UC0GG2kdhy3J-tiQE5Pyrerg?sub_confirmation=1 Sipyaya: බුද්ධම පුරාණ රජමහා විහාරය

Tuesday, August 28, 2018

බුද්ධම පුරාණ රජමහා විහාරය



සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අම්පාර ගොවිදූපර 9 කණුව මාර්ගය කිලෝමීටර් නවයක් පමණ ආවිට බුද්ධමරජමහා විහාරය හමුවේ සුන්දර කඳු වැටියක් අසල පිහිටා තිබෙන මෙම විහාරස්ථානය ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ දක්වා ඉතිහාසයක් ඇත.

එමෙන්ම 883 සිට 896 කාල පරිච්ඡේදය තුළ උදය යන ප්‍රාදේශීය නායක විසින් මෙම විහාරස්ථානය කරන ලද බවට තොරතුරු ඇතුලත් වේ. එමෙන්ම පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේ මෙන්ම ශ්‍රි වික්‍රම රාජසිංහ කාලපරිච්ඡේදය යම් යම් අවස්ථාවලදී කරන ලද සංවර්ධන කටයුතු පිළිබඳව පැහැදිලි සාක්ෂි ඇත. වර්තමානයේ විහාරස්ථානයට ඇතුල්වන ස්ථානයේ මෑත භාගයේ ඉදි කරන ලද චෛත්‍යයක් දක්නට තිබෙන අතර එම චෛත්‍යය ද වසර 90ක් පමණ පැරණි වේ. මීට පෙර මෙම ස්ථානයේ විශාල චෛත්‍ය ක් තිබූ බවට පූරාවිද්‍යාත්මක සාධක තිබේ.විහාරය දෙසට පැමිණෙන විට අපිට දකින්නට ලැබෙන්නේ ක්‍රිස්තු පූර්ව දෙවන සියවසට අයත් ලෙන් ගුහාවකි.මෙහි මිහිඳුමාහිමියන් මෙ රටට පැමිණීමට පෙර භාවිතා කරන ලද බ්‍රාහ්මී අක්ෂර දක්නට ලැබේ.
එහි ලෙන් ලිපියෙහි මෙසේ සඳහන් කොට ඇත.
"ගමික වෙලූ ජිතය උපාසික දෙවය ලෙනෙ"
(ගම් සභික වේළු ගේ දියණිය වූ උපාසික දේවාගෙ ලෙන යනුවෙන් සඳහන් වේ.)
මෙහි ගල් ලෙන් බොහොමයක්ම දක්නට ලැබේ. වනාන්තරය ඇතුළේ ගල් ලෙන් බොහොමයක් තිබෙන බව නායක හිමියන් පවසන ලදී. විහාරස්ථානයේ අවට ගල් ලෙන් පහක් පමණ දක්නට තිබේ. විහාර ගේ ඇතුළේ තිබෙන චිත්‍ර මහනුවර යුගයට අයත් වේ. මෙම විහාරස්ථානයට පමණක් ආවේණික වූ විස්මිත ආකාරයෙන් නිර්මාණය කොට තිබෙන චිත්‍ර දක්නට ලැබේ.

මෙම විහාරස්ථානයේ විහාර ගෙ අගුල් දමා ලොක් කොට තිබේ. ඔබට නැරඹීමට අවශ්‍ය නම් නායක හිමියන් ගේ අවසරය ඇතිව නැරඹිය හැකිය අඟුල් දමා තිබෙන්නේ නිදන් හොරුන්ගෙන් ආරක්ෂා කරගැනීමට හා චිත්‍ර හා පිළිම නිදන් හොරුන්ගෙන් ආරක්ෂා කර ගැනීමටයි. නිදන් මංකොල්ල කරුවන් නිදන් හෑරීම සඳහා පිළිම විනාශ කොට තිබේ. මෙය අතිශයින් ඛේදජනක තත්වයකි. නමුත් වර්තමානය වන විට එය ප්‍රතිසංස්කරණය කොට තිබේ. නමුත් ඔවුන් විසින් කරන ලද හානිය සුළුපටු නොවේ. විහාරස්ථානයේ ඇතුළත නවීකරණය වී නොමැත 1800 එනම් මහනුවර යුගයේ දී ගොඩනගන ලද හා අඳින ලද චිත්‍ර අදටත් ඒ ආකාරයෙන්ම කිසිම ප්‍රතිසංස්කරණයකට ලක් නොවී පැවතීම සුවිශේෂත්වයකි. තවමත් මෙම ස්ථානයේ බිම සකසා තිබේ තිබෙන්නේ මැටි වෙලිනි. ප්‍රධාන බුදු පිළිමය මෙන්ම තවත් බුදුරුවක් සිංහ රූපයක් නිධන් හොරුන් විනාශ කොට තිබේ. රූප සටහන් දෙස බැලීමෙන් එහි පැරැණි බව ඔබට වටහාගත හැකිය.

තවත් වැදගත් දෙයක් තමයි මෙම විහාරස්ථානයේ දක්නට ලැබෙන වැලිපීල්ල මෙම වැලි පීල්ල අතීතයේ දී අකුරු ලිවීම සඳහා භාවිතා කොට තිබේ මෙය නිර්මාණය කොට තිබෙන්නේ මහනුවර යුගයේදීය. ශ්‍රී ලංකාවේ වැලිපිල්ල දක්නට ලැබෙන්නේ කලාතුරකිනි ඌව පළාතට තිබෙන්නේ එකම ඉතිරිව පවතින වැලිපිල්ල වන්නේ මෙයයි. මෙය අඩි 14 ක් දිග වන අතර උස අඩි දෙකක් වේ. පළලට අඩි දෙකහමාරක් පමණ තිබේ. මැටිවලින් නිර්මාණය කොට තිබෙන මෙය උඩට සුදු වැලි දමා තිබේ අතීතයේදී මෙම ස්ථානයේ පන්ති කාමරයක් ලෙස භාවිතා කොට ඇති බවට පැහැදිලි සාක්ෂි තිබේ.

ගල් ගුහා


බුදු දහම ඉගැන්වීමේ කේන්ද්‍ර ස්ථානයක් ලෙස මෙම විහාරස්ථානයේ පැවැති බවට සාධක තිබේ. මෙහි සමහරක් ගල්ගුහා විවිධ අධ්‍යයන කටයුතු සඳහා භාවිතා කොට ඇත. රිදී ලෙන යන ගුහාව අධ්‍යයන කේන්ද්‍ර ස්ථානයක් වූ බවට සාධක තිබේ.
වඩුගේ ලෙන යන ගුහා ගෘහ කර්මාන්ත සිල්පය ඉගැන් වූ බවට පැහැදිලි සාක්ෂි තිබේ. එසේම නුවර යුගයේදී 18 වන කැරැල්ලේදී මෙම විහාරස්ථානයේ වාසය කරන ලද හිමිවරුන් දහදෙනකු ඌව වෙල්ලස්ස කැරැල්ලේ දී මූලිකත්වය ගෙන කටයුතු කොට තිබේ. එසේම අතීතයේ දී මෙම විහාරස්ථානය ආයුර්වේද මධ්‍යස්ථානයක් ලෙස පැවත තිබේ.
මෙහි වැඩ වාසය කරන ලද එක්තරා හිමිනමක් මන්ත්‍ර බලයෙන් බොහෝ විස්කම් කොට තිබේ. ඒ බව ජනප්‍රවාදවල සහ දැනට වාසය කරන නාහිමියන් විසින් මා හට පවසන ලදී. මහ නුවර යුගයට අයත් චිත්‍ර සහ පිළිම අද වන විට විනාශ වෙමින් පවතී.කිසිදු රාජ්‍ය අනුග්‍රහයක් නොමැතිව ගම්වල ජනතාවගේ කැපවීම මත අතීතයේ මෙන්ම අදටත් ඔවුන් තම ශ්‍රමයෙන් කිසිදු රාජ්‍ය අනුග්‍රහයක් නොමැතිව මෙම අතීත වටිනාකමක් ඇති විහාරස්ථානය ඔවුන්ගේ පන නල මෙන් ආරක්ෂා කර ගනිති. ඉතින් ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ දී ඉදිකරන ලද මෙම විහාරස්ථානය නැරඹීම සඳහා ඔබත් පැමිණෙන්න ඒ වගේම මහනුවර යුගයේ දී අඳින ලද චිත්‍ර සහ පිළිම නැරඹීම සඳහා ඔබත් අවස්ථාවක් කරගන්න මෙම අවස්ථාව ඔබගේ ජීවිතයේ මානසික වශයෙන් තෘප්තියට පත්වන මහඟු අවස්ථාවක් වනු ඇත.




කෞශල්‍ය සදරුවන් දිසානායක
විශේෂ ස්තුතිය සරත් කුමාර මහතාට

වැඩි විස්තර සඳහා බලන්න

https://youtu.be/-JfpMPq0IE8

Sipyaya.blogspot.com

No comments: