍්‍රමවේදය හඳුන්වා දෙන්නට ඇතැයිද සිතේ. භාෂාව පමණක් වෙනස් කිරීම. හෙළටුවාවන්හී එන සිංහලය වෙනුවට පාලි භාෂාව යොදා ගැනීම මින් අදහස් කෙරේ. එනම් සමහර තැනෙකදී අන්තර්ගතයේ කිසිඳු වෙනසක් නොකොට භාෂාව පමණක් වෙනස් කරන ලදි. හෙළටුවා මූලාශ‍්‍ර නූතනයේ අභාවිත හෙයින් මෙහිලා මෙම න්‍යායානුගතව සාධක සහිතව සන්සන්දනයක් කිරීමේ හැකියාවක් නොමැත. විස්තරාර්ථ කථන සංක්‍ෂිප්ත කර දැක්වීම. හෙළටුවා ග‍්‍රන්‍ථ මුල් ස්වරූපයෙන් නොපැවතී බවත් ඒවා කලින් කලට අලූත් තොරතුරු එක් කර ගනිමින් වර්ධනය වී ඇති බවත් පැහැදිලිය. මෙසේ අලූතින් එක් වූ කරුණු අතර මෙරට වූ සිද්ධීන් හා දීපවාසීන්ගේ සාමාජික හා ආගමික ජීවිත අත්දැකීම් ද වේ. මේවා අටුවා ග‍්‍රන්‍ථයන්ට පිවිස ඇත්තේ ඓතිහාසික ලේඛන වශයෙන් නොව ධර්මය හා සදාචාරය පිළිබඳ කරුණු සිතට කාවදින අන්දමින් නිරූපණය කරනු පිණිසය. බුද්ධඝෝෂාචාරීන් වහන්සේ පාලි භාෂාවට අටුවා පරිවර්තනය කිරීමේදී විස්තාරිත තැන් සංක්‍ෂිප්ත කරන ලද බවත් ප‍්‍රස්තුතයට නොගැලපෙන තැන් අත්හළබවත් කියත්. ‘‘විත්‍ථාරමග්ගඤ්ච සමාසයිත්‍වා’’ ‘‘අතිවිත්‍ථාරගතං පහාය’’ එසේම සියලූම මූලාශ‍්‍රයන්හී සාරය ගෙන ස්වකීය කර්තව්‍යය සිදු කරන බවද නොයෙක් තැන්හී සන්දර්ශිතය. මූලට්ඨකථාසාරං ආදාය ඉමං මයා කරොන්තෙන, පොරාණට්ඨකථානං සාරං ආදාය සා අයං නිට්ඨං පත්තා. ‘‘කරුණක් නිරූපණය කරන්නට හෝ තර්කයක් කුළුගැන්වීමට හෝ සැදැහැවතුන්ගේ ආගමික හැඟීම් පිනවන්ට හෝ කථාවක් උවමනා වූ විටකදී එබන්දක් ලබා ගැනීමට හැකිවන පරිදි කාටත් සාධාරණ ජනප‍්‍රිය කථා තොගයක් පුරාණ ලංකාවේ තිබුණු බවත් අට්ඨකථා කර්තෘන් හා වෙන අයත් වුවමනා විටකදී අත දිගෑර මේ කථා තොගයෙන් තම තමන්ගේ උවමනාව පිරිමසා ගත් බවත් විශ්වාස කරන්නට හේතු සාධක ඇත.’’ මේ කථා සම්පූර්ණයෙන් නොදැක්වීම තුළින් තත්කාලයේදී දීපවාසී ජනයා මේ කථා හොඳින් දැන සිටියේ යැයි සිතිය හැකිය. විසුද්ධිමග්ගයේදී ‘‘තෙලකන්දරික වත්‍ථුචෙත්‍ථ කථෙතබ්බ්ං’’ චීවරගුම්භවාසික අම්බඛාදක මහාතිස්සෙත්‍ථරවත්‍ථුපිචෙත්‍ථ කථෙතබ්බං’’ යනුවෙන් නාමය පමණක් සඳහන් කර ඇතත් සම්පූර්ණ කථාව දක්වා නැත. වල්පොල රාහුල නාහිමියෝ තත් යුගයේ ඒ කථා අදකාලයේ අප නරියා සහ මිදිවැල කථාව දන්නා සේම මිනිසුන් ඒවා දැන සිටින්නට ඇතැයිද එහෙයින් ඒවා සම්පූර්ණයෙන් දක්වන්නට උනන්දු නොවන්නට ඇතැයි පවසත්. මෙසේ අත්හළ කරුණු උන්වහන්සේගේ කාර්යයට ප‍්‍රයෝජනවත් නොවූවත් ඒවා සඳහන් කර තැබුවා නම් ඒවා අද දවසේ ප‍්‍රයෝජනවත් වනු ඇත. මජ්ක්‍ධිම නිකායේ චූලසිහනාද සූත‍්‍රය පිළිබඳ හෙළ අටුවාවේ ජනසාන හා අශෝක රජුගේ මෑණියන් ගැන ඇතැම් පුවත් අන්තර්ගත බව මහාවංසටීකාවේ දැක්වෙතත් අද දක්නට ලැබෙන මජ්ක්‍ධිමනිකාය අටුවාවේ ඒ තොරතුරු හමු නොවේ. මෙයින් පෙනී යන්නේ බුදුගොස් හිමියන් සම්පූර්ණයෙන්ම හෙළටුවා පරිවර්තනය නොකළ බවයි. අදාළ සියලූ විනිශ්චයන් දැක්වීම. යම් ප‍්‍රස්තුතයක් සම්බන්ධයෙන් මූලාශ‍්‍රයන්හී විසදෘශතා දක්නට ඇති අවස්ථාවන්හීදී ඒ සියලූ මතවාද සඳහන් කර ඇත. මෙසේ දක්වා තිබීමෙන් අපට ඒ ඒ මූලාශ‍්‍රයන්ගේ හා ආචාර්ය වාදයන්ගේ විශේෂතා හඳුනාගැනීමට හැකිවෙයි. ඇතැම් තැනෙක විවිධ අට්ඨකථාවල දී ඇති විවරණ සඳහන් කර බුද්ධඝෝෂ හිමියෝ තීරණයකට නොඑළඹ සිටිති. එපමණක් නොව බුද්ධඝෝෂ හිමියන්ට පූර්වයෙහි වූ ඇතැම් සිංහල භික්‍ෂූන් විසින් දක්වා ඇති විවරණයන්ද සඳහන් කර ඇත. මූලාශ‍්‍රයන්හී සංසයවාදී අදහස් ඇතැයි තමන්ට වැටහුණු අවස්ථාවන්හීදී ඒ පිළිබඳ පාඨක අවධානය යොමු කර එහිලා ස්වයං විමර්ශනයක් සඳහා ඔවුන් පෙළඹවීමට ක‍්‍රියා කර ඇති ආකාරය පෙනෙන්නට ඇත. පාලි ක‍්‍රමයෙන් බැහැර නොවීම. බුද්ධඝෝෂ හිමියන් අටුවාකරණයේදී මධ්‍යස්ථව තබා ගන්නා ලද්දේ පෙළ හෙවත් බුද්ධ දේශනාවන්ය. අනෙකුත් ද්විතීයික මූලාශ‍්‍රයන් පෙළ හා සන්සන්දනය කිරීමෙන්ම සඳහන් කිරීමට පෙළඹීමෙන් බුද්ධඝෝෂ හිමියන් පෙළට දෙන ලද ප‍්‍රමුඛතාව උන්වහන්සේගේ කර්තව්‍යය සාර්ථක වීමටත් ඒවා සියලූ දෙනා විසින් පිළිගැනීමටත් හේතු වූවා විය හැකිය. බුද්ධවචනයට පටහැනි නම් මහාාවිහාර මත වුවද ප‍්‍රතික්‍ෂේප කිරීමට ඉඩ තිබිණි. මෙසේ කිසියම් ධර්ම පර්යායක් බුද්ධදේශිත වූවක්දැයි තීරණය කිරීමට භාවිත කරන ලද සූත‍්‍ර හා විනයේ සස\ බැලීමද අවිනිශ්චිත වූවක්ම විය. ඒ බුද්ධවචනය යන්නෙහි සීමාවක් ඇති කර ගැනීමට අර්ථකථාචාර්යවරුන්ටද අවස්ථාවක් නොවූ බැවිණි. සුත්ත යනු කුමක්ද? විනය යනු කුමක්ද? යන්න විවාදාපන්න වූවක් නිදාවෙන් පෙළ හා සස\ බැලීම සංකීර්ණ කටයුත්තක් විය. මෙහිදී උන්වහන්සේලා යම්කිසි දහම් නයක් බුද්ධදේශනා වන්නේදැයි සංසයක් පැන නැගි කල්හී එය තීරණය කිරීම පාඨකයාට පවරා ඇත. උන්වහන්සේ සිය පළමු කෘතිය සඳහා යොදා ගන්නා ලද්දේ පඤ්චනිකායාන්තර්ගත අර්ථකථා න්‍යාය බව විසුද්ධිමග්ගයේ සඳහන්ය. ‘‘තෙසං සීලාදී භෙදානං අත්‍ථානං යො විනිච්ඡුයො පඤ්චන්නම්පි නිකායානං වුත්තො අට්ඨකථානයො’’ පුනරුක්ත හා සාවද්‍යස්ථාන වන ප‍්‍රමාද ලේඛයන් ඉවත් කිරීම. හෙළටුවාවන් ජාත්‍යන්තර වශයෙන් ප‍්‍රසිද්ධියට පත්ව එය ඉහළ ප‍්‍රමිතියක් ලබා තිබූ බව මහාවංසයේ දැක්වෙන රේවත හිමියන් සඳහන් කරන පාඨයෙන් තහවුරු වේ. එහෙත් කාලානුක‍්‍රමයෙන් සංවර්ධනය වූ මේ මූලාශ‍්‍රයන්ගේ පුනරුක්ත හා සාවද්‍යස්ථාන තිබීම අනිවාර්යයෙන් අපේක්‍ෂා කළ හැක්කකි. ඒ බව බුද්ධඝෝෂ හිමියන්ම සඳහන් කර ඇත. අටුවාකරණයේදී උන්වහන්සේ මහත් අපහසුවකට පත් වූයේ එකම කරුණක් සම්බන්ධයෙන් විවිධ අටුවාවන්හී විවිධ විවරණ දක්නට තිබීමයි. එසේම පුනරුක්ත බහුලව තිබීමද යම් ශාස්ත‍්‍රීය ලේඛනයකදී ඌනතාවයකි. (හිත්‍වා පුනප්පුනාගතමත්‍ථං අත්‍ථං පකාසයිස්සාමි* ප‍්‍රමාදලේඛයන් පිළිබඳ උන්වහන්සේ සමන්තපාසාදිකාවේදී මෙසේ දක්වා ඇත. ‘‘මහාඅට්ඨකථායං සබ්බම්පි අලිඛෙපි දුක්කටමෙව වුත්තං තං පමාදලිඛිතන්ති වෙදිතබ්බං’’ ඒ සියලූ ප‍්‍රමාද ලේඛයන් ඉවත් කිරීමද අටුවාකරණයේදී උන්වහන්සේ විසිින් අනුගමනය කරන ලද විධිමත් ශාස්ත‍්‍රීය ක‍්‍රමවේදයකි. අන්ධට්ඨකථාවේ ඇතැම් කරුණු පිළිබඳ සදොස් තැන් පෙන්වා දෙමින් මෙසේ විවේචනය කර ඇත. ‘‘මෙය වැරදි ලෙස කියා තිබේ. එය අටුවාව සමග හෝ පෙළ සමග හෝ නොසැසඳෙයි. එහෙයින් එය පිළිනොගත යුතුය.’’ අත්තනො මති හෙළටුවාවක අර්ථ කියා නැති විටදී එවැනි පද සඳහා අරුත් සැපයීමේදී අටුවාචාරීන් වහන්සේලා බැ?රුම් ගැටළුවකට මුහුණ පා තිබේ. අටුවාචාරීන් වහන්සේලා විසින් දෙන අරුත් පිළිගැනීමට මහාවිහාර භික්‍ෂූන් බැඳී නොසිටි නිසාවෙනි. නිකායාන්තර මත ගැටුම් පැවතී කාලයෙක මෙය තවත් බරපතල වූවකි. මෙහිදී අටුවාචාරීන් වහන්සේලා සත්‍යය නොසඟවා පවසා ඇත. එනම්, පැරැුන්නන් විසින් මෙය නොවිචාරන ලදි. යනුවෙන් පෙන්වා දී එබඳු තැන් මඟහැර ගොස් ඇත. එහෙත් තමන්ගේ අර්ථකථනය මහාවිහාර භික්‍ෂූන් පිළිගනිතැයි හැගුණ තැන්වල තමන්ගේ මතතාවදය නොහොත් අත්තනොමති ඉදිරිපත් කර ඇත. නමුත් මෙම ලක්‍ෂණය ඉතා දුර්ලභය. එහෙත් බුද්ධඝෝෂ හිමියෝ අනෙක් අටුවාචාරීන්ට වඩා ස්වතන්ත‍්‍ර වූ බවෙක්ද. සමයානුවර්තී වූ බවෙක්ද දක්නට ලැබේ. බුද්ධඝෝෂ අටුවාවන්හී අත්තනොමත බහුලව දක්නට ලැබේ. සමාලෝචනය පාලි අටුවාකරණයේදී අටුවාචාරීන්ට ප‍්‍රමුඛවම මූලාධාර වූයේ හෙළටුවාවන්ය. ඒ බැව් ඔවුන් විසින්ම දක්වා ඇති උද්ධරණයන්ගෙන් තහවුරු වේ. මෙසේ අටුවාචාරීන් විසින් හෙළටුවා උත්කර්ෂයෙන් වර්ණනා කර ඇතත් ඒවායේ ප‍්‍රමාද ලේඛයන් හා සාවද්‍යස්ථාන හා නොයෙක් මතවාදයන්ද බෙහෙවින් පැවතිණ. එසේම තවත් විවිධ මූලාශ‍්‍රයන් සමනුශීලිත වූ අයුරුද පූර්වයෙන් දක්වන ලද තොරතුරු ආශ‍්‍රයෙන් පෙනේ. මේ අනුව අටුවාචාරීන් වෙත පැවරී තිබුණේ මහාවිහාර භික්‍ෂූන් විසින් අගය කළ මතවාද වලට හා බුද්ධ වචනයට පටහැනි නොවී බුද්ධ දේශනා වල යථාර්ථය වටහා ගැනීමට උපකාර වනසේ අටුවා පිළියෙළ කිරීමේ භාර¥ර වගකීමකි. මේ කාර්යයෙහිලා උන්වහන්සේලාට ලැබුණු මූලාශ‍්‍ර නොයෙක් මතවාදවලින් ගහණව පැවතුණි. එවැනි මතවාදවලින් සත්‍යය තෝරා ගැනීම බරපතල දුෂ්කරතාවක් විය. මතවාද බෙහෝ සෙයින් ඇති කල්හී සත්‍යය සැග වී පවතියි. මහාවිහාරිකයන් විසින් සම්භාවිත නිවැරදි ධර්ම විනය ව්‍යාඛ්‍යානය තෝරා ගැනීමෙහිලා උපකාරී වූ ප‍්‍රතිපත්ති 10 බුදුගොස් හිමියන්ට මේ කර්තව්‍යයෙහිලා අසහයෝපකාරී වූයේ යැයි සිතිය හැකි වේ. බුදුගොස් හිමියන් විසින් අටුවාකරණයේදී විවිධ නයින් ශාස්ත‍්‍රිය ක‍්‍රමයන් උල්ලංගනය නොකරමින් සිදු කරන ලද සේවය අද්විතීයය. අසහායය. මේ අයුරින් පාලියට නගන ලද අටුවාව තූළින් විරුද්ධවාදී නිකායික මතවාද ඛන්ඩනය කර සම්‍යග් දෘෂ්ටිය හැදෑරීමට නවජීවනයක් ලැබෙනු ඇත. එකල්හී ශාසනයේ දීප්තිය අනේක ගුණයෙන් වැඩි වෙනු ඇත.

No comments: