Wednesday, December 11, 2013
පොල් ගෙඩිය
පොල් ගෙඩිය
ඇතැම් දේශනවලට ගිය විට මම බොහෝ වෙලාවට ඒ අයගෙන් අහනවා ‘‘පොල් හැදිල තියෙන්නෙ ඇයි?’’ කියල. ඒක හරි සරල ප‍්‍රශ්නයක් නිසාදෝ ඇතැම් අය එකපාරටම හිනාවෙනවා. සමහර අය කල්පනා කරනවා. තවත් අය හෙමිහිට මොනවදෝ මුමුනනවා. එතකොට මම කියනව ‘‘ඉතින් මේක බොහොම සරල ප‍්‍රශ්නයක්නෙ. දන්න කෙනෙක් පිළිතුරක් දෙන්ට’’ කියල. එතකොට ඔන්න බොහෝ අය කියනවා ‘‘පොල් තියෙන්නෙ මිනිස්සුන්ගෙ ආහාරයට’’ කියල. තවත් අය කියනව ‘‘පොල් තියෙන්නෙ ආහාර රසවත් කරගන්න’’ කියල. ඒවා පැහෙන්ට පෙර ‘‘තැඹිලි’’/‘‘කුරුම්බා’’ වශයෙන් රසවත් පානයක් අපට ලබා දෙන බවත් සමහර අය කියනවා.
එතකොට මම කියනව ඒ උත්තරේ වැරදි බව. හැම ගෙදරකම, හැම දවසකම වගේ ආහාර සකස් කර ගන්ට පොල් පාවිච්චි කරනව. ඒක අපි නිතරම දකිනව. ඒ නිසයි මිනිස්සු ඒ විදිහට හිතන්නෙ. හිතල උත්තර දෙන්නෙ. ඇත්තටම මම උත්සහ කරන්නෙ පොල් ගෙඩියෙන් ජීවිතය දකින හැටි කියල දෙන්නයි.
පොල් ගෙඩිය ගැන අපි ටිකක් හිතල බලමු. ඕනෑම දෙයක් පිළිබ`ද පරීක්ෂණයක් කරන්ට කලින් අපි ප‍්‍රශ්න ටිකක් හදාගත්තොත් තමයි ඒ පරීක්ෂණය සාර්ථක වෙන්නෙ. ඒ ප‍්‍රශ්නවලට පිළිතුරු හොයන එක තමයි පරීක්‍ෂණයෙදි කරන්නෙ. ඒ හින්දා අපි පොල් ගෙඩිය ගැනත් ප‍්‍රශ්න ටිකක් හදාගමු. ඇයි පොල් ගෙඩියට ලොකු ලෙල්ලක් තියෙන්නෙ? ඇයි මේක ඇතුළෙ මදයක් තියෙන්නෙ? ඇයි මේක ඇතුළෙ වතුර තියෙන්නෙ? ඇයි පහසුවෙන් හිල් කරන්ට පුළුවන් ඇහැක් තියෙන්නෙ?
පොල් ගහ බොහොම උසට වැවෙන ගස් වර්ගයක් බව අපි කවුරුත් දන්නවනෙ. ඒ වගේ උස ගහක් පල්ලේ ගෙඩිය වැටෙන කොට ඇතුළ ආරක්‍ෂා කර ගන්ටයි ගණකම ලෙල්ලක් සකස්වෙල තියෙන්නෙ. ඔබ පැළවෙන පොල් ගෙඩි දැකල ඇති. සාමාන්‍යයෙන් ඒවට කියනව ‘‘පී පොල්’’ කියල. ඇතුළෙ පොල් පීයක් තියෙන නිසයි, පොල් පැළවලට එහෙම කියන්නෙ. ඔබ පීපොලයක ඇතුළ දැකල ඇති. ඒකෙ සාරවත් විදිහට පොල් මද නැහැ. පොල් වතුරත් නැහැ. මොකද මේ වෙලා තියෙන්නෙ? පොල් මදය පොල් වතුරෙන් දියවෙලා ඒ දියවුණු සාරය, පොල් පීය හරහා අලූතෙන් හැදෙන පොල් පැළයට උරාගෙන. පොල් ගෙඩියේ ඇස් තුනක් තියෙන බව ඔබ දන්නවා. එයින් එකක් පහසුවෙන් හිල් කරන්ට පුළුවන්. ඒ ඇහෙන් තමයි පුංචි පොල් මොටෙයියා එළියට එන්නෙ.
එතකොට පැහැදිලියි නේද පොල් ගෙඩි සකස්වෙල තියෙන්නෙ අපිට කන්ට නෙවෙයි කියල. මම කියන්නෙ පොල් කන්ට එපා කියල නෙවෙයි. පොල් ආහාරයට ගත්තට කිසිම වරදක් නැහැ. වරද තියෙන්නෙ ‘‘පොල් තියෙන්නෙ අපිට කන්නයි’’ කියල හිතන එකෙයි.
බොහෝ අය ජීවිතය දිහා බලන්නෙත් පොල් ගෙඩිය දිහා බලන විදිහටමයි. ජීවිතයතියෙන්නෙ ‘‘කාල, බීල ජොලි කරන්න’’ කියල සමහර අය හිතාගෙන ඉන්නෙ. ඒකෙන් අදහස් වෙන්නෙ නෑ, සතුටින් ජීවත්වෙන එක වරදක් කියල. බුදුහාමුදුරුවෝ දේශනා කළේ සතුට පරම ධනය (සන්තුට්ඨි පරමං ධනං* කියලයි. හැබැයි අද බොහෝ දෙනෙක් ෆන් එක, ආතල් එක, ජොලිය වගේ වචන පාවිච්චි කරමින් සතුට හොයන හැටි වැරදියි. මහගමසේකර මහත්තය ලංකාවේ හිටපු දක්‍ෂ කලාකරුවෙක්. එතුමා ලියපු අවසාන කාව්‍ය සංග‍්‍රහය තමයි ‘ප‍්‍රබුද්ධ’ කියන්නෙ. ඒ පොතේදි එතුමා අද සමාජයේ බොහෝ පිරිසකගේ දැක්ම මේ විදිහටයි හ`දුන්වල දෙන්නෙ.
හා ! - එන්න ! - ප‍්‍රීතිවෙන්න - ගී කියන්න ! - පෙම්බරෝ
මේ වගේ සැපක් තවත් කොහේ තියේද සුන්දරෝ ?
හැම් බේකන් කන්න සල්ලි
ජින් ෂැම්පෙන් බොන්න සල්ලි
බල්ලො මරාලා - හරි - සල්ලි හොයාලා
ඉන්න ටිකේ ඉම්මු සුදෝ ජොලිය දමාලා
හා ! - එන්න ! - ප‍්‍රීතිවෙන්න - ගී කියන්න ! - පෙම්බරෝ
මේ වගේ සැපක් තවත් කොහේ තියේද සුන්දරෝ ?
සැබවින්ම අපි ඉතාමත් අපහසුවෙන් ලබා ගත්ත මේ මිනිස් ජීවිතය ඔහේ විනාශ කර ගන්න අය කොතරම් ඉන්නවද? සමහරු හිතනව එහෙම නැතිනම් කියනව ‘‘මැරුණට පස්සෙ සියල්ල අවසානයි. නැවත ඉපදීමක් නෑ. නැවත ඉපදෙනව කියන එක බොරුවක් කියලා’’ ඒ අයගේ මෙලොවත් පරලොවත් දෙකම අසාර්ථකයි. ඒ නිසා ජීවිතයේ වටිනාකම තෙරුම්ගන්න උත්සහ කරන්න. මේ පොත් පිංචේ ඉදිරි මෘතෘකාවලදී මම ඒකට උදවු කරන්නම්.
හැකි නම් කියන්න
‘‘ළදරු පාසල් යන පුංචි දරුවෙකුට වුනත් පිළිතුරු දෙන්න පුළුවන් පුංචි ප‍්‍රශ්නයක් මම අහනවා. මේක එක අතකින් අභියෝගයක්. කවුද අභියෝගය භාරගන්ට තැමති?’’ කියල මම ඇතැම් දේශනවලදි අහනව. එතකොට එතන ඉන්න අය ඇස් කන් ඇරගෙන බලන් ඉන්නවා. ‘‘එහෙනම් මම ප‍්‍රශ්නය අහන්නම්. හැබැයි තත්පර පහක් ඇතුළත උත්තර දෙන්න ඕනි’’ කියල මම කියනවා. එතකොට හැමදෙනාම පිළිතුරු දෙන්න සූදානම් වෙනවා. එතකොට මම අහනවා ‘‘ඔබගේ අත් දෙකේ ඇ`ගිලි පුරුක් කීයක් තියෙනව ද?’’ කියල.
මම ලබපු අද්දැකීම්වලට අනුව නම් කිසිම කෙනෙක් මගේ මේ ප‍්‍රශ්නයට, තත්පර පහක් ඇතුළත නිවරැුදි උත්තරය දීල නෑ. ඇතැම් කෙනෙක් කියාවි මම ලබා දෙන කාලය ප‍්‍රමාණවත් නෑ කියල. උපන්දා සිට දකින, දිනපතා අප‍්‍රමාණ වැඩ කටයුතු ස`දහා භාවිත කරන මේ අත් දෙකේ ඇ`ගිලි පුරුක් ගණන කියන්ට තත්පර පහක් වැඩියි කියලයි මට හිතෙන්නෙ.
අප අතර ජීවත්වන කෙනෙකුගෙන් ඇහුවොත් ‘‘ඔබේ ජීවිතේ අරමුණ මොකක් ද?’’ කියල එහෙම නැතිනම් ‘‘මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම ඔබ තේරුම් අරන් තියෙන්නෙ කොයි විදිහට ද?’’ කියල ඒ අයගෙන් බොහෝදෙනෙකුට දෙන්ට උත්තරයක් නෑ. ඒ අය ඒ වෙලාවෙ තමයි ඒ ගැන කල්පනා කරන්නෙ. මිනිසෙකු හැටියට ඉපදිලා, මිනිසෙකුට සහජයෙන්ම ලැබෙන බොහෝම වටිනා වරප‍්‍රසාද හිමිකරගෙන, ඒ වරප‍්‍රසාදවලින් ප‍්‍රයෝජන ලැබුවත් ඒ වරප‍්‍රසාද මොනවද කියල වටහාගන්ට ඒ ඇත්තන්ට නොහැකිවීම කොතරම් කනගාටුවට කාරණයක් ද? අප‍්‍රමාණ වැඩ කටයුතු කරන, නිරතුරුවම දකින අත් දෙකේ ඇ`ගිලි පුරුක් ගණන කියාගන්ට බැරිකමත් අන්න ඒ වගේ තමයි.
ඉතින් මේ මනුස්ස ජීවිතයේ වටිනාකම තේරුම් ගත්තොත් අපේ ජීවිත බොහොම සාර්ථකව ගතකරන්ට මිනිස්සු පෙළඹෙයි කියල මා හිතනවා. ඒ නිසා මා ඔබට ඊළ`ග මාතෘකාවෙන් මේ මනුස්ස ජීවිතයෙ වටිනාකම කියල දෙන්නම්.
වටිනාකම දන්නවා ද?
ඇයි අපිට මිනිස්සු කියන්නෙ. ‘‘මනෝ උස්සෝ උස්සන්නෝ ආස්සාති මනුස්සෝ’’ කියන විග‍්‍රහයෙන් කියවෙන හැටියට මනසින් උසස් නිසා අපට ‘‘මිනිස්සු’’ කියල කියනවා. ‘‘හිතාහිතං මනති ජානාති වා මන්ස්සෝ’’ කියන විග‍්‍රහයට අනුව හො`ද නරක දෙක හිතල බලල තේරුම් ගන්ට පුළුවන් නිසා අපට මිනිස්සු කියල කියනවා. ඒක කොහොම වුණත් බොහෝ අය මිනිස් භවයක් ලැබීමේ වටිනාකම තේරුම් අරන් තියෙන බවක් නම් පේන්නෙ නෑ. බුදුහාමුදුරුවෝ දේශනා කළා ‘‘කිච්චෝ මනුස්ස පටිලාභෝ’’ කියල. ඒකෙන් කියවෙන්නෙ මිනිස් භවයක් ලබන එක දුර්ලභයි කියල. බලන බලන හැමතැනම මිනිස්සු පේන්ට ඉන්න නිසා කෙනෙකුට හිතෙන්ට පුළුවන් ‘‘මිනිස් භවයක් ලබන එක දුර්ලභ නම් ඔය හැමතැනම මිනිස්සු ඉන්නෙ’’ කියල. මම ඒක මෙහෙම පැහැදිලි කරන්නම්.
අපි හැමදෙයක් දිහාම වගේ බලන්ට පුරුදුවෙලා ඉන්නෙ සංසන්දනාත්මකවයි. කතාකරන්නෙත් සංසන්දනාත්මකවයි. අපි නිතරම කියන වචන ටිකක් අරන් බලමු. එතකොට ඒක හො`දින් පැහැදිලි වෙයි. අපි නිතරම වගේ භාවිත කරනවා. ‘‘එයා හරි පිරිසිදුයි’’, ‘‘එයා හරි උසයි.’’, ‘‘එයා කෙට්ටුයි’’, ‘‘එයා සුදුයි’’, ‘‘ඒ සින්දුව ලස්සනයි.’’ ‘‘ඒ නාට්ටියේ කිසි හරයක් නෑ’’, ‘‘ඒ ගෙදර හරි අපිරිසිදුයි’’ වගේ ප‍්‍රකාශ. මොහොතක් හිතල බලන්න අපි කෙනෙක් අපිරිසිදුයි කියන්නේ එයාට වඩා පිරිසිදු අය අපි දැකල තියෙන හින්ද නෙවෙයිද? මේ ලෝකේ හැම කෙනෙක්ම අපිරිසිදුවට හිටියනම් එක්කෙනෙකුගේ අපිරිසිදුකම ගැන අපි විශේෂයෙන් කථා කරයි ද? කෙනෙක් උසයි කියල අපි කියන්නෙ එයාට වඩා කොට අය මේ ලෝකෙ ඉන්න නිසයි. කෙනෙක් සුදුයි කියල අපි කියන්නෙ එයාට වඩා කළු අය අපි දැකල තියෙන නිසයි. ‘‘ඒ නාට්ටියේ කිසි හරයක් නෑ’’ කියල අපි කියන්නෙ ඊට වඩා හරවත් නාට්‍ය අපි බලල තියෙන නිසයි.
එහෙනම් අපි මිනිස් ජීවිතයේ වටිනාකම තේරුම් ගන්න මේ ලෝකෙ අනෙක් සතුනුත් එක්ක මනුසතා සස`දා බලන්න අවශ්‍යයි. අනෙක් සතුන් එක්ක සස`දල බලනකොට මිනිසුන් කොපමණ සුළු ප‍්‍රමාණයක්ද ලෝකෙ ඉන්නෙ කියල පැහැදිලි වෙයි. එක කූඹිගුලක, කඩි ගුලක, කෝ`දුරු කරලක කෙතරම් සතුන් ඉන්නව ද කියල හිතල බලන්න. එක ජලාශයක කොච්චර සතුන් ඉන්නව ද. ඒ වගේම අපෙ පියවි ඇහැට නොපෙනෙන සතුන් කොච්චර ඉන්නව ද. මහ මුහුදෙ කොච්චර සතුන් ඉන්නව ද, එක විද්‍යාඥයෙක් කියනවා වර්ග කිලෝමීටරයක් ඇතුළෙ මේ ලෝකෙම ඉන්න මිනිස්සුන්ට වඩා සත්තු ඉන්න බව.
මේ ලෝකයේ ඉන්න මිනිස්සු ගණංකරලා මෙච්චරයි කියල කියන්ට පුළුවන්. ඒ උනත් මොන ජගතට ද කියන්ට පුළුවන් මේ ලෝකෙ මෙච්චර සත්තු ප‍්‍රමාණයක් ඉන්නව කියල. මම ඇතැම් දේශන අතරතුර මෙහෙම ප‍්‍රශ්නයක් අහනවා. ‘‘කවුරුහරි දන්නවා නම් මට කියන්න අනෙක් සතුන්ට නැති, මිනිසාට පමණක් ඇති විශේෂ හැකියාවන් මොනව ද කියල?’’ එතකොට බොහෝ අය අහස පොළව ගැටලන්ට වගේ කල්පනා කරනවා. අහෝ මිනිසුන් එසේ කල්පනා කිරීම කෙතරම් කණගාටුදායක තත්වයක් ද? මිනිසුන් වෙලා ඉපදිලා මිනිසුන්ට ලැබිල තියෙන විශේෂ හැකියාවලින් ප‍්‍රයෝජන ගත්තත් මිනිස්සු තමන් සතු විශේෂ හැකියාවන් හ`දුනා නොගැනීම කෙතරම් කනගාටුදායක ද? අනික් සතුනුත් එක්ක සස`දල බලනකොට මේ මනුසතාගෙ, ඒ කියන්නෙ අපේ විශේෂ ලක්‍ෂණ හා හැකියාවන් මොනව ද කියල අපි ටිකක් හොයල බලමු.
හිනාවෙන්න පුළුවන් එකම සතා
ඔබ කවදහරි දැකල තියෙනව ද බල්ලො, පූසො, රිලවු, හරක් වැනි කිසිම සතෙක් හිනා වෙනවා. මනුසතා හැරුණහම මේ ලෝකෙ හිනාවෙන වෙන කිසිම සතෙක් අප අතර දකින්ට ලැබෙන්නෙ නැහැ. ඒක අපට ලැබිල තියෙන සුවිශේෂී වරප‍්‍රසාදයක්.
කථා කරන්න පුළුවන් එකම සතා
‘‘මිනිසා’’ යන්න නිර්වචනය කරමින් එක විද්‍යාඥයෙක් මෙහෙම විග‍්‍රහයක් ඉදිරිපත් කරනවා. ‘‘මිනිසා යනු කථා කරන සත්වයායි’’ ඒකෙන් පැහැදිලි වෙනවා කථා කිරීමේ හැකියාව කියන්නෙ අපව අනික් සතුන්ගෙන් වෙන් කර හ`දුනා ගැනීමට තියෙන ප‍්‍රබල මෙන්ම ප‍්‍රධාන සාධකයක් බව. ඒ වගේම මනුසතා හැරුණහම මේ ලෝකේ වෙන කිසිම සතෙකුට කථා කළ නොහැකි බව අනාවරණය කරගෙන තියෙනවා. බොහොමයක් සතුන්ට විවිධ නාද හා හැසිරීම් ම`ගින් සිය අදහස් අනෙක් සත්වයන්ට දැනුම් දීමේ හැකියාව තියෙනවා. ඒ වුණාට ඒ කිසි සතෙකුට අපට වගේ කථා කිරීමේ හැකියාව නෑ. එතකොට පැහැදිලියි නේද කථා කිරීමේ හැකියාව කියන්නෙ අපට පමණක් හිමිවෙච්ච, මිහිපිට සිටින අනික් කිසිම සත්වයෙකුට හිමි නොවිච්ච සුවිශේෂී වරප‍්‍රසාදයක් බව.
කෙනෙක් එතකොට කියයි ‘‘ඇයි එහෙනම් කූඩුවල ඉන්න ගිරවු, මයිනො එහෙම කථා කරන්නෙ’’ කියල. උන් මනුස්ස භාෂාව කථා කරන බව ඇත්තයි. හැබැයි උන් ග‍්‍රහණය කරගත්ත ශබ්ද ටිකක් විතරයි පිට කරන්නෙ. උන් ඒ ශබ්දවල තේරුමක් දන්නෙ නෑ. මම උදාහරණයක් කියන්නම්. හිතන්න ඔබේ ගෙදර කූඩුවක කථා කරන්ට පුළුවන් ගිරවෙක් ඉන්නව කියල. හැමදාම උදේට ඔබ ඌට බත් ටිකක් දෙන්ට පුරුදුවෙලා ඉන්නව. ඉතින් අද ගෙදර බත් ඉව්වෙ නෑ කඩලයි තැම්බුවේ. ඔබ ඌට කඩල ඇට ටිකක් දෙනව. ඊට පස්සෙ ටික වෙලාවකින් ඔබ ගිරවාගෙන් අහනව ‘‘පෙත්තෝ...., බත් කෑවද?’’ කියල එතකොට පෙත්ත කියයිද ‘‘පෙත්ත අද බත් කෑවෙ නෑ. කඩල කෑව’’ කියල. ඌ කවදාවත් එහෙම කියන්නෑ. ඌ කියාවි ‘‘පෙත්ත බත් කෑව’’ කියල.
එක්දහස් අටසිය ගණන්වල මුල් අවධියේ උතුරු ඉන්දියාවේ පිටිසර ගම්මානයක් අසල මිනිස්සුන්ට හමුවෙලා තියෙනව හතර පයින් ඇවිදින ළමයි දෙන්නෙක්. ඒ ළමයි පස්සෙන් ගියපු මිනිස්සු දැකල තියෙනව ඒ දෙන්න ජීවත්වෙන්නෙ වෘකයන් ඉන්න ගුහාවක බව. ඒ දෙන්නා වෘකයන් මෙන් උඩුබුරන්ටත් පුරුදුවෙලා ඉ`දල තියෙනව. අවුරුදු හත අටක් වයස බව පෙනුන ඒ අයට එක වචනයක් වත් කථා කරන්ට පුළුවන්කම තිබිල නෑ. ‘කවුරුහරි ඒ දෙන්න කැලේ දාල එන්ට ඇති එහෙම නැතිනම් අතරමං වෙන්ට ඇති’ කියල මිනිස්සු හිතල තියෙනව. කොහොම හරි ඒ දෙන්න ජනාවාසයට ගෙනල්ල අමලා, කමලා කියල නම් දෙකකුත් තියල කථා කරන්ට පුරුදු කරන්න මිනිස්සු උත්සහ කළත් වචන සියයක්වත් උගන්වන්න බැරිවුණා කියල වාර්තා වෙනව. කැලේදී හමුවූ මේ වගේ ළමයින් පිළිබ`ද සිද්ධි 30ක් විතර වාර්තාවෙල තියෙනව.
කිසිම සතෙකුට හිමි නොවී අපට පමණක් හිමිවූ ඒ වරප‍්‍රසාදය බොරු කීමට, කේලම් කීමට, පරුෂ වචන කීමට, හිස් වචන කීමට භාවිත කරනවා නම් අපි කොයිතරම් මෝඩ ද කියල මොහොතක් හිතල බලන්න. ඒ වගේම තමයි මිනිසා දවසින් දවස දියුණු වෙලා තියෙන්නෙත්, මිනිසුන් අතර සුහදතාව වර්ධනය වෙලා තියෙන්නෙත්, සමාජ සංවිධාන හා සමාජ සංස්ථා ගොඩනැගිල තියෙන්නෙත් මේ කථා කිරීමේ හැකියාව නිසාමයි. ඒ නිසා අපට ලැබිල තියෙන මේ හැකියාව සුළු කොට තකන්න එපා.
ලොකු මොළයක්
අලියගෙ මොළේ අපෙ මොළේට වඩා විශාල බව ඇත්ත. අලි මොළය මිනිස් මොළය වගේ තුන් ගුණයක් විතර විශාලයි කියල කියනවා. ඒ වුණාට උගෙ ශරීරයත් එක්ක සස`දල බලනකොට මොළය කුඩයි. හිතල බලන්ට දිය, ගොඩබිම, අහස, ගින්දර තුළ, අනෙක් ග‍්‍රහලෝක ආදි හැමතැනකම සැරිසරන්ට පුළුවන් විදිහට විවිධ උපකරණ හදල හැකියාවන් ඇති කර ගත්ත සත්තු ඉන්නවද කියල. නැහැ. මිනිසා තමාගේ දියුණු මොළයත් එක්ක එ් හැකියාව ලබාගෙන තියෙනව. ඒ හිතීමේ ශක්තිය දියුණු තියුණු කරන්න පුළුවන් එකම සත්වයා මිනිසා හින්දයි. අපට මොළය දියුණු කර ගන්ට ඒ කියන්නෙ ඉගෙන ගන්ට පුළුවන්කම ලැබිල තියෙන්නෙ සමාජ ආශ‍්‍රය හින්දයි.
අවි ආයුධ භාවිත කරන එකම සතා
අවි ආයුධ, යන්ත‍්‍ර සූත‍්‍ර ආදිය තැනීමේ හා ඒවා භාවිත කිරීමේ හැකියාව තියෙන එකම සත්වයා මනුස්සයා පමණයි. ඇතැම් අවස්ථාවලදි පුංචි කෝටු කෑල්ලක් විතරක් භාවිතයට ගන්න චිම්පන්සි, ගෝරිල්ලො වගේ සතුන් හිටියත් මිනිසා හැර වෙනත් කිසිම සතෙක් අවි ආයුධ නිෂ්පාදනය කරන්නේවත් භාවිත කරන්නේවත් නෑ.
වැඩි ළමා කාලයක් තියෙන සතා
අනෙක් සතුන් එක්ක සස`දල බලන කොට වැඩිම ළමා කාලයක් තියෙන සත්වයා මිනිසායි. මුව පැටවුන්, හරක් පැටවුන් එහෙම ඉපදිලා ටික වෙලාවකින් ඇවිදිනවා. මිනිස් පැටවු එහෙම නෑ. ඒ වුණත් අන්ත අසරණයෙකු විදිහට උපදින මිනිස් දරුවා අවුරුදු ගණනක් තිස්සේ කවා පොවා රැුගගන්න වෙනවා. අනික් සතුන්ට වඩා මිනිසා දියුණු තත්වයකට පත්වෙන්නටත් දීර්ඝ ළමා කාලය එක හේතුවක් වෙල තියෙනවා.
සහජයෙන් එහාට ගොස් දිනෙන් දින දියුණු වන එකම සතා
හැම සතෙකුටම උපතින් ලැබෙන හැකියාවන් තියෙනවා. ඒවට කියනව ‘‘සහජ හැකියාවන්’’ කියල. මනුසතා ජීවත් වන සමාජය ඒ කියන්නෙ ඔහු වටා තියෙන වටපිටාව ම`ගින් එහෙම නැතිනම් මිනිස්සු එකතු කරල තියෙන තොරතුරු ම`ගින්් ලබන අධ්‍යාපනය නිසා උපතින් ලැබෙන හැකියාවන් දියුණු කරගන්ටත් නව හැකියාවන් ඇති කර ගන්නත් මිනිස් පැටවුන්ට හැකියාව ලැබෙනව. දැන් මෙහෙම හිතන්න. ඔබේ ගෙදරට ඇස් දෙකවත් ඇරපු නැති පූස් පැටියෙක් ගෙනාවොත් ඌ ටිකක් ලොකු වෙලා ඇස් ඇරලා යන්තම් ඇවිද කියාගන්ට පුළුවන් කාලෙ ඉ`දලම දඩයම් කරන්ට ද`ගලන්න නැද්ද?. ඌ දඩයම් කරන්ට ද`ගලනව. උගෙ අම්මාවත් ඔබවත් ඌට දඩයම් කරන්න ඉගැන්නුවා ද? නැහැ. උගෙ පැවැත්ම ස`දහා ඒක ඌට සහජයෙන්ම ලැබිල තියෙන දෙයක්. හැම සතෙකුටම වගේ උන්ගෙ පැවැත්මට එහෙම හැකියාවන් ලැබිල තියෙනව.
අදින් වසර ලක්‍ෂ ගණනකට ඉස්සර ජීවත්වෙච්ච සිංහයන් මස් කාපු හැටි ගැන හොයල බැලූවොත්, ඒ වගේම වසර ලක්‍ෂ ගණනකට එහා ජීවත්වෙච්ච වේයන් හුඹස් බැන්්ද හැටි හොයල බැලූවොත් ඔබට දැනගන්නට පුළුවන් අද සිංහයන්ට, වේයන්ට වඩා වෙනසක් උන්ගෙ නැති බව. අවුරුදු ලක්‍ෂ ගණනකට පෙර හිටිය සිංහයන් දඩයම් කරගෙන, ලේ පෙරාගෙන, අමුඅමුවේ මස් කෑවේ යම් විදිහකට ද අද සිංහයන් මස් කන්නෙත් ඒ විදිහටමයි. ‘‘අපි දැන් ඉන්නෙ දියුණු යුගයක. අපි අමු අමුවෙ මස් කාපු කාලෙ ගියා. වරෙල්ල, අපි මේ මස් ටික උයල කමු. නැත්තම් බැදල කමු. එහෙම නැත්නම් බේක් කරල කමු’’ කියල සිංහයෝ කවදාවත් උන්ගෙ ආහාර රටාව වෙනස් කළේ නෑ. වෙනස් කරන්නෙත් නෑ. වේයොත් ඒ වගෙයි. ‘‘අපි කෙළවලින් මැටි අනලා තුඹස් බැ`දපු කාලෙ ගියා. වරෙල්ල, අපි දැන් ඉන්නෙ විසි එක්වෙනි සියවසේ. අපි සිමෙන්තිවලින් දැන් හුඹහ හදමු’’ කියල වේයො කවදාවත් වෙනස්කමක් කරන්නෙ නෑ.
වටු කුරුල්ල ලස්සන කූඩුවක් හදන බව ඔබ දන්නවා. කොච්චර ලස්සනට එයාල කූඩුව හැදුවත් ඒක ඇතුළට රිංගල සර්පයෝ වටුකුරුලූ පැටව්, බිත්තර එහෙම ගිලිනවා. හැබැයි වටුවා ඒක තේරුම් අරගෙන උගෙ කූඩු හැදීමේ සැලැස්ම වෙනස් කරල නැහැ. අවුරුදු සිය දහස් ගණනකට පෙර හිටිය වටු කුරුල්ලා කූඩුව හැදුවෙ යම් විදිහකට ද අද ඉන්න වටු කුරුල්ලා කූඩුව හදන්නෙත් ඒ විදිහටමයි. එතකොට පැහැදිලියි නේද තමන්ට ලැබිල තියෙන සහජ හැකියාවෙන්් එහාට ගිහිල්ල, හිතල බලල, සැලසුම් කරල යමක් කරන්ට සත්තුන්ට නොහැකි බව.
ආදර්ශය
‘‘මනුස්සයෙක් උනාම ආදර්ශවත් විදිහට ජීවත්වෙන්න ඕනි’’ කියල බොහෝ අය කියනව අපට ඇහිල තියෙනව. ඇත්තටම මොකද්ද ඔය ආදර්ශය කියන්නෙ කියල අපි මුලින්ම ටිකක් හොයල බලමු. ආදර්ශය කියන්නෙ සංස්කෘත වචනයක්. ඒකෙ තේරුම ‘‘කණ්ණාඩිය’’ කියන එකයි. මේ කියන්නෙ අපි ඇස් දෙකට දාන කණ්ණාඩිය ගැන නෙවෙයි. මූණ බලන කණ්ණාඩිය ගැනයි. ‘‘කැටපත’’ නැති නම් ‘‘කැඩපත’’ කියල කියන්නෙත් ඒ්කටම තමයි. එතකොට ‘‘ආදර්ශ සම්පන්න වෙනව’’ කියන්නෙ කණ්ණාඩියක් වගේ වෙනව කියන එකයි. ඇයි එහෙම කියන්නෙ කියල අපි ටිකක් හොයල බලමු.
පොඞ්ඩක් හිතන්න අපි කණ්ණාඩියක් ළ`ගට ගිහිල්ල මොනවද කරන්නෙ කියල. හැඩ වැඩ වෙන්න ඒ කියන්නෙ ලස්සන වෙන්ටයි අපි කණ්ණාඩිය ඉස්සරහට යන්නෙ. කොහොමද අපි ලස්සන වෙන්නෙ. රැුවුල වැවිල නම් කපාගන්නවා. කොණ්ඩෙ ඇවිස්සිල නම් පීරගන්නවා. සමහර අය පීරල හැඩට ගොතා ගන්නවා. ඒ වගේම ඇතැම් අය සුදුපාට වෙලා තියෙන කොණ්ඩය කළු කර ගන්නවා. ඒ වගේම පවුඩර්, ක‍්‍රීම් වගේ දේවල් ගාගන්නවා. තවත් සමහර අය ‘‘මේකප්’’ දාගන්නවා. තවත් අය දුර ඉ`දල බලල, ළ`ග ඉ`දල බලල, කැරකිල බලල ඇ`දුම් පැළ`දුම් පිළිවෙළකට සකස් කර ගන්නව. බලන්න මේ හැම දෙයකින්ම කරන්නෙ තමන්ගෙ ශරීරයෙ නැතිනම් ඇ`දුම්වල තියෙන අඩුපාඩු සකස් කර ගන්න එක නේද? මේ හැම දෙයක්ම කරන්නෙ ලස්සන වෙන්නයි. ඒ විදිහට කණ්ණාඩියෙන් බලල, හැඩවෙල පාරට බැස්්සහම ඔබ දෙස බලන අය ‘‘එයා හරි ලස්සනයි’’, ‘‘එයා හරි පිළිවෙළයි’’, ‘‘එයා හරි කඩවසම්’’ වගේ දේවල් කියනව. නොකීවත් හිතනව. ඒ විදිහට ප‍්‍රශංසා ලබන්න ඔබට උදවු කළේ කවුද? කණ්ණාඩියයි.
හෙ`ා`දයි දැන් අපි නැවතත් ‘‘ආදර්ශවත්වීම’’ දිහාට හැරෙමු. මම මුලින් කීවනෙ ආදර්ශවත් වෙනව කියන්නෙ කණ්ණාඩියක් වගේ වෙනව කියන එක කියල. ඒ වගේම මම කීවනෙ ආදර්ශය හෙවත් කණ්ණාඩිය භාවිත කරන්නෙ අපේ අඩුපාඩු සකස් කරගන්ට කියල. එතකොට කෙනෙකුට පුළුවන්නම් සමාජයට කණ්ණාඩියක් වගේ වෙන්න එයා දිහා බලල හැම කෙනෙක්ම තමන්ගෙ අඩුපාඩු සකස් කර ගනීවි. ආදර්ශවත් විදිහට ජීවත්වෙන අයට සමාජයේ ලොකු ගෞරවයක් හිමිවෙනව. ආදරයක් හිමිවෙනව. ඒ අය වැරදි කරන්නෙත් බොහෝම අඩුවෙන්. සමහරුන්ගේ පෙනෙන්නට තරම් වරදක් ඇත්තෙත් නැහැ. ඒ වගේම ඒ අය බොහොම ජනප‍්‍රියයි. කොතනට ගියත් ඒ අයට හො`ද පිළිගැනීමක් තියෙනවා. ඒ අයට ඒ තත්වය ලැබිල තියෙන්නෙ ඇයි කියල හොයල බලන කෙනෙකුට වැටහෙනවා ඒ අය වැරදි අඩුපාඩුු සකස් කරගෙන, යහපත් දේ වැඩිපුර කරමින්, හො`ද චරියාවන් පුරුදු කරගෙන ඉන්න නිසා ඒ තත්වය ලැබිල තියෙනව කියන එක.
තමන්ගෙ ජීවිතය යහපත්, ආදර්ශවත් එකක් කරගන්න කැමති අය මුලින් කීව වගේ ආදර්ශවත් අය දිහා බලල තමන්ගේ අඩුපාඩු සකස්කරගෙන, යහපත් දේ වැඩිපුර කරන්න ඕනි. හරියට කණ්නාඩියකින් බලල තමන්ගෙ අඩුපාඩු සකස්කර ගන්නවා වගේ.
නාකි නොවන්න
ඔබට පුළුවන් ද නාකි නොවී ඉන්න? හො`දට කල්පනා කරල බලන්න. මම මේ ප‍්‍රශ්නය අහපුවාම හැම කෙනෙක්ම දෙන පිළිතුර තමයි ‘‘අපට නාකි නොවී ඉන්න බෑ’’ කියන එක. එතකොට මම කියනව ‘‘අපට නාකි නොවී ඉන්ට පුළුවන් ’’ කියල. එතකොට බොහෝ අය කට ඇරගෙන බලාගෙන ඉන්නවා. ඇයි ඉතින්් නාකි නොවී ඉන්ට තියෙනව නම් කොච්චර දෙයක්ද? මිනිස්සු තමන් නාකි වෙලා කියන එක හංගන්න කොච්චර දේවල් කරනව ද? නාකි කියන එකේ තේරුම තමයි ‘‘නොහැකි’’ කියන එක. වයසක උදවිය ‘‘අපිට දැන් හයි හත්තිය නෑ’’, ‘‘දැන් බැරි වුණාට ඒකාලේ අපිත් හරි කෙරුමක්කාරයො තමයි’’, ‘‘දැන් මගේ ඇස් පේනව අඩුයි. හරියට කන් ඇහෙන්නෙත් නෑ’’ වගේ දේවල් කියනව කවුරුත් අහල ඇති. ඔන්න ඕකට තමයි නොහැකියාව කියන්නෙ. එතකොට මම කියන්නෙ නාකි නොවී ‘‘වැඩිහිටියො’’ වෙන්ට කියලයි.
සමහරෙකුට හිතෙන්ට පුළුවන් වැඩිහිටියො කියන්නෙ හිටිය වැඩි අයට කියල. අපි දැන් හොයල බලමු ඇත්තටම ‘‘වැඩිහිටියො’’ කියන්නෙ කාට ද කියල. වැඩිහිටියො කියන්නෙ වැඩසිටින අයටයි. අපි හැම කෙනෙක්ම එහෙම නැතිනම් හැම දෙයක්ම වැඩසිටිනව කියල කියන්නෙ නෑ. ‘‘ජයසිරිමහ බෝධින් වහන්සෙ අනුරාධපුරේ වැඩසිටිනව’’, ‘‘දළදා වහන්සේ මහනුවර වැඩසිටිනවා’’, ‘‘අපෙ හාමුදුරුවො පන්සලේ වැඩ සිටිනව’’, ‘‘ධාතුන් වහන්සේ කර`ඩුවේ වැඩසිටිනව’’ ආදි වශයෙන් වැඩි ගෞරවය දැක්විය යුතු වස්තු හා පුද්ගලයන් කීහිපදෙනෙකුට විතරයි අපි වැඩසිටිනවා කියන යෙදුම භාවිත කරන්නෙ. ඒ වගේ වැඩි ගෞරවයක් සමාජයෙන් ලැබිය යුතු ආකාරයට ජීවත්වන මිනිස්සුන්ටයි වැඩිහිටියො කියල කියන්නෙ.
එහෙම නැතිව දත් හැළුණු පමණින්, හම රැුළිවැටුණු පමණින්, කොන්ද කුදුවුණ පමණින් කෙනෙක් වැඩිහිටියෙක් වෙන්නෙ නෑ. තමන් නිකම්ම නිකන් නාකියෙක් ද එහෙම නැතිනම් වැඩිහිටියෙක් ද කියන එක තීරණය කරන්නෙ තමාමයි. තමන් සමාජයේ ජීවත් වන්නේ යම් විදිහකට ද ඒ විදිහට තමයි තමා වටා ගෞරවය හෝ අගෞරවය නිර්මාණය වෙන්නෙ කියන එක ඔබ හො`දින් තේරුම්ගත යුතුයි. එහෙනම් ඔබ සාර්ථක මිනිස් ජීවිතයක් ගත කළොත් ඔබට නොදැනීම ඔබ වැඩිහිටියෙකු බවට පත්වෙනවා ඒකාන්තයි. කොහොම ද මනුෂ්‍යයෙකු හැටියට සාර්ථක ජීවිතයක් ගතකරන්නෙ කියල මම ඊළ`ග මාතෘකාව යටතේ විස්තර කරන්නම්.
ඇහේ කළු බෝලය
කාගෙ කාගෙත් ඇස් දෙකේ කළුපාට බෝල දෙකක් තියෙනවා. එහෙනම් බලන්ට දැන් ඔබට ඒ කළු බෝල පේනවද කියල. තමන්ගෙ ඇස්වල තියෙන ඒ කළු බෝල තමන්ට දකින්ට බෑ. ඒ වුණාට ඉතා කුඩා තල ඇට, අබ ඇට, කුරක්කන් ඇට, වැලි කැට වැනි දෙවල් විතරක් නෙවෙයි කෝ`දුරුවන්, මදුරුවන් වැනි කුඩා සතුනුත් අපිට අපේ ඇස් දෙකෙන් බලාගන්ට පුළුවන්. ඒ වුණාට මොකද ඊටත් වඩා විශාලවට අපේ ඇස් දෙක ඇතුළේම පිහිටලා තියෙන කළුපාට බෝල අපිට පේන්නෙ නෑ.
අන් අයගේ වැරදි දැකීමත් තමන්ගේ වැරදි නොදැකීමත් හරියට ඒ වගේ තමයි. අපි කරන ලොකු වැරදි ඇතැම් විට අපි දකින්නෙ නෑ. අනිත් අයගේ පුංචි පුංචි වැරදි අපි දකිනවා. දකිනව විතරක් නෙවෙයි අපි ඒව විවේචනය කරනවා. මම ඇහුවොත් ‘‘ඔබ කවදාවත් කාගෙවත් වැරැුද්දක් ගැන විවේචනය කරල නැද්ද?’’ කියල මම හිතනව බොහෝ දෙනෙකුට ‘‘නෑ’’ කියන උත්තරය ලබාදෙන්ට බැරිවේවි. මම ඇහුවොත් ‘‘මගෙ වැරැුද්දක් තියෙනව නම් මට ඒක පෙන්නල දෙන්ට. මම කැමතියි ඒක හදාගන්ට’’ කියල ඔබ කවදාහරි කාගෙන්හරි අහල තියෙනව ද? කියල බොහෝ දෙනෙකුට ‘‘ඔව්’’ කියන උත්තරය ලබාදෙන්ට බැරිවේවි. ඒ කියන්නෙ ඔබ කොතරම් අසාර්ථක ද?
සැබවින්ම ඔබට මොනම අන්දමේ හෝ සාර්ථකත්වයක් ලබාගැනීමට අවශ්‍ය නම් තමන්ගේ වැරදි, අඩුපාඩු හැකි තරම් සකස්කරගන්ට උත්සහ කළ යුතුමයි. අපි මේ අවුරුද්දේ කරනවාට වඩා වැඩියෙන් ලබන අවුරුද්දේ වැරදි කළොත් ඒකෙන් අදහස් වෙන්නේ අපෙ ජීවිත අසාර්ථක බවයි. මිනිසෙකු හැටියට උපන් ඔබ නිරතුරුවම ඔබේ වැරදි සෙවීමෙහි නිරත විය යුතුමයි.
මම මුලින් කියපු විදිහට අපට අපේ වැරදි පේනව අඩුයි. ඒ නිසා ඔබේ හො`දම මිතුරාට එහෙම නැතිනම් සැමියාට/බිරි`දට කියන්න ‘‘අනේ ඔබ මගේ වැරැුද්දක් අඩුපාඩුවක් දැක්කොත් කරුණාකරල මට ඒක පෙන්නල දෙන්ට. මම කැමතියි ඒක හදාගන්න’’ කියල. ඒ වගේම ඔබගේ කාමරයේ කාටත් පේන හැටියට ලොකු අකුරින් කොළයක ලියල තියන්න ‘‘මගේ හො`දම මිතුරා යනු මගේ වැරැුද්දක් පෙන්වා දෙන්නාය’’ කියල. අපේ බුදුහාමුදුරුවෝ දේශනා කළා,
නිධිනංව පවත්තාරං - යං පස්සේ වජ්ජ දස්සිනං
නිග්ගය්හවාදිං මේධාවිං - තාදිසං පණ්ඩිතං භජේ
තාදිසං භජමානස්ස - සෙය්යෝ හෝති න පාපියෝ
කියල. මේ ගාථාවෙන් කියවෙන හැටියට කෙනෙක් අපේ වරදක් පෙන්නල දුන්නහම අපි හිතන්ට ඕනි නිධානයක් පෙන්නල දුන්න කියල. හැබැයි වැරැුද්ද පෙන්නල දෙන කෙනාත් බොහෝ වැරැුදි කරන කෙනෙක් නම් ඒ පෙන්වාදීම අසාර්ථක වෙන්ට පුළුවන්. සුරාවට ඇබ්බැහිවෙච්ච තාත්ත කෙනෙක් තමන්ගෙ පුතාට කියනව නම් ‘‘උඹ බොන්ට එපා’’ කියල ඒ දරුවා ඒ අවවාදය ගණනකට නොගනීවී. ඒවට කියනව ‘‘වැදි බණ’’ කියල. හැබැයි විය යුත්තේ කොතරම් වැරදි කෙනෙක්් වුණත් හො`ද දෙයක් කියනව නම් අහගෙන ඉ`දල තමන්ගෙ අඩුපාඩු සකසා ගෙන ජීවිතය සාර්ථක කර ගන්න එකයි. කියමනක් තියෙනවනේ ‘‘කියන කෙනා කෙරෙහි නොව කියන දෙය කෙරෙහි අවධානය යොමු කරන්න’’ කියල.
දක්‍ෂ දේශකයෙකු වීම ස`දහා ම`ග පෙන්වන්න ලියවුණු පොතක කියල තිබුණා බොහොම වැදගත් කාරණාවක්. එහි කතුවරයා මෙහෙම කියනවා. ‘‘ඔබට දක්‍ෂ දේශකයෙකු වීමට අවශ්‍ය නම් මෙම ක‍්‍රමවේදය ද භාවිත කරන්න. ඔබ කිසියම් දේශනයක් පවත්වන අවස්ථාවකදී ඔබගේ මිත‍්‍රයෙකු එම දේශන ශාලාවේ ර`දවන්න. ඔබ අතින් දේශනය පුරාවටම සිදුවන වැරදි අඩුපාඩු කෙරෙහි අවධානයෙන් සිට ඒවා සටහන් කරගන්නා ලෙස එම මිතුරාගෙන් ඉල්ලා සිටින්න. මන්ද දේශන ශාලාවේ සිටින වෙනත් කිසිවෙකු ඔබගේ අඩුපාඩු පෙන්වා නොදෙනු ඇත. දේශනය අවසානයේදී එම මිතුරා හමුවී ඔබගේ අඩුපාඩු පිළිබ`ද ඔහුගෙන් විමසන්න. එම වැරදි මීළ`ග දේශනයේදී සිදු නොවීමට වග බලා ගන්න. දේශන කිහිපයක් මෙසේ පැවැත්වූ කල නොබෝ කලකින්ම ඔබ දක්ෂ දේශකයෙකු වනු ඇත’’
මොහොතක් හිතන්න. තමන්ගේ අඩුපාඩු සකසා ගැනීම සාර්ථකත්වය ස`දහා කෙතරම් ඉවහල් වනවාද කියල. හවස් යාමයේ නිදහසක් ලැබුණු විට එහෙම නැතිනම් නින්දට පෙර අවදිවූ මොහොතේ සිට එම මොහොත දක්වා තමන් කළ කී දෑ සියල්ල පිළිබ`ද සිහිකර බලලා දවස පුරාවට තමන් අතින් සිදුවූ වැරදි වටහාගන්න. එම වැරැුද්ද කිසි දිනක නැවත නොකිරීමට වග බලා ගන්න.
කතාවක් තියෙනවනේ ‘‘එකම වරද දෙවරක් කරන තාක්කල් එය සැබෑ වරදක් නොවේ’’ කියල. ඒ වගේම තමයි තමන් අතින් සිදුවන වැරදි ගැන හිත හිත කිසිදවසක දුක් වෙන්න එපා. වෙච්ච වැරදි ගැන හිතමින් හ`ඩා වැලපෙන එක, දුක් වෙන එක මෝඩකමක්. ඒ වැරදි යළි කිසි දිනක නොකර ඉන්ට උත්සහවත් වෙන්ට. හැම වෙලාවෙම හිතන්න ‘‘අතීතය ගුරුවරයෙක්’’ කියල. අපි කරපු හො`ද වැඩ ලියල පිංපොත් හදන්ට කීවට නරක වැඩ ලියල පවුපොත් හදන්ට කියල කියන්නෙ නෑනෙ. කරපු හො`ද වැඩ ලියල තියන්ට කියන්නෙ ඒව මතක් කරකර සතුටුවෙන්ටයි. පවුපොත් හදන්ට කියල නොකියන්නෙ කරපු වැරදි ගැන මතක් කරකර දුක් විය යුතු නැති නිසයි.
හිතන තරම් අමාරු නෑ
සමහර අය කියනවා ‘‘ධර්මානුකූලව ජීවත්වෙන එක හරි අමාරු වැඩක්, එහෙනම් ගෙවල් දොරවල්, ඉඩකඩම් නෑදෑයන් ආදි හැම දෙයක්ම අතෑරල දාල වනගත වෙන්ට ඕනි’’ කියල. කෙනෙකුට එහෙම කරන්න පුළුවන්නම් ඒක බොහොම හො`දයි. නමුත් ‘‘සාමාන්‍ය ජීවිතයක් ගත කරන කෙනෙකුට ධර්මානුකූලව ජීවත්වෙන්ට බෑ’’ කියන එක නම් මම කොහෙත්ම පිළිගන්නෙ නෑ. බුදුරදුන් ධර්මය දේශනා කළේ දුක නැති කරන්න නොවෙයි. දුකට හේතුව ඒ කියන්නෙ තණ්හාව නැති කරන්නයි. දුක කියන්නේ අවබෝධ කර ගතයුතු දෙයක්. ඉතින් තණ්හාව නැති කරන එක ටිකෙන් ටික හෙමින් හෙමින් කළ යුතු දෙයක් කියල බුදුහාමුදුරුවෝ දේශනා කළා.
සරලවම ගත්තොත් පාරමිතා පුරනවා කියන්නෙත්, ධර්මානුකූලව ජීවත්වෙනව කියන්නෙත්, නිවන් ම`ග පුරුදු කරනව කියන්නෙත් තමාගේ වැරදි අඩුපාඩු ටිකෙන් ටික හදාගන්න එකයි. දාන, ශීල, නෛෂ්ක‍්‍රාම්‍ය (ලෞකික සම්පත්වලින් ඈත්වීම*, ප‍්‍රඥා, වීර්යය, ක්‍ෂාන්ති (ඉවසීම*, සත්‍යය (බොරු නොකීම*, අධිෂ්ඨාන, මෛත‍්‍රි, උපේක්‍ෂා කියල පාරමිතා දහයක් තියෙනවනෙ. සංසාරයෙන් මිදෙන්ට නම් බුදු, පසේබුදු, මහරහත් කියන තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකට අනිවාරයෙන් ම පැමිණිය යුතුයි. ඒ ස`දහා පුරුදු කළ යුතු චර්යා පද්ධතියට තමයි පාරමිතා කියල කියන්නෙ. මම කලින් කීවනෙ පාරමිතා පුරනවා කියන්නෙත්, ධර්මානුකූලව ජීවත්වෙනව කියන්නෙත්, නිවන් ම`ග පුරුදු කරනව කියන්නෙත් තමාගේ වැරදි අඩුපාඩු ටිකෙන් ටික හදාගන්න එකටයි කියල. ඒ බව තහවුරු කරන්න අර පාරමිතා දහයෙන් කිහිපයක් උදාහරණ හැටියට අරන් බලමු.
දානය කියල කියන්නෙ පළවෙනි පාරමිතාවයි. දානයෙන් නැතිනම් පරිත්‍යාගයෙන් කරන්නෙ අප තුළ පවතින ලෝභ චේතනා දුරු කිරීමට උත්සහ කරන එකයි. සුළු සුළු දේ දන් දීමෙන් මේ ආත්මභාවය තුළ විතරක් නෙවෙයි සංසාරයේ උපදින උපදින භවයක් පාසාම දාන චේතනාව පුරුදු කරන්න පුළුවන්. හැබැයි ‘‘දේයානි තෘණ පර්ණානි ශුද්ධානි මනසාර්ථිනේ’’ කියන සංස්කෘත ශ්ලෝක පාඨයෙන් කියවෙන හැටියට තණකොළ ගහක් දුන්නත් පිරිසිදු හිතින්ම දෙන්න ඕනි. පුංචි දිය පහර මහා ගංගාවක් බවට හැරෙනව වගේ ඒ දාන චේතනාව කවදාහරි තමන්ගෙ ශරීරයේ මස් ටික පවා දන් දෙන තරමට පුළුල් කරගන්ට පුළුවන්.
ශීල පාරමිතාවත් අරන් බලමු. ශීලය කියල කියන්නෙ කයයි, වචනයයි දෙක සංවර කරගැනීමට. කෙනෙකුගේ කයයි වචනයයි සංවර නැති නම් ඔහු සතුන් මැරීම, නොදුන් දේ ගැනීම, කාමයේ වරදවා හැසිරීම, බොරු කීම, කේලම් කීම, පරුෂ වචන කීම වැනි වැරදි ගොඩක් කරනවා. කෙනෙක් සිල්වත් වෙනව කියන්නෙ මේ වැරදිවලින් වැළකෙනව කියන එකයි. හිතල බලන්න කෙනෙකුට මේ වැරදිවලින් වැළකෙන්ට අමාරු ද කියල.
සබ්බ පාපස්ස අකරණං - කුසලස්ස උපසම්පදා
සචිත්තපරියෝදපනං - ඒතං බුද්ධානසාසනං
මේ ගාථාවෙන් කියවෙන විදිහට ලෝකයේ පහලවෙච්ච හැම බුදුවරයෙකුගේම අනුශාසනාවල සාරය හැටියට ඇතුළත් වෙලා තියෙන්නෙ මෙන්න මේ කාරණා තුනයි.
1. සියලූ පවු නොකරන්න (සබ්බ පාපස්ස අකරණං*
2. සියලූ කුසල් කරන්න (කුසලස්ස උපසම්පදා*
3. තමන්ගේ හිත පිරිසිදු කරගන්න (සචිත්තපරියෝ දපනං*
මේ කරුණු තුනට අනුව ජීවත්වෙනව නම් ඔබගේ මෙලොව ජීවිතයයි පරලොව ජීවිතයයි දෙකම සාර්ථක වෙනව ස්ථිරයි.
බුලත් කොළේ
බොහෝ අය කරන, කියන දෙවල්වල අර්ථයක්, ඒ කියන්නෙ හරයක් නෑ කියල තවත් අය චෝදනා කරනව. ඒක ඇත්ත. ගොඩක් අය පුරුදුවෙලා ඉන්නෙ අනිත් අය කරන නිසා තමනුත් ඒ දේවල් කරන්ටයි. රැුල්ලට යනව, අන්ධානුකරණය වගේ වචනවලිනුත් ඒක හ`දුන්වනවා. ඇතැම් විට ඔබ බුලත්විට කනව ඇති. නොකෑවත් අනිත් අය කනව දැකල ඇති. විට කන අය බුලත් කොලේ දෙපැත්ත කඩල දානවත් ඔබ දැකල ඇති. මම විට කන මිනිස්සු දහස් ගණනකගෙන් අහල තියෙනව ‘‘බුලත් කොළේ දෙපැත්ත කඩල කන්නෙ ඇයි?’’ කියල. කිසි කෙනෙක් මට නිවැරදි පිළිතුර ලබාදීල නෑ. එසේ නම් අපි අත්තා, මුත්තා, නත්තා, පනත්තා, කිත්තා, කිරිකිත්තා කාලෙනුත් එහා හිටිය ආදිම මුත්තාගේ ඉ`දළ පැවැතගෙන එන නිසා යමක් කරනව නම් අපට ලැබිල තියෙන හිතීමේ, විමසීමේ හැකියාවෙන් වැඩක් ගන්නෙ නැහැ කියලයි මට හිතෙන්නෙ.
‘‘භූමියෙන් ලත්’’ කියන අදහසින් මේ වැල්වලට බුලත් කියන නම ලැබුණ කියලත් සමහරු කියනවා. නාග ලෝකය මහ පොළව තුළ පිහිටල තියෙනව කියලනෙ කියන්නෙ. ඉතින් එහෙ ඉ`දන් නාගයෙක් බුලත් කොළයක් අරන් ආව කියලත් ජන ප‍්‍රවාදයක් තියෙනව. එක් බුලත් වර්ගයකට බොහෝ අය ‘‘නාගවල්ලි’’ කියල කීවත් පොදුවේ බුලත්වලට නාගවල්ලි කියල කියන පුළුවන්. ‘‘නාග’’ කියන්නෙ නයාට කියල කවුරුත් දන්නවනෙ.් ‘‘වල්ලි’’ කියල කියන්නෙ වැලට. ඉතින් ‘‘නාගයා වගේ යන වැල’’ කියන අදහසින් තමයි බුලත්වලට නාගවල්ලි කියල කියන්නෙ. නාගයා තනි කෙලින් යන්නෙ නෑ. ද`ගර දදා තමයි යන්නෙ. බුලත්වැලත් ඒ වගෙයි තනි කෙළින් යන්නෙ නෑ ඇද වෙමිනුයි යන්නෙ.
කොහොම හරි කමක් නෑ අපි දැන් බලමු ඇයි මේ බුලත් කොළේ දෙපැත්ත කඩල කන්නෙ කියල. බුලත් කියන්නේ තරමක් විශාල කොළයක්නෙ. ඒ කොළේ උඩට කුණු ¥විලි වැටෙනව. වැස්සට, පින්නට කුණු, ¥විලි හේදිල ගිහිල්ලා වතුරත් එක්ක කොළේ අගිනුයි මුලිනුයි තමයි ඒව බිමට රූරා වැටෙන්නෙ. එතකොට බුලත් කොළේ අගයි මුලයි විෂබීජ රැු`දීමේ ප‍්‍රවණතාවත් වැඩියි. අනික බුලත් වැලෙන් කොළේ කඩන කොට නියපොත්තෙන් නැට්ට කඩන නිසා නැට්ට ළ`ග විෂ තියෙන්ටත් පුළුවන්. ඉතින් කොහොම හරි බුලත් කොළේ අගයි, මුලයි කඩල කාපුවහම අර විෂබීජ කැවෙන්නෙ නෑ. ‘‘නාග ලෝකෙන් ගෙනාපු හින්ද බුලත් කොළේ අගයි, මුලයි විෂ තියෙනව’’ කියල පැරණි අය කථාවක් ගොඩ නගන්ට ඇත්තෙත් මේ විෂබීජ ගැන දැනගෙනම වෙන්ට ඇති.
ඉතින් මට කියන්න අවශ්‍ය වුණේ අපි එදිනෙදා කරන කියන දේවල් උනත් අර්ථයක් ඇතිව කරන්ට ඕනි කියන එකයි. අනිත් අය කරන නිසා අපිත් ඒ දේවල් කරනව නම් ඒක කිසිසේත්ම සුදුසු නෑ. එහෙම කරන බොහෝ අයට විශාල පාඩු වි`දින්ටත් සිද්ධ වෙනව.
සොසේජස් බැදීම
ඇත්තටම හිතල බලල වැඩ කටයුතු කිරීමේ හැකියාවක් ඇති මනුසතා අරමුණක් නැතිව, අර්ථයක් නොදැන වැඩ කිරීම සෝචනීයයි. මම ඔබට කියල දෙන්නම් පුංචි උපදේශ කථාවක්.
එක තරුණ බිරි`දක් හිටියා. ඇය පුරුදුවෙලා හිටියා දෙපැත්තෙන් පුංචි කෑලි දෙකක් කපල ඉවත් කරල සොසේජස් බදින්ට. මේක දැකපු සැමිය දවසක් ඇයගෙන් ඇහුවා ‘‘ඇයි අනේ ඔයා සොසේජස් එකේ දෙපැත්තෙන් කෑලි දෙකක් කපල අයින්කරල බදින්නෙ කියල. එතකොට අර තරුණ බිරි`ද කීවා ‘‘මගේ අම්මා සොසේජස් බැද්දෙත් මෙහෙමයි. මාත් ඒ නිසා ඒ විදිහටම බදිනව’’ කියල. දවසක් ඇය තමන්ගේ අම්මාගෙන් මේ පිළිබ`දව ඇහුවා. එතකොට ඇගේ අම්මා කීවා ‘‘දුවේ මගේ අම්මා, ඒ කියන්නෙ දුවගෙ අත්තම්මා සොසේජස් බැද්දෙත් දෙපැත්තෙන් පුංචි කෑලි දෙකක් කපල අයින් කරල. මාත් ඒ හින්ද එහෙම බදින්ට පුරුදුවුණා’’ කියල.
දවසක් අර තරුණ බිරි`දට තමන්ගේ අත්තම්මා හමුවුණා. අත්තම්මට සියලූ විස්තර කියපු ඇය අත්තම්මගෙන් මෙහෙම ඇහුවා. ‘‘අත්තම්මේ මට කියන්න, ඇයි ඔයා සොසේජස්වල දෙපැත්ත කපලා බැද්දෙ කියල?’’ එතකොට අත්තම්ම මෙහෙම කීවා. ‘‘දුවේ ඒ කාලේ මට සොසේජස් බදින්න තිබුණේ හරිම පොඩි තැටියක්. ඒකට සොසේජස් එක දැම්මහම දෙපැත්තෙන් එළියට යනව. ඒ හින්දයි මම සොසේජස්වල දෙපැත්තෙන් කෑළි දෙකක් කපල අයින්කරල බදින්ට පුරුදුවුණේ ’’
අරමුණක්, අර්ථයක් නැතිව කිසිදවසක කිසිදෙයක් කරන්න එපා. සමහර මිනිස්සු ගෙදරින් එළියට බහින්නෙ කිසි අරමුණක් නැතිවයි. ඒ වගේ අයට කියන්නෙ ‘‘රස්තියාදුකාරයෝ’’ කියලයි. මේ උදවිය වටිනා කාලය නිකරුණේ කා දමන නිසා ‘‘කාලකන්නියෝ’’ හැටියටත් හ`දුන්වනවා. බොහෝවිට මත්ද්‍රව්‍ය භාවිතය, සූදුව වැනි නරක පුරුදුවලට ඇබ්බැහි වෙන්නෙත් අරමුණක් නැතිව ගෙයින් එළියට බහින, බොක්කු රත් කරන, කඩපිල් ගානේ කාලය කා දමන මේ රස්තියාදුකාරයිනුයි.
එක බෝක්කුවකට හරි කථාකරන්න පුළුවන් නම් තමන්ගේ උඩ ඉ`දගෙන රස්තියාදුකාරයින් නිකරුණේ දෙඩූ මුසාවාද, පරුෂාවාච, පිසුනාවාච හෙවත් කේලම්, හිස් වචන ඒ විතරක් නෙවෙයි ඒ පව්කාරයින් උරපු සිගරට්, බීඩි, කන්සා සුරුට්ටු වැනි කැහි කූරුවල සංඛ්‍යාලේකන, බීපු මත්වතුර බැරැුල් ගණන පිටු ලක්‍ෂ ගණනක පොතක් ලිියන්ට පුළුවන් තරම් ඉදිරිපත් කරාවි. එක එක්කෙනා තමාට බරක්වී සිටි කාලය ගණනය කර දසකවලින් ඉදිරිපත් කරාවි. ඒ බෝක්කුවට පුළුවන්නම් උසාවියට ගොස් සාක්‍ෂි දෙන්නට. තමාට බරක් හා වදයක් වෙමින් රස්තියාදුකාරයින් සැලසුම් කළ ¥ෂණ, භීෂණ ආදිය මුළු ලෝකයටම ඇහෙන්න හ`ඩගාල කියාවි.
මොහොතක් හිතන්න. ඉතා අපහසුවෙන් ලබාගත්ත මේ මනුෂ්‍ය ජීවිතයේ එක තප්පරයක් නිකරුණේ විනාශ කරනව කියන්නෙ කොයිතරම් අපරාධයක් ද කියල. මේ විදිහට නිකරුණේ කාලය කා දමන මිනිස්සු බොහෝ දෙනෙකුගේ ජීවිතවලට අරමුණක් නැහැ. සමහර අය වරා මල් වගේ ඔහේ පාවෙල යනවා. කොහේ යනවද කියල ඒ අයවත් දන්නෙ නෑ. ඔබත් එහෙම කෙනෙක් නම් ජීවිතයට අරමුණක් ගන්න. ඉලක්කයක් ගන්න. මිනිස් ජීවිතයේ වටිනාකම තේරුම්ගන්න උත්සහ කරන්න. ‘‘ජීවන යාත‍්‍රාව පාවී යන්නට නොදී පැදගෙන යන්න’’ කාලකන්නියෙකු, රස්තියාදුකාරයෙකු නොවන්න.
මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය
බොහෝ අය ජීවත්වන්නේ ප‍්‍රශ්න ජාලාවක පැටලිලා බව කීවොත් ඒක බොරුවක් නෙවෙයි. කරදර, බාධක, දුක් කම්කටොලූ අපමණ ප‍්‍රමාණයකින් වටවුණු ජීවිතයක් එක්ක කල් ගෙව්වත් අපේ ජීවිතයට අරමුණක් තිබිය යුතුමයි. සැබවින්ම ජීවිතය දුකක් බව බොහෝ අය තේරුම් අරන් තියෙන බවක් නම් පේන්නෙ නෑ. ජීවිතය දුකක් කියල යමෙක් තේරුම් ගන්නව නම් ඔහුගෙ ජීවිතය සාර්ථක වෙනව. ඔහුගේ අතින් සිදුවන වැරදි ප‍්‍රමාණය අඩු වෙනව. සමාජයේ යහපතට එය හේතු වෙනව.
මොහොතක් හිතන්න බලන්න අපිට එක් ඉරියව්වකින් පැයක් හිටියොත් ඒක කොච්චර වේදනාවක්ද කියල. එක දිගටම ඉ`දගෙන ඉන්න අපට පුළුවන් ද? හිටගෙන ඉන්න අපට පුළුවන් ද? අඩුම තරමින් එකම ඉරියව්වෙන් නිදාගන්න වත් අපට පුළුන් ද? කියල හිතල බලන්න. බැහැ. අපි නිදියන විදිහටම ඇහැරෙන්නේ නැහැනෙ. ඒ කියන්නේ නින්දේදිත් අපි ඉරියවු මාරු කරනවා. කොයිතරම් සැප තැනක වුණත් අපට එකම ඉරියව්වෙන් වැඩි වේලාවක් ඉන්න බෑ.
බෞද්ධ සාහිත්‍යයේ විනය පිටකයට අයිති පළමු ග‍්‍රන්ථය වන මහාවග්ගපාළියේ චීවරක්ඛන්ධකය කියන කොටසේ, එකම ආකාරයකට ඉරියවු පවත්වාගැනීමේ අපහසුව පිළිබ`ද කියවෙන ලස්සන කථාවක් තියෙනවා.
ඔබ අහල ඇති බුදුරදුන්ගෙ කාලෙ බොහොම ප‍්‍රසිද්ධ වෛද්‍යවරයෙක් හිටිය ජීවක කියල. ඉතින් ජිවක වෛද්‍යවරයා ජීවත් වුණේ රජගහනුවර. ඒ සිටුවරයාට බොහොම දරුණු අසනීපයක් හැදුණා. පණුවන් දෙදෙනෙක් ඔහුගේ හිස්මොළය කන්ට පටන්ගැනීම නිසයි මේ රෝගය හැදුණේ. මේ රෝගය හ`දුනාගත්ත ජීවක වෛද්‍යවරයා ප‍්‍රතිකාර කරන්ට ඉදිරිපත් වුණා. ජීවක වෛද්‍යවරයා සිටුතුමාට මෙහෙම කීවා. ‘‘සිටුතුමනි, මම ඔබතුමාට බෙහෙත් කරන්නම්. හැබැයි මම කියන කාරණාවට එක`ග වෙන්න ඕන. බෙහෙත් කරන කාලය තුළ ඔබතුමාට සිදුවෙනව දකුණු පැත්තට හැරිල එකදිගටම මාස හතක් ඉන්න. වම්පැත්තට හැරිල එකදිගටම මාස හතක් ඉන්න. උඩුබැලි අතට එක දිගටම මාස හතක් ඉන්න. එහෙම ඉන්ට පුළුවන්නම් මම බෙහෙත් කරන්නම්’’ ජීවිතය ගැන ආශාවෙන් හිටිය සිටුතුමා එයට එක`ග වුණා.
නමුත් බොහොම අපහසුවෙන් දින හතක් දකුණු ඇලයෙට වැතිරී සිටිය සිටුතුමා තවත් එක මොහොතක් වත් එසේ ඉන්ට බැරි බව කීව. එතකොට ජීවක වෛද්‍යවරයා සිටුතුමාව වම් ඇලයට හැරෙව්ව. හත් දවසක් දකුණු ඇලයෙන් හිටපු සිටුතුමා වේදනාවට පත්වෙලා අර විදිහටම කීව. නැවතත් ඔහුව උඩුබැලි අතට හැරෙවුවා. අවසානෙදි සිටුතුමා සනීප වුණා.
එතකොට ජීවක මෙහෙම කීව ‘‘සිටුතුමනි, මම දැනගෙන හිටියා දින හතක් එක පැත්තට ඉ`දල බෙහෙත් කළොත් ඔබතුමාව සනීප කරන්ට පුළුවන් කියල. මම හිතලමයි කාලය වැඩිකරල කීවෙ. බැරිවෙලාවත් මම කීව නම් ‘‘දින හතක් එක විදිහට හිටියොත් ඇති කියල’’ ඔබතුමා පැය හතක්වත් ඉන්නෙ නෑ. ඒකයි මම කාලය වැඩිකරල කීවෙ’’
මේ කථාවෙන් පැහැදිලි වෙනව නේද එක් ඉරියව්වකින්ම ඉන්න එක කොච්චර අමාරු ද කියන එක. දැවෙන ගිනි අ`ගුරක් අල්ල උඩ තියාගෙන හිටියොත් මොක ද වෙන්නෙ. අත පිච්චෙනව. හැබැයි ඒ ගිනි අ`ගුර වේගයෙන් අතින් අතට මාරු කළොත් අත පිච්චෙන්නෙ නෑ. අන්න ඒ වගේ විටින් විට ඉරියවු මාරු නොකර හිටියොත් අපටත් දැඩි වේදනා දැනෙනවා. මෙය ඔබට පමණක් නොවෙයි හැම කෙනෙකුටම පොදු ධර්මතාවක්.
ඉතින් අප‍්‍රමාණ කරදර බාධක, අපහසුතා මැද්දෙ අපි මේ ගතකරන ජීවිතයෙන් අපි පුංචි තෘප්තියක් ලබනවා. ඒක හරියට මරණ තුනක් ඇති මිනිහා පැණි කෑව වගේ වැඩක්. අපි බලමු මරණ තුනක් ඇති මිනිහා පැණි කෑවෙ කොහොමද කියල.
වනෙත් ගිජි`දාය සිටියොත් වන සාය
ළිෙ`දත් පණිදාය වැටුණොත් ඌ කාය
අතකින් කරවැලකි අතකින් ද`ඩු බෑය
මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය
කියල ප‍්‍රසිද්ධ කවියක් තියෙනව. ඔබත් ඒක අහල ඇති. මම අහල තියෙන හැටියට නම් මේ කවිය සකස්වෙලා තියෙන්නෙ මහාභාරතය කියන සුවිශාල සංස්කෘත වීර කාව්‍යයේ එන උපදේශ කථාවක් පදනම් කර ගෙනයි. ඒ කථාව මෙහෙමයි.
ඔන්න එකොමත්තෙක කාලෙක ඉන්දියාවෙ එක මනුස්සයෙක් හිටියා. ඒ මනුස්සයා දවසක් එක්තරා අවශ්‍යතාවකට කැලයට ගියා. ඉතින් මහ ඇතෙක් මේ මනුස්සයා පස්සෙ පන්නන්ට පටන්ගත්තා. හැංගෙන්ට තැනක් හොය හොයා, පණ භයෙන් දුවපු මේ මනුස්සයා මහ වැල් ගාලක් දැක්කා. ‘‘මේක ඇතුළට රිංගලාවත් ජීවිතය බේරගන්ට ඕනි’’ කියල හිතල අර වැල්ගාලට පැන්න. අහෝ ! අවාසනාවක මහත. වැල් ගාලෙන් වටවෙල තිබුණේ ගැඹුරු වළක්. අර මනුස්සයා ඒක ඇතුළට වැටෙන්ට ගියා. එකපාරටම වැලක එල්ලූණු ඔහු වළ තුළට බරවෙලා පැද්දි පැද්දි හිටිය.
ඉතින් මේ මනුස්සය උඩ බැලූව. මෙන්න බොලේ අර ඇතා ‘‘ගොඩට වරෙන්. ගොඩට වරෙන්’’ කියනව වගේ වළකටට ඇවිත් බලාගෙන ඉන්නව. එතකොටම වළ ඇතුළෙන් ‘‘ෆූස් ෆූස්්’’ ගාල සද්දයක් ඇහෙන්ට පටන්ගත්ත. අර මනුස්සයා බැලූව මොකද්ද මේ සද්දෙ කියල. එතකොට ඔහු දැක්ක වළ ඇතුළට කලින් වැටිච්ච නාගයෙක් ‘‘ඇතුළට වැටියන්කෝ...’’ කියනව වගේ පෙනය පුප්පාගෙන ඉන්න හැටි. එතකොටම මේ මනුස්සයගෙ අත් දෙකේ වේදනාවක් දැනුණා. අත්දෙක දිහා බලද්දි හො`දටම ලේ ගලන බව දැක්කා. තමන් එල්ලිලා ඉන්න වැල විෂ කටු සහිත එකක් බව ඔහු දැක්කෙ එතකොටයි. දැන් වළ උඩ, යට වගේම අතෙත් මරණයක්. ඒක තමයි ‘‘මරණ තුනක්’’ කීවෙ. ඉතින් බොහොම භයෙන්, වේදනාවෙන් වැලේ එල්ලිල ඉන්න කොට මේ මනුස්සය දැක්ක මොනවදෝ බිංදු බිංදු ඉහළ ඉ`දන් පහළට වැටෙනවා. මේ මනුස්සය උඩ බැලූව. එතකොට දැක්ක මේ වැල්ගාලෙ තමන්ගෙ හිසට ඉහළින් බැ`දල තිබුණු මීවදයකින් පැණි බිංදුව බිංදුව පහළට වැටෙනව. ඉතින් අර මනුස්සයා උඩින් වැටෙන පැණි බිංදුවට දිව දික්කළා. අන්න එහෙම තමයි මරණ තුනක් ඇති මිනිහ පැණි කෑවෙ.
අප‍්‍රමාණ කරදර, දුක් කම්කටොළු, ප‍්‍රශ්න, බාධක ආදිය මැදින් ගෙවන ඔබේ වෙහෙසකර ජීවිතය තුළින් විවිධ අවස්ථාවන්වලදි ඔබ කිසියම් සතුටක් ලබනවා. එයත් හරියට මරණ තුනක් ඇති මිනිහා පැණි කෑමෙන් ලබන සතුට වගේ එකක්. එහෙම කියල ඔබ ජීවිතයෙන් පලායන්ට උත්සහ කරනව නම් ඔබ පරාජිතයෙක්. කොයිතරම් කරදර, බාධක, දුක්, කම්කටොළු ආවත් සුළ`ගට නොසෙල්වෙන මහ පර්වතයක් වගේ ඉන්ට පුළුවන් පසුබිම හදාගන්න ඔබට පුළුවන්. මොකද ඔබ දැන් දන්නවා සුවිශේෂී හැකියාවන් ඇති සතෙකු ලෙස ඔබ උපත ලබාගෙන ඉන්න බව.
පවුකාරයා හා මාරයා
ඔන්න එකෝමත්තෙක කාලෙක එක්තරා ගමක ජීවත්වුණා එක මනුස්සයෙක්. රූපයෙන් මනුස්සයෙක් වුණාට මොහු ළ`ග මනුස්සකමක් ගෑවිලවත් තිබුණෙ නෑ. හය හතර තේරුම් නොගත් මේ මනුස්සයා බොහොම පාපකාරී ජීවිතයක් තමයි ගත කළේ. අඩුම තරමින් හාවෙක්, ඉත්තෑවෙක්, තලගොයෙක් වැනි සතෙකුටවත් නිදහසේ ජීවත්වෙන්ට ඉඩ නොදුන් මේ පවුකාරයා උන් පවා මරාගෙන කෑව. ඒ විතරක් නොවෙයි සුරාවට හා සූදුවටත් දැඩිව ඇබ්බැහිවෙලා හිටියා.
ඉතින් කොහොම හරි මොහු විවාහ වුණා. දරුවන් දෙදෙනෙකුත් ලැබුණා. ඉතින් එක දවසක් මාරයා ආව මේ මනුස්සයාව හමුවෙන්ට. ඇවිත් මෙහෙම කීව. ‘‘උඹ දැන් ජීවත්වුණා ඇති. දැන් එන්ට ඕනි මගෙත් එක්ක යන්ට’’ එතකොට අර පවුකාරයා කියනව ‘‘මට දැන්මම එන්ට බැහැ. මොකද මගෙ ළමයි දෙන්න පුංචියි. මම ගියපුවහම ඒ අයව බලාකියාගන්නෙ, පෝෂණය කරන්නෙ කවුද?’’ කියල. ඉතින් මාරයා ආපහු යන්ට ගියා. ඔන්න ටිකෙන් ටික කාලය ගතවෙලා ගියා. නමුත් අර මනුස්සයා තමන්ගේ අඩුපාඩු, වැරදි තේරුම් අරගෙන, ඒවා සකස් කරගෙන හො`ද කෙනෙක් වෙන්න කවදාවත් හිතුවෙවත් නෑ. එන්න එන්නම වැරැුදි වැඩි වැඩියෙන් කළා.
ඉතින් කොහොම හරි මේ මනුස්සයා මැදි වයසට පත් වුණාට පස්සෙ මාරයා ආපහු ආව. ඇවිල්ල මෙහෙම කීව. ‘‘ඔහේ එන්න ඕනි මගෙත් එක්ක යන්න. දැන් ඔහේ ජීවත්වුණා ඇති’’ එතකොට අර මනුස්සය මෙහෙම කීව. ‘‘හරි අසාධාරණයිනෙ මාරයො ඔහේ කරන වැඬේ. මගේ දරුවො දෙන්න දැන් ඉන්නෙ තරුණ වයසෙ. ඒ අයව ආවහ, විවාහ කරල දෙන එක මගේ යුතුකමක්. දැන් මම ඔහෙත් එක්ක ආවොත් කවුද ඒ දෙවල් කරන්නෙ. අනික ඔබ එනව නම් මට කලින් දැනුම් දීමක් කරල එන්ට. එතකොට මම ලෑස්තිවෙල ඉන්නම්’’ මාරයා දෙවැනි වතාවටත් යන්න ගියා.
කාලය ටිකෙන් ටික ගෙවිල ගියා. අර මනුස්සයත් වයසට ගියා. නමුත් ඔහු තමන්ගෙ වැරැුදි, අඩුපාඩු එකක්වත් හදාගෙන හො`ද කෙනෙක් වෙන්න හිතුවෙවත් නෑ. තව තවත් වැඩියෙන් වැරදි කළා. දැන් ඔහු හො`දටම වයසට ගිහිල්ල. මේ අතර ඔන්න මාරයා අපහු ආවා. ඇවිල්ල කලින් විදිහටම කථා කළා. එතකොට අර පවුකාරයා කියනව ‘‘මාරයො, ඔබ කරන වැඬේ හරිම අසාධාරණයිනෙ. ඔබ මට පොරොන්දු වුණා නේද කල් ඇතිව දැනුම්දීල එනව කියල. හැබැයි කිසිම දැනුම් දීමකින් තොරවයි ඔබ ආවෙ. ඒ නිසා මට එන්ට බෑ’’ කියල.
එතකොට මාරයා මෙහෙම කීවා. ‘‘උඹෙ කළුපාටට තිබුණු ලස්සන කෙස් ගස් එකින් එක සුදු වෙනකොට මම උඹට දැනුම් දුන්නා මම ළ`ග ළ`ගම එනවා යන්ට ලෑස්ති වෙයන් කියල. හො`දින් ශක්තිමත්ව සුදු පාටට තිබිච්ච උඹේ දත් ටික ටික හෙල්ලෙනකොට, එක එක ගැළවෙනකොට මම උඹට දැනුම් දුන්නා මම ළ`ග ළ`ගම එනව කියල. ඒත් උඹ කවදාවත් උඹෙ වැරදි හදාගෙන හො`ද මිනිහෙක් වෙන්ට උත්සහ කළේ නෑ. උඹෙ දීප්තිමත්ව තිබූ හම ටික ටික රැුලි වැටෙන කොට, නහර මතුවෙනකොට මම උඹට දැනුම් දුන්නා මම ළ`ග ළ`ගම එන බව. ඒත් උඹ උඹේ පවුවැඩ එකක්වත් නතර කළේ නෑ. උඹේ ඇස් පෙනීම ටික ටික දුර්වල වෙනකොට, කන් ඇහීම ටික ටික දුර්වල වෙනකොට මම දැනුම් දුන්නා මම ළ`ග ළ`ගම එන බව. ඒත් උඹ ලෑස්තිවුණේ නෑ. පරලොවට අරන් යන්න හො`ද දෙයක් උඹ කවදාවත් එකතු කළේ නෑ. දැන් වරෙන් පවුකාරයෝ මගෙත් එක්ක. උඹට හිමි එකම තැන අපායයි’’
හිතන තරම් දිග නෑ
ඇතැම් අය හිතනවා අපේ ජීවිතය හරිම දිගයි කියල. තවත් සමහර අය ජීවත්වෙන්නෙ ‘‘කිසිදවසක මම මැරෙන්නෙ නෑ’’ කියල හිතාගෙන. කෙනෙකුගෙ ජීවිත කාලය අවුරුදු අසූවක් කියල අපි හිතමු. ඒ අසූවෙන් හතළිහක් විතර ඔහු කරන්නෙ නිදාගන්න එකයි. ඒ වගේම ඉපදිල අවුරුදු ගණනක් ගතවෙනකම් ඔහුට ජීවිතය පිළිබ`ද වැටහීමක් නෑ. ජීවිතයට අරමුණක් නෑ. අසරණ යැපෙන්නෙකු විදිහටයි ඔහු දෙමාපියන් යටතේ ජීවත්වෙන්නෙ. ඒ වගේම බොහෝ වයෝවෘද්ධ වුණාට පස්සෙත් ඔහු ලෙඩ වෙලා, බොහෝ විට ඇෙ`ද්ම වැතිරිල වසර ගණනක් දුක්වි`දිනව. ඒ විතරක් නෙවෙයි ජීවිත්වන කාලය ඇතුළතත් විවිධ ලෙඩ දුක් කම් කටොළුවලට මුහුණ දෙමින් කායික, මානසික ශක්තිය පිරිහිලා යන අවස්ථා තියෙනවා. එතකොට හිතල බලන්න අපට හො`ද සිහිකල්පනාවෙන් යුතුව, සෞඛ්‍ය සම්පන්නව යමක් කරන්න තියෙන්නෙ කොච්චර සුළු කාලයක් ද කියල.
මෙහෙමත් හදල බලමු. අවුරුදු අසූවක් ජීවත් වෙනව කියන්නෙ දවස් 29200 (365×80* ජීවත්වෙනව කියන එකයි. ඒකෙන් භාගයක් නිදාගත්තහම ඉතිරිවෙන්නෙ දවස් 14600 (29200÷2*යි. ඒකෙනුත් බාල කාලයට, වයසට ගිහිල්ල අඩපණ වෙන කාලයට, ලෙඩදුක් කම් කටොළුවලට මුහුණදෙන්ට සිදුවන කාලයට අඩුම තරමින් අවුරුදු පහක් ගතවෙනව කියල හිතුවොත් එතනත් දවස් 1825 (365×5*ක් වෙනවා. එතකොට අපිට සිද්ධ වෙනව 14600න් තවත් දවස් 1825ක් අඩුකරන්න. එතකොට උත්තරය 12775යි. ඒ තමයි ජීවිත කාලය තුළ අපට නිරෝගිව වැඩ කරන්ට ලැබෙන කාලය. එච්චර හරි ලැබෙන්නෙ අවුරුදු අසූවක් ජීවත් වුණොත් විතරයි කියන එකත් අමතක කරන්න එපා. එතකොට පැහැදිලියි නේද අපෙ ජීවිත කාලය හිතන තරම් දිග නෑ කියල.
හිතන්න, හිතන්න, හිතන්න
දැන් මෙහෙම හිතන්න. මම මගේ මිනිස් දිවියේ වටිනාකම තේරුම් අරගෙන තියෙනවද? මට මේ මිනිස් දිවියත් එක්ක කොතරම් වරප‍්‍රසාද ලැබිල තියෙනවද? මම කොතරම් කාලය නිකරුණේ කා දමනවද? මම කවදාවත් මගේ අඩුපාඩු තේරුම් අරගෙන ඒව සකස් කරගන්න උත්සහ කරල තියෙනවද? මම ජීවත්වෙන්නෙ, එදිනෙදා වැඩ කටයුතු කරන්නෙ අරමුණක් ඇතිවද? ධර්මානුකූලව ජිවත්වෙනව කියන්නෙ අමාරු දෙයක්ද? මට හො`ද සිහිකල්පනාවෙන් යුතුව ජීවත්වෙන්ට ලැබිල තියෙන්නෙ කොච්චර සුළු කාලයක්ද? හිතන්න, හිතන්න, හිතන්න.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment