Wednesday, December 11, 2013
පටාචාරා වහන්දෑගේ වස්තුව කථා සාරය
පටාචාරා වහන්දෑගේ වස්තුව
කථා සාරය
අප බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. කෝටි හතලිහක් පමණ වස්තු ඇති සිටුවරයෙක් ද සැවැත් නුවර වසයි. ඔහුට දියණියක හා පුතෙකු ඇත. දියණියට වයස අවුරුදු දහසයක් පිරුණු පසු වැරදි හැසිරීමෙන් වලකනු පිණිස දෙමාපියෝ ඇයව සිටුමැදුරෙහි උඩුමහලේ තබා ආරක්‍ෂා කරති. නමුත් ඇය සිටුමැදුරෙහිම සේවය කරන තරුණයෙකු හා රහසේම මිත‍්‍ර වී සේවිකාවක ලෙස වෙස්වලාගෙන කාටත් හොරා ඔහු සමඟ පැනයයි. දුක්ඛිත ජීවිතයක් ගතකරන ඇය ඔහුට දාව දරුවකු ලබයි. කාලය ගෙවීයයි. ඇය දෙවැනි වරටත් ගැබ් ගනියි.
ඇය දෙමාපියන් වෙත යාමට කැමති වුවද ස්වාමියා එයට අකමැති වෙයි. දිනක් ඇය ස්වාමියා වැඩට ගිය පසු අසල් වැසියන්ට කියා පෙර උපන් දරුවාද රැුගෙන සැවැත් නුවර බලා පිටත්වෙයි. ගෙදර ආ සැමියා අසල් වැසියන්ගෙන් තොරතුරු දැන තම බිරිඳ සොයා නික්මෙයි. අතරමගදී හමූවු දෙදෙනාම සැවැත් නුවර බලා නික්මෙයි.
වනය මැදින් යන අතරතුර අකල් වැස්සක් ඇතිවෙයි. මහ හඬින් ගොරවන්නටද විදුලි කොටන්නට ද පටන්ගනියි. සිටු දියණියට විලි වේදනාවත් ඇති වෙයි. දරුවා වැදීමට තැනක් සකස් කිරීම පිණිස ලී දඩු කැපීමට ගිය සැමියාට තුඹසක් මතදී නයෙකුගෙන් පහර කා මිය යන්නට සිදුවෙයි.
දරුවා වැදීමට ගෙයක් තබා සැමියාවත් නොලැබුණු ඇය මහත් දුකසේ දරුවකු ප‍්‍රසූත කරයි. රාත‍්‍රිය පුරා දරුවන් උණුසුම් කරමින් වැස්සට තෙමුනු ඇය පසු දින සැමියාට සිදුවූ අනතුර දැක හඬමින් වැලපෙමින් දෙමාපියන් වෙත නික්මෙයි. අචිරවතී ගඟින් එතෙරවීමට ගිය ඇයගේ එක් දරුවෙක් උකුස්සෙකුටද අනෙක් දරුවා ගංදියටද බිලිවෙති.
වියෝ දුකින් පෙළෙන ඇය හඬාවැලපෙමින් දෙමාපියන් වෙත යන අතරමගදී තවත් හද කම්පා කරවන පුවතකට ඇහුම්කන්දෙයි. එනම් තමන්ගේ දෙමාපියන් හා සොහොයුරා මරණයට පත්වූ බවයි. ගතසිත ශෝකයෙන් වෙලීගිය ඇය පිස්සියක මෙන් හිස හැරුණු අත දිවගියේ ඇඳිවත පවා සිරුරෙන් ගිලිගෙන බව නොදැනය. අවසානයේදී ඇය ජේතවනාරාමයට පැමිණෙයි. බුදුරදුන්ගේ පිහිට ලැබූ ඇය ජීවිතයේ යථාර්ථය වටහා ගනියි. අවසානයේදී සෝවාන් ඵලයට පත් ඇය බුදුරදුන්ගෙන් පැවිද්ද ඉල්ලයි. බුදු රජාණන් වහන්සේ ඇය මෙහෙණියන් ලවා පැවිදි කරවන සේක.
දින තුනක් පය සේදීමට පාද වලට දැමූ ජලය පොළවට අසමින් එකිනෙක දිනයන් වලදී ඈතට ගිය ආකාරය දැක ජීවිතයෙහි අනියත බව හා මරණයෙහි නියත බව මෙනෙහි කරමින් සිටි. පටාචාරා තෙරණියට බුදුරදුන් ගඳකිලියේම වැඩ වසමින් රස් කඳක් විහිදුවා ධර්මය දෙසන සේක. දහම් දෙසුම අවසානයේදී සසර දුක් නැතිකරමින් පටාචාරා තෙරණියෝ රහත්වෙති.
මජ්ජරිය කෝසිය සිටාණන්ගේ වස්තුව
කථා සාරය
අප බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩවසන සේක. රජගහ නුවර සමීපයෙහි සක්ඛර නම් නියම්ගමක් ඇත. එහි අසූ කෝටියක් පමණ සම්පත් ඇති මච්ඡුරිය කෝසිය නම් සිටුවරයෙක් ඇත. ඔහු ඉතා ලෝභය. අනුන්ට කිසිවක් නොදෙයි. තමනුත් අනුභව නොකරයි.
දිනක් බුදුරජාණන් වහන්සේ අලූයම් වේලෙහි මහාකරුණා සමාප්තියට සමවැද නිවන් දැක්විය හැකි අයෙකු සොයන සේක. මච්ඡුරිය කෝසිය සිටුවරයාට හා ඔහුගේ බිරිදට සෝවාන් වීමට තරම් පින ඇතිබව දුටුසේක.
පෙර දිනකදී සිටුතුමා රජමාලිගාවට ගොස් එනවිට එක්තරා මිනිසකු පැණි පොල්වලින් පිරුණු කැවුම් ගෙඩියක් කනු දැක කැවුම් කෑමට ආශාවක් ඇතිවිය. නමුත් ධනය වියදම් වෙතියි සිතා එය කිසිවෙකුට නොපවසා සිටියි. අවසානයේදී තම බිරිඳට ඒ බව පවසන ඔහු කාටත් හොරා තමාට පමණක් කැවුම් පිසදෙන ලෙස බිරිඳට පවසයි. දෙදෙනාම සිටුගෙදර උඩුමහලට යති. දොරගුලූ ලා අඳුර දුරුවනු පිණිස ජනේලය ඇරතබා කැවුම් පිසති.
ඍද්ධිමත් භික්‍ෂූන්ට අග‍්‍රවූ මුගලන් මහරහතන් වහන්සේට සියලූ තොරතුරු ප‍්‍රකාශ කළ බුදුරජාණන් වහන්සේ කැවුම් සමඟ මච්ඡුරිය කෝසිය සිටුවරයා හා බිරිඳ දහවල් දානය වළදන වේලාවට ජේතවනාරාමයට කැඳවාගෙන එන ලෙස ද වදාරයි.
මුගලන් තෙරුන් වහන්සේ තම ඍද්ධි බලයෙන් මච්ඡුරිය කෝසිය සිටුවරයාගේ මසුරු ගතිය දුරුකර ඔවුන් දෙදෙනාම බුදුරදුන් වෙත රැුගෙන එන සේක.
බුදුරදුන් ප‍්‍රමුඛ පන්සියයක් භික්‍ෂූන්ට පිලිගන්වා තමනුත් කා යාචකාදීන්ට ද දුන් නමුත් කැවුම් ඉවර වන්නේ නැත. අවසානයේදී බුදුරදුන්ගේ විධානයෙන් ඉතුරු කැවුම් ජේතවනාරාම දොරටුව ලඟි ගල්තලාවකට දමයි. එම ගල ‘කබලූගල’ නමින් ප‍්‍රසිද්ධ වෙයි. මසුරුකම දුරුකළ සිටුවරයා තමන්ගේ අසූ කෝටියක් පමණ වූ වස්තුව විවිධ දාන දීම සඳහාම වැයකරයි.
පසු දින ධර්ම සභාවෙහි රැුස්ව සිටි තෙරවරු මුගලන් තෙරුන්ගේ ගුණ කියති. බුදුරදුන් එය දැන භික්‍ෂූණ්ට අවවාද අනුශාසනා කර ඉල්ලීස නම් ජාතක කථාවද දේශනා කළ සේක.
ඡුද්දන්ත ජාතකය
කථා සාරය
අප බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වසන සමයක කුඩා සාමණේරියක අරභයා මේ ජාතකය දේශනා කළ සේක. ඇය පෙර ජාති සිහිකිරීමේ නුවණ ලැබී තමා එක්තරා ආත් මයකදී ඇත්කුලයක ඉපිද බෝධිසත් ඇතා කෙරෙහි වෛරී සිතින් දළ දෙක කැප්පවූ බව සිහියට නැගී අඬන්නට පටන්ගත්තාය. බුදුහිමියෝ ඇගේ හැඬිමට හේතුව විස්තර කරමින් එම අතීත කථාව මෙසේ වදාළ සේක.
අතීත කාලයක අපගේ බෝසතාණන් වහන්සේ ඡුද්දන්ත නම් ඇත් කුලයේ උපත ලබා අටදහසක් ඇතුන්ට නායකයා වී හිමාල පර්වතය සමීපයෙහි මහ විලක් ඇසුරු කර වාසය කළ සේක. මේ ඇත් රජුට සවණක් රැුස් විහිදෙන දිගු දළ සඟලක් විය.
මහාසුභද්‍රා, චූලසුභද්‍රා යන නම් ඇති ඇනිත්තියන් දෙදෙනෙක් භාර්යාවෝ වූහ. තමාට වඩා වැඩි ආදරයෙන් ඇත්රජු මහා සුභද්‍රාවට සලකන බව සිතා සපත්නි රෝෂයෙන් පෙළුණු චූල සුභද්‍රාව ‘ලබන ආත්මයේදී මේ ඇත්රජු මරවා දළ දෙක කපා ගෙන්වා ගනිමියි. ප‍්‍රාර්ථනා ඇතිකරගෙන ඊර්ෂ්‍යාවෙන් වියලී මරණයට පත්විය.
ඉන්පසු ඇය බරණැස් රජුට අගමෙහෙසිය වී උපන්නාය. පෙර ජාති සිහිකිරීමේ හැකියාව ලැබූ ඇය ඇත්රජු මැරවීමට උපායක් යෙදුවාය. සෝනුත්තර නම් වූ ශක්තිමත් වැද්දාට තොරතුරු පවසා ඇත්රජුගේ දළ දෙක ගෙනෙන ලෙස පවසා හිමාලයට පිටත්කර හැරියාය. වැද්දා ඇත්රජු වසන ස්ථානය පරීක්‍ෂා කොට පොළව යට වලක සැඟවී සිට ඇත් රජුට හීයක් විද්දේය. එයින් බිම ඇද වැටුණු ඇත් රජතුමා වැද්දාගෙන් සියලූ තොරතුරු දැනගත්තේය.
තමා මිය යාමට පෙර කියතක් ගෙන දළ දෙක කපාගන්නා ලෙස ඇත් රජතුමා වැද්දාට කියා සිටියේය. වැද්දා කියතක් ගෙන දළ කැපීමට උත්සාහ කලද එය කළ නොහැකි විය. අවසානයේදී ඇත්රජ සොඬින් කියත ගෙන දළ දෙක කපා දුන්නේය. වැද්දාට ඉක්මනින් ආපසු යාමට හැකිවන පරිදි කටයුතු කළ ඇත්රජු මරණයට පත්විය.
වැද්දා දළ දෙක බිසවට ගෙනගොස් දුන්නේය. පෙර ආත්මයෙහි මාගේ ස්වාමිපුරුෂයා වූ ඇත්රජුගේ දළ දෙක කැප්පවූ මා කළේ බරපතල අපරාධයකැයි සිතා ශෝකයට පත් ඇය එයින්ම ලෙඩවී මරණයට පත්වූවාය.
එකල්හි සෝනුන්තර නම් වැද්දා වී උපත ලබා සිටියෝ දෙව්දත් තෙරය. චූල සුභද්‍රා නම් බිසව වී සිටියෝ දැන් හැඬුමේ කුඩා සාමණේරියයි. ඇත්රජු වී උපත ලැබුවේ බුදු වූ මා යැයි දේශනා කළ බුදුහිමියෝ මේ ජාතකය නිමවා වදාළ සේක.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment