Tuesday, December 10, 2013
යථාර්ථවාදී නවකතාවේ ආරම්භය
කලාව වනාහි, එකම වර්ගයක යථාර්ථවාදී විශේෂයකට සීමා නොකළ හැක්කකි. කාලීනව හා එම කාලයට ආවේණිකව පවතින, අනාගතය පිළිබඳ අර්බුදයන්ද අනුව යථාර්ථවාදී සම්ප‍්‍රදාය විධි වෙනස් විය හැකිය. එසේ වුවත් මුලූ මහත් කලා ක්‍ෂේත‍්‍රයේ හා විශේෂයෙන් යථාර්ථ රීතියෙහි විකාශනය හා වෙනස් වන ස්වභාවය සිදුවන්නේ නිශ්චිත රටාවකට අනුවය. කලාව කිසිවිටක එහි නිර්මාතෘන් වන මිනිසාගෙන් ඈත් නොවිය යුතුය. කලාකරුවාගේ විඤාණයට ග‍්‍රහණය වන සත්තාව සැම විටම කලාවේ අමුද්‍රව්‍ය වන අතර අනාගතයේදීද එය එසේ සිදුවතු ඇත. කලා කෘතියෙහි සටහන් වන්නේද මෙම භෞතික සත්තාවමය. ගව් ගණන් දුර පලාගිය අතිශයින් විඤාණවාදී වූ කලාකරුවෙකුගේ නිර්මාණයක වුවද භාවශූචක කෘතියක වුවද යථා ජීවිතය කිසියම් ආකාරයකින් පිළිඹිබු වන බව සැබෑය.
මේ යථා ජීවිතය නිරූපණය කරන විචාරවාදය ලෙස යථාර්ථවාදය සැලකේ. එහෙත් වර්තමාන නවකතාව යථාර්ථවාදය අභිබවා එයට වඩා ගැඹුරු යථාර්ථයක් ස්මතු කිරීමට සමත් වී ඇත. එවැනි පසුබිමක් තුළදී මෙවැනි නවකතා නිර්වචනයට අවැසි මත සම්බන්‍ධයෙන් විද්වතුන් අතර බොහෝ ගැටළු මතුවී ඇත. යථාර්ථවාදය තුළ ඉදිරිපත් වූ මත වර්තමාන නවකතාව නිර්වචනයෙහිලා ප‍්‍රාමාණිකත්‍වයෙන් දුරස් වන්නේ යථාර්ථවාදය තුළ වූ ලක්‍ෂණ වත්මන් නවකතාව කෙතෙක් දුරට ජය ගෙන ඇත්තේද යන වාතාවරණය මතය.
වර්තමාන නවකතාව අධ්‍යයනයෙදී යථාර්ථවාදයෙන් ඔබ්බට ගිය නිර්මාණ ප‍්‍රතිභාවකින් වත්මන් නවකතාකරුවා සමන්විත වන නිසාවෙන් යථාර්ථවාදය පමණක් පදනම් කරගත් මත වත්මන් නවකතාව විමසීමේදී ප‍්‍රාමාණික නොවේ. සත්‍යය හා කල්පිතය මුසුකරමින් ප‍්‍රබන්ධකරණයෙහි නියැලෙන රචකයෝ එයට විවිධ රචනෝපක‍්‍රම මුසුකරති. ඒ හරහා විවිධ උපාය මාර්ගිකව යථා ජීවිතය සංකේතවත් කරති. මේ ප‍්‍රබන්ධකරණය මයා යථාර්ථවාදය දක්වා වර්ධනය වී ඇත. එහෙයින් යථාර්ථවාදී නවකතාව හරහා වර්තමාන නවකතාව නිර්වචනය කිරීමේදී තෙක් දුරට ප‍්‍රාමාණික නොවේද යන්න සනාථ කිරීම මෙහි පරමාර්ථායයි.
යථාර්ථවාදී නවකතාව
යථාර්ථවාදී නවකතාවේ ආරම්භය සිදුවන්නේ එංගලන්තය ආදී රටවල දහඅටවන ශතවර්ෂයේ මුලදීය. එහෙත් යථාර්ථවාදී සංකල්පය පහළ වී ඇත්තේ ප‍්‍රංශයේය. ‘‘ඔනෝර් ඞී. බල්සාක් සිය ‘ද හියුමන් කොමඩි’ ‘මානව ප‍්‍රහසනය’ කෘතියට ලියූ පෙරවදනක කළ සටහනක් දහනව වැනි සියවසයේ යුරෝපීය යථාර්ථවාදයේ මූලික අදහස ප‍්‍රථම වරට ප‍්‍රකාශ වූ අවස්ථාවකැයි සැලකේ.’’ දහනව වන ශතවර්ෂයේ මුල් භාගයේදී චිත‍්‍ර කලාව මුල් කරගෙන පහළ වූ මෙම සංකල්පය සාහිත්‍යය ස`දහා විශේෂයෙන්ම නව කතාව ස`දහා සුදුසු බව පිළිගන්නා ලදී. එකල ප‍්‍රංශයේ පළකරන ලද ‘ඍෂ්ඛෂී්ඵ’ නම් ස`ගරාව යථාර්ථවාදය ප‍්‍රචලිත කිරීමට මූලික වී ඇත. එදා ෆ්ලොබෙයා, බල්සාක්, එමිල් සෝ්ලා ආදී ප‍්‍රංශ කලාකරුවෝ යථාර්ථවාදී ලේඛකයන් වශයෙන් සළකනු ලැබූහ. පසුව මෙම සංකල්පය ජර්මනිය, එංගලන්තය, රුසියාව ආදී රටවල පැතිර ගොස් ඇත. ‘‘යථාර්ථවාදයෙන් අදහස් කරන්නේ සත්‍ය (යථාර්ථය* වෙත සමීප සමානතාවක් දක්වන, විශ්වාසනීය ප‍්‍රතිනිර්මාණය, යථාර්ථවත් දෙයහි හෝ දර්ශනයෙහි ඉතාම නිවැරදි තොරතුරු ඉදිරිපත් කිරීම ආදියෙන් යුත් ප‍්‍රතිනිර්මාණ විධියකි. යථාර්ථය අනුකරණය සහ සත්‍යාභාසය, යන සංකල්පද යථාර්ථවාදී ප‍්‍රතිනිර්මාණ ක‍්‍රමය හා සමීපව සම්බන්‍ධය.’’
යථාර්ථවාදය සත්තාවාදය, යථාභූතවාදය යන නම්වලින්ද හඳුන්වනු ලබයි. යථාර්ථවාදයේදී චරිත හා සිදුවීම්වල විකාශනය සහේතුක බවක් දරයි. ක‍්‍රියාව හා ප‍්‍රතික‍්‍රියාව ආදී වශයෙන් සිදුවීම්, සංවාද සන්තතියක් ලෙස ගලා යයි. සිදුවීම්, චරිත කෙරේද, චරිත ස්වාභාවය, හැසිරීම්- සිදුවීම් කෙරේද බලපාන අයුරු අන්‍යෝන්‍ය ලෙස සහේතුකව, විශ්වාසනීයව ඉදිරිපත් කරයි. චරිත පැතලි බවින් තොර වටකුරු අතර කාලය හා අවකාශය සන්තතිකය. තත්වානුරූපී මායාවකට යටත්ව සහේතුකව ඉදිරිපත් කරන අතර මානසික ගැටුම්, ආත්මකථන සියල්ල ඊට යටත් කෙරේ. එමෙන්ම අඛ්‍යානය, දෘෂ්ටි කෝණ, ආදි සියලූ තාක්‍ෂණික උපක‍්‍රමද එසේමය. ‘‘සිය ප‍්‍රකාශනය එම සීමාවන් ඉක්මවා යෑමේදී සංකේත භාවිතය තුළින්ද අතිශයෝක්තියෙන් යුත් භාවාදී චරිත මගින්ද ඒ සපුරා ගත් නමුත් ඒවා යථාර්ථවාදයට කොටුවී පැවතිණි. යථාර්ථවාදී රාමුව බිඳ නූතන කතා කලාව දෙසට හෝ නැවත අද්භූතවාදය දෙසට යාමේ ප‍්‍රවණතාවක් ඒවා තුළ දක්නට විය. යථාර්ථවාදයේ කථනක‍්‍රමවල විශ්වසනීයත්‍වයේ ව්‍යාජ බව හා සහේතුක බව තුළින් අයදතන මිනිසාගේ අධ්‍යාත්මය ජීවිතය හසු කොට ගැනීමේ සීමාකාරී බව පිළිබඳව නිර්මාණකරුවන් තුළ වු නොසෑහීම නූතන සාහිත්‍යය කරා ඔවුන් තල්ලූ කළේය. යථාර්ථවාදය ධනේෂ්වර කාර්මික විප්ලවය සමග ඵැන නැගුණු හේතුඵලවාදය අනුදත් මධ්‍යම පාංතික බුද්ධිමය ස්ථරවල නිෂ්පාදනයක් විණි.’’
යථාර්ථවාදී ලේඛකයාගේ කාර්යභාරය වන්නේ ලෝක ස්වභාවය හා මිනිස් ජීවිතය පිළිබඳව ලේඛකයා විසින් තම අවබෝධය අනුව සකස් කරගනු ලබන සත්‍යය හා අර්ථය තොරාගත් සිද්ධි අවස්ථා හා චරිත මගින් ඉදිරිපත් කිරීමයි. එවන් වූ යථාර්ථවාදී සම්ප‍්‍රදායේ අවස්ථා හතරක් ඇති බව විචාරක මතයයි. ඒවා නම්,
ප‍්‍රගතශීලී යථාර්ථවාදය
විචිකිච්ඡුා යථාර්ථවාදය
සර්වසුබවාදී යථාර්ථවාදය
සාමාජීය යථාර්ථවාදය
යන අවස්ථාවන්ය. මෙයින් එක් එක් අවස්ථාවක් අනිකෙකට වෙනස් වත අතර මුල් අවස්ථා තුනටම වඩා ප‍්‍රධාන වෙනසක් හතරවන අවස්ථාවෙහි ඇත. එසේම යථාර්ථවාදයේ ස්වරූපය හා ක‍්‍රියාකාරීත්‍වය පෙන්වනු වස් ‘පැම් මොරිස් ’ ලේඛිකාව ‘ස්ටෙන්ඩාල්, බල්සාක්, ෆ්ලෝබයා, සෝලා ආදි නවකතා ඇසුරෙන් යථාර්ථවාදයේ අංග හතරක් හඳුනා ගැනී.
‘‘01 විශ්වීය සත්‍යයන් වෙනුවට සුවිශේෂී න්‍යායන් දෙස අවධානය යොමු කිරීම මගින් ඒක පුද්ගල චරිතයන් ඔවුන්ගේ යුගයට අයත් බලවේගයන් සහ ප‍්‍රතිවිරෝධාවන් ක‍්‍රියාත්මක වන ස්ථානයන් ලෙස තේරුම් ගැනීම.
02 ආඛ්‍යාන දෘෂ්ටිකෝණය සහ භාෂාව විෂයෙහි කරනු ලබන ආකෘතිකමය අත්හදා බැලීම.
03 වඩා ප‍්‍රජාතාන්තී‍්‍රය හා සමාජ සදාරණයෙන් යුතු සමාජයක් කරා යන ගමනෙහි කොටස් කරුවෙකු ලෙස නව කතාව සැලකීම.
04 යථාර්ථවාදී නවකතාව කලාකරුවාගේ අවංකභාවය සහ වෙළඳපොළෙහි වාණිජ බලවේග අතර ආතතියට හසුවන සහ එමගින් හැඩ ගැසෙන සාහිත්‍යාංගයක් වීම.’’
යථාර්ථවාදී සංකල්පයේ අරමුණු හා අන්තර්ගතය කෙසේ විද යන්න තදුක්ත මත විමසිමේදී අවබෝධ කොට ගත හැකිය. යථාර්ථවාදී සංකල්පය සකස්වීම කෙරෙහි චාල්ස් ඩාවින්, ක්ලොඞ් බර්නාඞ් ආදී චින්තකයන්ගේ මත බලපා ඇත. සැබෑ ජීවිතයට සමීප වන පරිදි සිදිධි, චරිත, බස්වහර ආදිය සකස් කිරීම ඉහත ලේඛකයන්ගේ නවකතාවන්හි ඇති විශේෂ ලක්‍ෂණයයි. යථාර්ථවාදය මුල්බැස ගැනිමෙන් පසු සැබෑ ජීවිතයට අනුකූලතා දැක්වීමේ අවශ්‍යතාව කෙරෙහි ඇතැම් ලේඛකයෝ පමණ ඉක්මවා අවධානය යොමු කරන්නට විය. ‘එමිල් සෝලා’ නම් නවකතාකරුවා මෙහිලා මුල් තැන ගත් බව පෙනේ. මිනිසාගේ ජීවන තතු තත්ත්‍වාකාරයෙන් සත්‍ය වාර්තාවල ස්වරූපයෙන්ම ඉදිරිපත් කිරීමට මෙම ලේඛකයන් කෙතරම් පෙළඹුණේද යත්, සදාචාරාත්මක සම්මුති පවා ඔවුනට අමතක වන තත්ත්‍වයක් ඇතිවූයේය. මේ කෘති යථාර්ථවාදයේ අතිශයෝක්තියක් ලෙසින් ඇතැම් ලේඛකයන් විසින් හඳුන්වනු ලබයි. එයම යථාර්ථවාදය අතික‍්‍රමණය කිරීමට යම් සාධකයක් වූ බවට සාක්‍ෂියකි.
‘‘බල්සාක් සටැන්ඩල් ආදි සාම්ප‍්‍රදායික යථාර්ථවාදීන්ගේ කෘති එක්තරා විධියක අද්භූත ස්වභාවයක් දරන බවත් නවකතා නිර්මාණයේදී වඩා සුදුසු වන්නේ ජීවිතය තත්ත්‍වාකාරයෙන් ම විස්තර කිරීමේ ස්වභාවවාදී හෙවත් තාත්වික සම්ප‍්‍රදාය බවත් එමිල් සෝලාගේ අදහස වුයේය. සාමාන්‍ය මිනිස් ජීවිතවල එදිනෙදා සිදුවීම් සියල්ල ඒ සැටියෙන්ම විස්තර කිරීම ඔහුගේ මාර්ගයයි. ’’
චාල්ස් ඩිකන්ස්, තෝමස්, මාන්, බල්සාක්, ස්ටැන්ඩල්, ලියෝ තෝස්තෝයි, ඇන්ටන් චෙකොෆ්, අනස්ට් හෙම්ංවේ ආදී සම්භාව්‍ය ලේඛකයන් ස්වකීය නිර්මාණ අර්ථවත් කිරීම මහගු වගකීමක් සේ සැලකීය. තෝරාගත් සිද්ධි, අවස්ථා ආදිය ආශ‍්‍රයෙන් යථාර්ථවාදී ලේඛකයන් විසින් නිර්මිත චරිත තාත්විකවාදීන් අගය කරන එදිනෙදා ජිවිතයේ සාමාන්‍ය චරිතවලට වඩා පොදු හෙවත් සමාජ සාධාරණ චරිතවල ස්වරූපය ගත්තේය. ඒවා යථා තත්ත්‍වය නොව යථා අර්ථය ස්මතු කරන ලදී. යථාර්ථවාදය ව්‍යූහමය ලෙස ගත්විට සීමා සහිතය. සරල රේඛීයය. ජීවිතය පිළිබඳ සියුම් බහුවිධ, බහුමානීය, බහුශාබ්දික අර්ථ ජනනයට යථාර්ථයේ පවතින ඉඩකඩ අඩුය. තර්කයට හසු නොවන බොහෝ දේවල් යථාර්ථ ලෝකයේ බවතී. එම තර්කයට හසු නොවීම තුළම ආශ්චර්ය ඇතිවේ. එය කරුණු දෙකක් මත ඇති වේ.
01 පාඨකයා අශ්චර්යාත්මක සිදුවීම් පිළිබඳ දෙගිඩියාවක නැත්නම් දෙගිඩියා ගණනාවක මුහුණ දිමට නිසාය.
02 එය අදහා ගැනීමට පාඨකයාගේ තර්කය අසමත් වීම නිසාය.
එසේම පශ්චාත් යථාර්ථවාදී නවකතාකරුවා නිර්මාණයක් තුළින් මායාවක් නිපදවා එය මායාවක් නොවන බව පාඨකයාට ඒත්තු ගැන්වීමක් කරයි. ‘‘මිත්‍යා කතාව, සුරංගනා කතාව, දේව කතාවට සාපේක්‍ෂව යථාර්ථවාදී නවකතාවේ බාහිර පෙනුම, බාහිර ලෝකයේ යථාර්ථය හා සමාන බව පෙනුණත්, යථාර්ථවාදය කරන්නේ මිත්‍යා කතාවේ තරමටම තමන්ගේම ප‍්‍රබන්ධමය ලෝකය ගොඩනගා ගැනීමක් බව පෙනේ.’’ එමෙන්ම පවතින සමාජය විවේචනය කරමින් එහි දොස් තැන් අනාවරණය කරමින් අර්ථවත්, හරවත් වින්දනයක් පාඨකයාට ලබාදීම යථාර්ථවාදී සම්ප‍්‍රදායේ ලේඛකයෝ උත්සුක වෙති. මිනිසාත් සමාජයත් ගැඹුරින් අවබෝධ කරගන්නා මොවුන් සමාජයේම දෙපා රඳවාගෙන මිනිසාගේ සාමාජීය කි‍්‍රයා කාරීත්‍වය සත්‍ය ලෙස නිරූපණය කරන අතරම ඒ තුළින් මිනිසාට අර්ථවත් අනාගතයක් සැලසීම පිළිබඳවද ඉ`ගි කිරීම සිදු කරයි. ‘හෙන්රි ජේන්ස් ’ පවසන්නේ යථාර්ථය පිළිබඳ සංජානනයෙන් තොරව හොඳ නවකතාවක් ලිවිය නොහැකි බවය. ‘සත්‍යයක් සේ පෙනෙන කල්පිතයක් ’ ඉදිරිපත් කරන ව්‍යාජයෙන් මිනිසාගේ ඇතුළතත් පිටතත් සියලූ දේ ඒ ඇති සැටියෙන් වාර්තා නොකර යථාර්ථවාදී නවකතාව සමාජයේ යථා තත්ත්‍වයට වඩා සමාජය පිළිබඳ යථා අර්ථය ඉදිරිපත් කරයි. නවකතාව සත්‍යයක් සේ පෙනෙන කල්පිතයකි යන නිරිවචනය යථාර්ථවාදී ලේඛකයා ප‍්‍රතික්‍ෂේප නොකරන අතරම එයින් ඔවුන් සෑහීමකට පත්නොවේ.
යථාර්ථවාදී නවකතාව සම්බන්‍ධයෙන් ඉදිරිපත්ව ඇති මත
‘‘යථාර්ථවාදය යනු සංවර්ධන ප‍්‍රවාහයක් වූ ඉතිහාසයේ එක් ප‍්‍රපංචයකි. සංකල්පරූපී ස්වරූපයෙන් කලාත්මකව ග‍්‍රහණය කොට පිළිඹිබු කොටගත් සත්තාවයි. එහි කලාත්මක ආකෘතීන්ද, අර්ථයද පුරුෂාර්ථයද සත්‍ය ජීවිතයෙන් උකහා ගත් බවයි.’’ (ජදබජැචඑ දෙ එයැ ්රඑසිඑසජ පැඑයදාග ක්‍ය්ච 1-ිදඩසැඑ-ඛසඑැර්එමරු පැඑයදාල ිඑකහ ්බා චදැඑසජැ – පදිජදඅ- 1964*
‘‘ ‘නවකතාව වූ කලි අව්‍යාජ ජීවිතයේ සහ ගති සිරිත් වලත් එය රචනා කරනු ලබන කාලය පිළිබඳවත් චිත‍්‍රයකි. අද්භූත කතාව වූ කලි කවර දාකවත් සිදු නොවූ, එමෙන්ම සිදුවිය ද නොහැකි දෙයක් අදාර අන්දමින්, අතිශයෝක්තියෙන් කියනු ලබන්නකි.’
ක්ලේරා රීච්
‘නවකතාව යථාර්ථවාදීය. අද්භූත කථාව රසාලිප්තය, නැතහොත් වීර චරිතාත්මමකය.’
ඔස්ටින් වොරන්
’ මානව ජීවිතය විවරණය කෙරෙන ගද්‍යමය කල්පිත අඛ්‍යානය’
බේකර් ’’
‘‘ ‘නවකතාව වනාහි ජීවිතය පිළිබඳ පෞද්ගතික වූද, පැහැදිලි වූද ප‍්‍රතිස්ථියකි.’
හෙන්රි ජේමිස්
‘ නවකතාව යථාර්ථය නිරූපණය කරන අකාරය උසාවියකදී ජූරි සභාවක් ඉදිරියේ සාක්‍ෂි දීමට සමානකම් දක්වයි.’
ඉයන් වෝට්
‘ යථාර්ථයෙන් අදහස් කෙරෙනුයේ ඒ ඒ විස්තරවල ඇති සත්‍යයට අමතරව, පොදු (සමාජ සාධාරණ* හේතු මත ක‍්‍රියාත්මක පොදු චරිත ප‍්‍රත්‍යුත්පාදනය පිළිබඳ සත්‍ය ඉදිරිපත් කිරීමය.’ ’’
ජෝජ් ලූකාස්
‘‘ මිනිසා පිළිබඳ සියලූ දේ අඩු වැඩි නොකර වාර්තා කිරීම ස්වභාවවාදී ලේඛකයාගේ මාර්ගයයි. සමාජ විවරණයෙහි යෙදෙන යථාර්ථවාදී ලේඛකයාගේ කාර්යය සියල්ල අඩු වැඩි නැතිව වාර්තා කිරීම නොව තමන් විසින් පසක් කරගනු ලබන සමාජ තතු හෙවත් සමාජ සත්‍ය ඉදිරිපත් කිරීමය. සැබවින්ම ලේඛකයා අතින් සිදු වනුයේ සමාජ වාර්තා සම්පාදනය නොවේ. සමාජ ප‍්‍රවෘත්ති හෝ සත්‍ය හෝ පිළිබඳව ස්වකීය ප‍්‍රතික‍්‍රියා ගෙන හැර පෑමක් පමණය. අවස්ථා, සිද්ධ්, චරිත ලක්‍ෂණ ආදිය තොරා ගැනීමේ මාර්ගය අනුගමනය කෙරෙනුයේ එහෙයිනි.’’
ගීද මෝපසාං
‘‘යථාර්ථවාදී ප‍්‍රබන්ධ කතාව පවා ප‍්‍රබන්ධයකි.’’
ජොර්ජ් ලෙවින්
‘‘යථාර්ථවාදය යනු රචකයෙකු තමන් ජීවත් වන යුගය සමීපව, සාවධානව, බුද්ධිමත්ව නිරීක්‍ෂණය කොට, මිනිසාගේ සාමාජීය අංශය මෙන්ම ඔහුගේ භාවමය අංශය පිළිබඳව සම්පූර්ණ සත්‍ය අඩංගු වන සේ සත්‍ය හා සෞන්දර්ය කැටකොට කරන ප‍්‍රතිනිර්මාණයකි.’’
ඩුරන්ටි
‘‘ නවකතා සාහිත්‍යයේ ව්‍යාජයෙන් දැක්වෙන කරුණු අසත්‍ය යැයි කිව හැකි නුමුදු බොහෝ විට ඒවා අසත්‍ය රූපයෙන් පෙනී සිටින සත්‍යයයිද කිව හැකිවේ. නවකතා කතාකරුවා සිදු වූ දේ ගැන හා සිදු නොවූ දේ ගැන, එකට කලවම් කොට සියල්ල ස්දු වූ බවක් සේ කියයි. ඔහුගේ කෘතිය සත්‍යයේ හා අසත්‍යයේ අපූරු සංකලනයකි. හැම නවකතාවකම සත්‍යයක් ගැබ් වී නැත්නම් එහි වටිනාකමක් නැත්තේය. එය සම්පූර්ණයෙන්ම සත්‍ය ප‍්‍රවෘත්තියක් නම්, නවකතාවක් නොවන්නේය.’’
එදිරිවීර සරච්චන්ද්‍ර
වර්තමාන නවකතාව නිර්වචනය කිරීමෙහිලා යථාර්ථවාදය ප‍්‍රාමාණික නොවන අයුරු
‘‘ වසර සිියයක හුදෙකලාව ලිවීමේදී තිබූ ප‍්‍රධාන අභියෝගය ෆැන්ටසිය සහ යථාර්ථය අතර මායිම් වැට මකා දමන ශෛලියක් සොයා ලැනීම යැයි ගාර්සියා මාර්කේස් පසුකලෙක කීය. ‘ මොකද මං උපදවන්න හදපු ලෝකේ එහෙම සීමා වැටක් පැවතියේ නෑ’ ’’ යථාර්ථවාදී නවකතාව සම්බන්‍ධයෙන් ඉදිරිපත්ව ඇති බොහෝ මත සීමිත වපසරියක් ග‍්‍රහණය කර ගන්නා ඒවා වේ. එහෙත් වර්තමාන නවකතාව යථාර්ථවාදයෙහි විෂය ක්‍ෂේත‍්‍රය අතික‍්‍රමණය වීමට සමත් වී ඇත. එවැනි තත්ත්‍වයක් තුළදී එකී මත වර්තමාන නවකතාව මනාව නිර්වචනය කිරීමෙහිලා අපොහොසත් වන බව පෙනේ. බොහෝ විචාරකයන් වර්තමාන නවකතාව දකින්නේ යථාර්ථවාදයෙන් ඔබ්බට ගිය මායා යථාර්ථවාදී හෝ අධියථාර්ථවාදී තත්ත්‍වයන් ස්මතු කරන නවකතා වශයෙන් එහෙත් එවන් නවකතා තුළින්ද යථාර්ථවාදී ගුණයම ස්මතු වන බව මනාව පිරික්සීමේදී පෙනේ. එහෙත් මෙකි ලක්‍ෂණ ස්මතු කරන නවකතා සම්බන්‍ධයෙන් යථාර්ථවාදී නවකතාකරුවන් දක්වන මත සර්වසාධාරණ නිර්වචනයක් උදෙසා ප‍්‍රමාණවත් නොවන බව සාහිත්‍ය ක්‍ෂේත‍්‍රයේ බොහෝ නවකතා ආශ‍්‍රයෙන් අපට පසක් කරගත හැකිය.
නවකතාව සත්‍යයේ සහ කල්පිතයේ සම්මිශ‍්‍රණයක් බව සැබෑය. එවැනි විටෙකදී කල්පිතය මායාවක් විය හැක. මේ මායාව ඔස්සේ යථාර්ථය නිරූපණය විය හැක. යථාර්ථය ස්මතු කරන නවකතා මායා යථාර්ථවාදී නවකතා තුළත් අධියථාර්ථවාදී නවකතා තුළදීත් අපිට හමුවිය හැක. එහෙත් බොහෝ දෙනෙකු මායා යථාර්ථවාදය යන්න විරෝධෝක්තියක් ලෙස සලකයි. එමෙන්ම යමක් මායානුකූල නම් එහි යථාර්ථයක් ඇත්තේ කෙසේද යනුවෙන් ප‍්‍රශ්න කරයි. එහෙත් මෙම සංකල්පය ගැඹුරු ලෙස විග‍්‍රහ කළ යුත්තකි. මායා යථාර්ථවාදීන්ගේ අරමුණ භව්‍යත්වය හා අභව්‍යත්වය, විශ්වසනීයත්වය හා අවිශ්වසනීයත්වය අතර නව සම්බන්ධයක් ඇති කරමින් යථාර්ථවාදයේ විෂය ක්‍ෂේත‍්‍රය පුළුල් කිරීමය. ඔවුන්ට අනුව මායා යථාර්ථවාදය යනු යථාර්ථයෙන් පැනයාමක් නොවේ. යථාර්ථය තුළට තව තවත් කිදා බැසීමකි. යථාර්ථවාදයට හසුවන්නේ ජීවන සත්තාවෙහි ඒක දේශයක් පමණි. එහෙත් එහි විවිධාංග වටහාගැනීමට මායා යථාර්ථවාදය ඉවහල් වී ඇත. මෙවැනි නවකතා තුළින් මතුවන මායාව ඇතැම්විට සංකේතයක්, රූපයක්වීම හරහා ප‍්‍රබල යථාර්ථයක් ඉස්මතුකර දැක්විය හැක. එහෙයින්ම මෙම නවකතා රූපකාත්මක යථාර්ථවාදී නවකතා වශයෙන්ද හ`දුන්වා ඇත.
ඔස්ටින් වොරන්ට අනූව නවකතාව යථාර්ථවාදීය. රසාලිප්ත හා වීර චරිතාත්මක වන්නේ අද්භූත කතාය. එහෙත් අද්භූත කතාවද යථාර්ථවාදය නිරූපණය කළ හැක. වීර චරිතාත්මක හෝ රසාලිප්ත වූ පමණින්ම එය යථාර්ථවාදී නොවන බවට තර්ක කිරීම අසාර්ථකය. ලෝක සාහිත්‍ය ක්‍ෂේත‍්‍රය තුළදී අපට හමුවන බොහෝ අද්භූතාත්මක නැතහොත් මායාත්මක නවකතා හරහා යථාර්ථය නිරූපණය කර ඇත. ‘‘ගුන්ටර් ග‍්‍රාස්ගේ ද ෆ්ලවුන්ඩර්’ නමැති නවකතාවෙන් පාෂාණ යුගයෙහි කතා කරන මත්ස්‍යයකු පිළිබ`ද අත්දැකීමක් නිරූපිතය. ඔහුගේම ‘ට්න් ඩ‍්‍රම්’ යන නවකතාවෙහි නායකයා වැඩිවිය පත්වීමට අකමැති සදාකාලිකව බාලකයෙකු වශයෙන් ජීවත් වන දරුවෙක්ය. ටෝනි මොරිසන්ගේ ‘බිලවඞ්’ යනුවෙන් නම් කොට ඇති ප‍්‍රබන්ධ කතාවෙහි මවක විසින් මරණයට පත් කරන ලද දරුවෙක් අවතාරයක් වශයෙන් මනු ලොවට පැමිණෙයි. ගාර්සියා මාකේස් විසින් රචිත නවකතාවක භූතයන් හා පියාසර කරන බුමුතුරුණු ඇත. ඇන්ජලා කාටර්ගේ ‘නයිට් ඇට්ද සර්කස්’ යන නව කතාවෙහි කතා නායිකාව අඩක් ගැහැණියකි. අඩක් හංසයෙකි.’’ මෙම මායා යථාර්ථවාදී නවකතා තුළින් ගොඩන`ගන්නේ අද්භූත, ආශ්චර්යාත්මක ලෝකයකි. එහෙත් ඒවායෙහි විශේෂත්වය නම් හැමවිටම සමකාලීන ඉතිහාසය ගැඹුරු ලෙස විශ්ලේෂණය කර තිබීමය.
මේ රටේ ඉන්‍ද්‍රජාලික ව්‍යාපාරය ම`ගින් එහි ප‍්‍රධාන විදේශ ආදර්ශ රූපය සහ ආදිකර්තෘ ලෙස පෙන්වා දෙන්නේ ගාර්සියා මාර්කේස්ය. එනමුත් ‘‘ මාකේස්ගේ හුදෙකලාවේ සියවසරක් කෘතිය යථාර්ථවාදය අහෝසි කර දමන්නක් නොව ඊට ප‍්‍රබල ශක්තියක් හා අනුබලයක් ලබාදෙන කෘතියකි. බටහිර විචාරකයන් මාකේසියානු ඉන්ද්‍රජාලිකත්‍වය කලාත්මක උපක‍්‍රමයක් ලෙසත්, අධියථාර්ථවාදී චිත‍්‍රකලාව ඇසුරෙන් අර්ථ උද්දිපනයක් කරන්නක් ලෙසත් තේරුම් ගෙන ඇත.’’ යථාර්ථවාදී නවකතාව සම්බන්‍ධයෙන් ඉදිරිපත් කරන මත මෙම නවකතාව මායා යථාර්ථවාදී වුවද එහි එන යථාර්ථය විග‍්‍රහ කිරීමෙහි කිසිසේත් ප‍්‍රමාණික නොවන බව එය විශ්ලේෂණයේදී මනාව පෙනේ.
‘‘ මාකේස්ගේ නවකතාව දිගහැරෙන්නේ වංශකතාවක ස්වරුපයෙනි. ආදි පියෙකුගේ හා ආදි මවකගේ සිට අවුරුදු සියයක ඇවෑමෙනුදු කෙළවර නොදකින දෙවැනි තුන්වෙනි දරු මුණුබුරු පරම්පරා දක්වා විහිදෙන කුටුම්බගත වංශයක නොනිමි කතාන්දරය රාජාවලියක් ලෙස එහි දිග හැරේ. එය විපර්යාසයන්ට මුහුණ දෙන රටක හා ජාතියක ඉතිහාසයකි. එය හුදෙකලාවේ සියවසරක් වන්නේ විද්‍යාවේ නැගීමේ හා කාර්මික විප්ලවයේ සිට බටහිර ලෝකයේ අත්දුටු සීඝ‍්‍ර ප‍්‍රගමණයෙන් හුදෙකලා වූ රටක පසුගාමී ඉතිහාසයක් වන බැවිණි.’’
මෙම ජන වංශයේ සංකීර්ණ කතා පුවත නවකතාවේදී චිත‍්‍රණය වී ඇත්තේ මහා පවුලක පුද්ගලික ඉතිහාසයක් ලෙසය ගොත‍්‍ර ඉතිහාසය තුළ සත්‍යයක් වන ලිංගික ව්‍යාභිචාරය ඒ පවුල තුළද සිදුවේ. කුටුම්බ පේ‍්‍රමය ලිංගික මුහුණුවරක් අත්කර ගන්නා විට උපදින දරුවන් සත්ව වර්ග ඇතිව උපදින්නේ හුදෙකලාවේ කොන්දේසි නිර්මාණය කළ බටහිර මිනිසාට සරදම් කරණ අයුරිනි. මේ සියල්ල සිදු වන්නේ මැකොන්ඩෝව නමැති කාල්පනික දේශයකය. ඇමේසන් වනාන්තරය හා ඇමේසන් ගංගාව සහිත ඒ දේශය මගින් කොලොම්බියාව වැනිසියුලාව, ඉක්වදෝර්, පීරු, බොලීවියාව, චිලී ආදී දකුණු ඇමෙරිකානු දිළිදු ජාතීන් සංකේතවත් කරනු ලැබේ. කාලෝස් ෆුවන්ටේ විසින් මේ නවකතාව ගැන ලියන ලද සිය ප‍්‍රකට ලිපිය ගාර්සියා මාර්කේස් සහ දකුණු ඇමෙරිකාව බිහි කිරීම (ෂබඩැබඑසදබ දෙ ්පැරසජ්* යනුවෙන් නම් කර ඇති අතර එහිදී ඔහු මෙසේ සඳහන් කරයි. ‘‘ අපගේ අනන්‍යතාව පිළිබඳ සොම්නස දනවන ප‍්‍රතිනිර්මාණයක් හා ප‍්‍රතිගවේෂණයක් මෙහි ඇති අතර එක ඇසිල්ලක අවසරයෙන් මැකොන්ඩෝවේ වංශ පරම්පරාවේ ඉදිරිපත් කරනු ලබන්නේ අපේ ආච්චි අම්මලා, අපේ පේ‍්‍රමවන්තියන්, අපේ සහෝදරියන්, අපේ දරුවන් බලා කියා ගන්නා ආයාවරුන් සහිත ලතින් අමෙරිකානු අප පිළිබඳ සිතුවමකි.’’
මෙම නවකතාව ඇරඹෙන්නේ එක් නිමේෂයක් මෙන්ම සදාකාලිකත්‍වයද සම්මිශ‍්‍රණය වු සංකීර්ණ කාල සාධකය මෙන්ම දේශපාලන ඉතිහාසය සහ බුද්ධි ඉතිහාසය කැටිකර ගත් හුදෙකලා දේශයක් පිළිබඳ මහා වංශකතාවක් පටන්ගන්නා වෘතාන්තවාදී වගන්ති මාලාවෙනි. මාකේස්ගේ මෙම වෘතාන්තයෙහි ගැඹුරු සමාජ දේශපාලන අරමුණු සමන්විතය. ඒ විශිෂ්ට මාර්කේසියානු කලාත්මක ප‍්‍රවිශ්ඨය නොතේරෙන්නට මෙය අද්භූත මැජික් ලොවකට අවතීර්ණ වීමක් ලෙස දිස්වේ.
එසේම මාර්කේසියානු යථාර්ථය තේරුම් ගැනීමට හොදම මාර්ගය වන්නේ නවකතාවේ මුල සිට නිර්මාණය වන සංඥාවන්ගේ හ`ගවනයන් හා හැ`ගවුම් තේරුම් ගැනීමයි. විවිධාකාර ආම්පන්න හා නිපැයුම් රැුගෙන ගමට එන අහිගුණ්ඨිකයෝ ඒවා මැකොන්ඩෝවේ වැසියනට පෙන්නා සුළු මුදලක් උපයා ගනිති. මේ ආම්පන්න නිපැයුම්වලට අයිස්, කාන්දම්, ලෝහ, පියාඹන පලස් ආදිරසායන හෙවත් ඇල්කම් පිළිබඳ පාඩම් ඇතුළත් වන අතර ඒවා මැජික් ලෝකය පිළිබඳ සංකේත ගෙන හැර පායි. මෙසේ යථාර්ථවාදී මත හරහා ප‍්‍රමාණවත් නිර්වචන කළ නොහැකි නවකතා බොහෝ විට යථාර්ථ නිරූපණය කරන්නේ සංකේත අනුසාරයෙනි. නවකතාව සත්‍යයත් කල්පිතයත් මිශ‍්‍රව නිර්මාණය වන කල්හි නිසැකයෙන්ම මායාවක ස්වරුපයක් ගනී. තවදුරටත් ලෝක ප‍්‍රසිද්ධ නවකතා අර්ථකථනයේදී අප සාකච්ඡුා කරන ප‍්‍රස්තුථය සනාථ වන බව එනම් යථාර්ථවාදය ප‍්‍රාමාණික නොවන අයුරු සනාථ වන්නේ මෙසේය.
‘‘ සියස්වසක හුදෙකලාව නවකතාවේ ‘ලස්සන රෙමිඩියෝස් ’ හිටි හැටියේ මහ දවාලේ ඉගිලී යයි.’’
‘‘පෘතුගිසි ජාතික නොබෙල් ත්‍යාගලාභී ලේඛක හෝසේ සරමාගොගේ ‘අන්ධභාවය’ නවකතාවේ එක් චරිතයක් එක්තරා නගර වීදියක මෝටර් රථයක් ධාවනය කරමින් සිටියදී හිටිවනම අන්ධභාවයට පත්වේ. මුළු නගරයටම අන්ධකාරය බෝ වෙයි. ’’
‘‘ ගුන්තර් ග‍්‍රාස්ගේ ‘තහඩු බෙරය’ නවකතාවේ වීරයා වන ඔස්කාට සිය දෑසින් බලා, යටිගිරියෙන් කෑ ගසා වීදුරු, විදුලි බුබුළු ආදිය පුපුරුවා හැරීමට පුළුවන.’’
‘‘ සල්මාන් රූෂ්ඩිගේ ‘රූ මැදියමේ දරුවෝ’ නවකතාවේදී ‘මැජික්මය’ අවස්ථා නිතර හමුවේ. නවකතාවේ වීරයා (හෝ පුංචි ප‍්‍රතිවීරයා* සලීම් සිනායිගේ කිරි අම්මාට ඇගේ දියණියගේ සිනහවලට හොරෙන් එබීබැලිය හැකිය’’
‘‘ඉසබෙල් අය්යන්දේගේ ‘භූත ගෙදර’ නවකතාවේ මව් වන ක්ලේරාට අනාගත සිද්ධි පෙර දකින්නට පුළුවන’’
මෙම නවකතාවල නිදර්ශන මගින් නවකතාකරුවා යථාර්ථවාදයේ ඥානමීමංසාත්මක සීමා ඉක්මවා යන බව පසක් වේ. එය ආශ්චර්යාත්මක යථාර්ථවාදී නවකතාවලින් සුපැහැදිලිව අවබෝධ කරගත හැකි. ‘‘ මායා යථාර්ථවාදීන් යැයි අප රට ප‍්‍රචලිත කෘති මිනිස් ලෝකය හා සමීප ලෙස සම්බන්‍ධය. නූතන මිනිස් සමාජයෙහි ඇති ආර්ථික සාමාජීය ගැටළු, දේශපාලන අරගල මෙමගින් නිරූපණය කරයි.’’
මේ අනුව යථාර්ථවාදය ඉක්මවා ගිය නවකතා තුළින් මතුපිට දක්නට ලැබෙන මන:කල්පිත ස්වරූපය යටින් ගැඹුරු සමාජ සත්තාවන් හා ඓතිහාසික සිද්ධීන් විවරණය වේ. යථා අර්ථය විවරණය වන යථාර්ථවාදී නවකතාව නිර්වචනයෙහිලා කිසිසේත් ප‍්‍රමාණවත් නොවන බව බව ඉතා පැහැදිලි කරුණකි. ඒ යථාර්ථයෙන් ඔබ්බට වූ රසාලිප්ත වූ මායා යථාර්ථවාදී අද්භූතාත්මක නවකතාවන් ප‍්‍රකට වන නිසාවෙනි.
සමාලෝචනය
යථාර්ථවාදයෙන් ඔබ්බට ගිය වර්තමාන නවකතාව නිර්වචනය කිරීමෙහිලා සාර්ථක මත සාහිත්‍ය ක්‍ෂේත‍්‍ර‍්‍රය තුළින් සොයා ගැනීමට මෙහිදී උත්සුක විය. යථාර්ථවාදී නවකතාව සමාජයේ යථා අර්ථය ස්මතු කරන්නකි. ඒ සම්බන්‍ධයෙන් බොහෝ විද්වතුන් ඉදිරිපත් කරන මත හරහා කිවෙන්නේ එය සබෑ ජීවිතය නැතහොත් යථාර්ථය ස්මතු කරවන විචාරවාදයක් බවයි. එහෙත් යථාර්ථය ස්මතු කරන යථාර්ථවාදී ලක්‍ෂණයන්ගෙන් තොර වර්තමාන නවකතාව නිරිවචනයෙහිලා යථාර්ථවාදී මත ප‍්‍රාමාණික නොවන්නේ වත්මන් නවකතාව සතු එයටම ආවේණික ලක්‍ෂණ හේතුවෙනි. යථාර්ථවාදයෙන් ඔබ්බට ගිය නවකතා ලෙසින් බිහිවන්නේ මායා යථාර්ථවාදී නවකතාය. යථාර්ථය ස්මතු කරලිමට රචකයෝ සමත්ව ඇත. එයට කදිම නිදසුනක් ලෙස ගාර්සියා මාකේස්ගේ ‘සියක් වසක හුදෙකලාව ’ දැක්විය හැකිය. මෙම නවකතාව තුළදී යථාර්ථය ස්මතු කරන්නේ රූපක, සංකේත ආශ‍්‍රයෙනි. මායාව නැතහොත් අද්භූත බව පදනම් කරගෙන බිහි වූ වර්තමාන නවකතාව රසාලිප්තය. එමෙන්ම එහි යථාර්ථවාදී බවක්ද දක්නට ලැබේ. එමනිසාවෙන් එම නවකතා නිර්වචනයෙහිලා වත්මන් නිර්වචන සත්‍ය වශයෙන්ම ප‍්‍රමාණවත් නොවේ. ඒ අනුව වර්තමාන නවකතාව පුළුල් පරාසයක් ඔස්සේ ප‍්‍රසාරණය වී ඇති අතර එහි සුවිශේෂිම ප‍්‍රවණතාව වන්නේ මායා යථාර්ථවාදයයි. එමනිසාවෙන් යථාර්ථවාදය පදනම් කොටගෙන නවකතාව සම්බන්‍ධයෙන් ඉදිරිපත්ව ඇති මත වත්මන් නවකතාව නිර්වචනය කිරීමෙහිලා ප‍්‍රමාණවත් නොවේ. ඒ බැව් තදුක්ත සොදාහරණ මගින් මොනවට පසක් විය.
ආශි‍්‍රත ග‍්‍රන්‍ථනාමාවලිය
ද්විතීයික මූලාශ‍්‍රයන්
අබේසිංහ, ඩබ්.ඒ. සාහිත්‍ය නිබන්ධ සරණිය, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ10, 1996.
අමරකීර්ති, ලියනගේ. අමුතු කතාව, විජේසූරිය ග‍්‍රන්‍ථ කේන්ද්‍රය, මුල්ලේරියාව, 2005.
අමරසිංහ, ජයන්ත. ආරිය රාජකරුණා උපහාර ලිපි සංග‍්‍රහය, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ10, 2004.
ඉලයප්පාරච්ච්, එරික්. විචාර පත‍්‍රිකා , ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ10, 2005.
කුමාරසිංහ, කුලතිලක. සමාජ යථාර්ථය හා කෙටිකතා, කතෘ ප‍්‍රකාශනයකි, 1998.
දිසානායක, විමල. නව විචාර සංකල්ප, විසිදුනු ප‍්‍රකාශකයෝ, බොරලැස්ගමුව, 2004.
නවගත්තේගම ,සයිමන් . සාහිත්‍යය සමාජවාදය හා කලා විචාරය, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ10, 2004.
සමන් කුමාර, කේ.කේ. නූතනවාදය වෙතට සහ ඉන් ඔබ්බට, විදර්ශන ප‍්‍රකාශන, දෙහිවල, 1999.
සරච්චන්ද්‍ර ,එදිරිවීර. කල්පනා ලෝකය, සමන් ප‍්‍රකාශකයෝ, මහරගම, 1964.
සුරවීර, ඒ. වී . නවකතා නිර්මාණය හා අවබෝධය, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ10, 2002.
සුරවීර ,ඒ.වී . සාහිත්‍ය විචාර සංහිතා, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ10, 1996.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment