UC0GG2kdhy3J-tiQE5Pyrerg?sub_confirmation=1 Sipyaya: ඩිංගිරිමැණිකා

Wednesday, December 11, 2013

ඩිංගිරිමැණිකා

03. ඩිංගිරිමැණිකා  පියදාස සිරිසේන සමකාලීන ජාතික හා ආගමික පුනර්ජීවනය ස`දහා ප‍්‍රබන්‍ධ කතාව උපයෝගී කරගත් ආකාරය ඩිංගිරිමැණිකා නවකතාව ඇසුරින් විමසන්න. (2010*  ඩිංගිරිමැණිකා නවකතාවෙන් ජාත්‍යානුරාගය හා දේශවාත්සල්‍යය පුබුදුවාලීමට කතුවරයා ගත් උත්සහය කෙතරම් දුරට සාර්ථක වී දැයි විමසන්න. (2009*  ”ඩිංගිරිමැණිකා නවකතාව වූ කලි කාලීන අවශ්‍යතා සම්පූර්ණ වන සේ රචිත කෘතියකි.” මේ පිළිබ`ද ඔබගේ අදහස් දක්වන්න. (2008*  ඩිංගිරිමැණිකා නවකතාවෙහි අන්තර්ගත කරුණු සමාජය යහම`ගට යොමු කිරීම ස`දහා කොතෙක් දුරට වැදගත් වේ දැයි සාකච්ඡුා කරන්න. (2007*  ඩිංගිරිමැණිකා නවකතාවෙන් හෙළි වන සාම්ප‍්‍රදායික සිංහල සමාජය කෙබඳු එකක් දැයි එහි එන චරිත ඇසුරෙන් විමසන්න. (2006*  ඩිංගිරිමැණිකා නවකතාවේ අභිමත චරිතයක් තෝරාගෙන එහි නිරූපණය විමසීමට ලක් කරන්න. (2005* නවකතාවක් යනු කුමක්ද? සාහිත්‍ය අංගයක් පිළිබ`ද නිශ්චිත හෝ ස්ථීර නිර්වචනයක් දීම අති දුෂ්කර කර්තව්‍යයකි. සාහිත්‍ය අංගයන් පිළිබ`ද පොදු එක`ගතාවයකට පත් නිර්වචන හෝ නිගමනයන් නැතැයි කීම සත්‍යයට වඩාත් ලංවනු ඇත. ”නවකතාව” නම් සාහිත්‍යාංගය සම්බන්ධයෙන් ද පෙර කී කරුණු අදාල වෙයි. ශතවර්ෂ කිහිපයක් පුරා විකාශනය වී ඔපමට්ටම්ව ඇති නවකතා කලාව පිළිබ`ද විද්වතුන් විසින් අපමණ අදහස් පළකර ඇත. එසේ වුවත් සියල්ලන් ම එකහෙලා පිළිගන්නා නිර්වචනයක් ඒ අතර දැකගත නොහැකි ය. නමුත් සාර්ථක නිර්වචන කිහිපයක් ම ඒ අතර පවතින බව දැකගත හැකි ය. ‘‘මානව ජීවිතය විවරණය කරන ගද්‍යමය කල්පිත ආඛ්‍යානය නවකතාව නම් වෙයි’’ (ඒ. බේකර්* ‘‘නවකතාව වනාහි කතන්දරය, නාට්‍යය හා කාව්‍යය යන අංග තුනේ සංකලනයෙන් පහළ වූ අපූරු කලා මාධ්‍යයකි’’ (එෆ්. ආර්.ලීව්ස්* ‘‘නවකතාව වූ කලි අව්‍යාජ ජීවිතයේ සහ ගති සිරිත්වලත් එය රචනා කරනු ලබන කාලය පිළිබ`දවත් චිත‍්‍රයකි’’ (ක්ලේරා රිච්* ‘‘නවකතාව යනු නාට්‍යාංගයන්ගෙන් සැදුණු කාව්‍යයකි’’ (නූතන බටහිර විචාරකයෙක්* ”නවකතාව යනු කතුවරයා විසින් නිර්මාණය කරන ලද්දක් හෙයින් නවතම වස්තුවක් වන, පාඨකයා කාල්පනික සත්‍ය ලෝකයට ගෙන යන, සෑහෙන තරම් දිග, ග‍්‍රන්‍ථාරූඪ කරන ලද ගද්‍යමය ආඛ්‍යානයකි” (සරත්චන්ද්‍ර වික‍්‍රමසූරිය - නවකතා විවරණය* ‘‘යථාර්ථවාදී පදනමකින් යුතු , මනා හේතු ඵල සබ`දතාවක් ඇති, සංකීර්ණ චරිත නිරූපණයකින් යුත් ප‍්‍රබන්ධය නවකතාවක් ලෙස සැලකිය හැකිය’’ ඩිංගිරිමැණිකා නවකතාව රචනා වූ කාලයේ සමාජ පසුබිම ඩිංගිරිමැණිකා නවකතාව රචනාවූ කාලයේ පැවැති සමාජ පසුබිම පිළිබ`ද අවබෝධයක් ලබා තිබීම ද රචනා ප‍්‍රශ්න වලට පිළිතුරු සැපයීමේ දී ශිෂ්‍යයන්ට ඉතා වැදගත් වේ. කි‍්‍ර.ව. 1505හේ දී ලක්දිවට පෘතුගීසි ආක‍්‍රමණ එල්ල විය. ඉන්පසු ලන්දේසි, ඉංග‍්‍රීසි ආක‍්‍රමණ එල්ල විය. එත් සමගම ඔවුන්ගේ සංස්කෘතිය හා අපගේ සංස්කෘතිය එකට මුසුවිය. විශේෂයෙන් ම ලක්දිව මුලූමනින් ම තමන් යටතට ගත් ඉංග‍්‍රිසීහු තම සංකර සිරිත් රැුසක් අපේ සංස්කෘතියට මුසු කළහ. ගසට පොත්ත මෙන් බැඳී තිබුණු ගිහි පැවිදි සබැඳියාව බිඳ දැමූ ඔවුහු ක‍්‍රිස්තියානි ආගම ප‍්‍රචාරය කිරීමට පටන්ගත්හ. ඉංග‍්‍රීසීන්ට ගැතිකම් කළ නිවට සිංහලයන්ට විශේෂ වරප‍්‍රසාද හිමිවිය. ඉතා අර්ථවත් බුද්ධදාස, ධර්මපාල, සීලවතී, ගුණවතී වැනි නම් වෙනුවට පීටර්, ඬේවිඞ් , රොසලින්, ජොසපින්, සිසිලින් වැනි විදේශීය නම් පට බැඳගත් ඇතැම් සිංහලයෝ ඉංග‍්‍රීසි හෝඩියවත් නොදත් නමුත් ඉංග‍්‍රීසියෙන් අත්සන් තැබූහ. ගවඝාතනය, සුරාව, සූදුව වැනි දුරාචාරයන්ට සිංහලයන් ගොදුර විය. හෙළ සිරිත් විරිත්, ගුණධර්ම අමතක කළ සිංහලයෝ හනිමුන් යාම, උපන්දින සාද පැවැත්වීම ආදිය උසස් කුල සිරිත් ලෙස සැලකූහ. මෙලෙස සිංහලයා තුළින් තුරන්ව ගිය ජාත්‍යාලය, සදාචාරය, ස්වදේශමාමකත්වය යලි ඇතිකිරීම පිණිස හික්කඩුවේ සුමංගල හිමි, අනගාරික ධර්මපාලතුමා වැනි දේශහිතෛශීන් පෙරමුණ ගෙන කටයුතු කළහ. ඔවුන්ගේ එම උදාර සේවයට උරදෙමින් සාහිත්‍යය හරහා ඉමහත් මෙහෙයක් සිදුකිරීමට පියදාස සිරිසේන මහතා වෙහෙස වූ ආකාරය ඔහුගේ නිර්මාණ කියවා බැලීමෙන් තහවුරු වේ. ”අපේ පොත් වලින් සදාචාරයත්, ස්වජාති මාමකත්වයත්, ආගම් භක්තියත් ඇතිවන බව කිව යුතුය. රත්න මාණක්‍යයක් තිරිවානා ගලක් මෙන් විශාල නොවෙතත් එහි අගය බොහෝය. අපේ මේ පොතේ අගය ද එලෙස ය.” (පියදාස සිරිසේන - ඩිංගිරිමැණිකා සංඥාපනය* පියදාස සිරිසේන සිංහල නවකතා සාහිත්‍යය නියෝජනය කරන මුල්කාලීන ලේඛකයෙකු ලෙස හඳුනාගත හැකි පියදාස සිරිසේන මහතා 1875 අගෝස්තු 31 දින ඉඳුරුව ප‍්‍රදේශයට ආසන්න අ`ගුරුවැල්ල නම් ගමේ දී උපත ලැබීය. 18 වැනි වියේ දී ‘ඔවදන් මුතුවැල’ නමැති කෘතිය රචනා කරමින් ග‍්‍රන්ථකරණයට පිවිසි මෙතුමා කවියෙකු ලෙස ද, නවකතාකරුවෙකු ලෙස ද ජනප‍්‍රියත්වයට පත්විය. සිතුමිණ, සරසවි සඳරැුස, සිංහල බෞද්ධයා වැනි පුවත්පත්වල කතුවරයෙකු ලෙස කටයුතු කළ එතුමා 1904දී ‘සිංහල ජාතිය’ පුවත්පත ආරම්භ කළේය. මෙතුමාගේ පළමු නවකතාව වන ”වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස්ස සහ රොසලින්’” යන නවකතාවේ පිටපත් 25000ක් වසර කිහිපයක් තුළදී අලෙවි වීමෙන් පෙනීයන්නේ විශාල ජනප‍්‍රියත්වයක් හිමි කරගෙන සිටි බවයි. තවත් බෞද්ධ නායකයන් කිහිපදෙනෙකු සම`ග රට ජාතිය වෙනුවෙන් සිරබත් කෑමට ද මෙතුමාට සිදුවී ඇත. එසේ සිරගතව සිටි කාලයේ දී එතුමාට ලැබුණු බයිබල් පොතක අෂ්ඨලෝක ධර්මචක‍්‍රය නමැති ග‍්‍රන්ථය ලියූ බව පැවසේ. පියදාස සිරිසේනයන් විසින් රචනා කරන ලද ප‍්‍රබන්ධකතා නාමාවලිය 01. වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස්ස සහ රොසලින් 02. අපට වෙව්ච දේ 03. මහා වියවුල 04. තරුණියකගේ පේ‍්‍රමය 05. අෂ්ඨලෝක ධර්මචක‍්‍රය 06. ඩිංගිරිමැණිකා හෙවත් වික‍්‍රමපාලගේ පළමුවෙනි වික‍්‍රමය 07. විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය හෙවත් වික‍්‍රමපාලගේ දෙවෙනි වික‍්‍රමය 08. වලව්වක පලහිලව්ව හෙවත් වික‍්‍රමපාලගේ තුන්වෙනි වික‍්‍රමය 09. ශ‍්‍රී ලංකා මාතා 10. ඉෂ්ට දෙවියා හෙවත් වික‍්‍රමපාලගේ සතරවෙනි වික‍්‍රමය 11. සුචරිතාදර්ශය හෙවත් සරත් කුමාර චරිතය 12. අද්භුත ආගන්තුකයා 13. චින්තාමාණික්‍ය රත්නය 14. යන්තම් ගැලවුනා 15. පරිවර්තනය 16. පසන් නිවස 17. මහේශ්වරී හෙවත් වික‍්‍රමපාලගේ පස්වෙනි වික‍්‍රමය 18. පළමුවෙනි පාසැල 19. ඩෙබරකෙල්ල හෙවත් වික‍්‍රමපාලගේ හයවෙනි වික‍්‍රමය 20. අන්තිම කැමැත්ත රට ජාතිය, ආගම වෙනුවෙන් අමරණීය සේවයක් කළ එතුමා 1946 මැයි මස 22 දින අභාවප‍්‍රාප්ත විය. ”සිරිසේන මහතා නවකතා ලියුවේ පාඨකයන්ගේ විනෝදය සඳහා හෝ මනුෂ්‍ය චරිත විභාග කිරීම සඳහා හෝ නොවේ. ඔහුගේ පරමාර්ථය වූයේ සිංහල ක‍්‍රිස්තියානිකාරයන් නැවත බුුද්ධාගමට හරවා ගෙන සිංහලයන්ගේ නැතිවී යන සභ්‍යත්වය නගා සිටුවාලීම ය” (එදිරිවීර සරච්චන්ද්‍ර - සිංහල නවකතා ඉතිහාසය හා විචාරය* ”සිංහල ජාතිය” නම් ස්වකීය ප‍්‍රවෘත්ති පත‍්‍රය මගින් ඔහු ධර්මපාල තුමාට උපස්තම්භක විය. ජයතිස්ස හා වික‍්‍රමපාල ආදි පුද්ගලයන් නිර්මාණය කිරීමේදී ඔහුගේ මනස ඉදිරියෙහි අනගාරික ධර්මපාල තුමාගේ චරිතය තිබෙන්නට ඇතැයි සිතිය හැක” (එදිරිවීර සරච්චන්ද්‍ර - සිංහල නවකතා ඉතිහාසය හා විචාරය* ”පරීක්‍ෂක ප‍්‍රබන්‍ධ නමැති මේ කථා වර්ගයෙන් රටේ පවත්නා ගුප්ත කරුණු එලිකරන්ටත් රටවාසීන්ගේ සදාචාරයට බාධක, බලවත්, අයුතු ක‍්‍රියා මර්දනය කරන්ටත් පිළිවන.......... දේශපාලනය, අර්ථ සංවර්ධනය, සදාචාරය, ජාතිමමත්වය ආදිය සාමාන්‍ය ජනයාට ඉගැන්වීමට තිබෙන උපාය මේ ප‍්‍රබන්ධ කථා බව අපට අවබෝධ වූයේ පාඨශාලාවට යන කාලයේදීමය.” (විමලතිස්ස හාමුුරුවන්ගේ මුදල් පෙට්ටිය - සංඥාපනය* ඩිංගිරිමැණිකා නවකතාවේ කතා සාරය මෙම නවකතාවේ කථකයා කෝන්ගොඩ වික‍්‍රමපාල යි. ප‍්‍රධාන චරිතය ලෙස දිස්වන්නේ ද ඔහුගේ චරිතය යි. වික‍්‍රමපාල ළදරු වියේ දී මව මියගිය අතර හත් හැවිරිදි වියේ දී පියාද මිය ගියේය. මියයන මොහොතේ දී වික‍්‍රමපාල තමන් ල`ගට කැඳවාගත් පියතුමා මෙසේ පවසයි. ”වික‍්‍රම , නුඹේ කේන්ද්‍රයේ හැටියට නුඹ හොරෙක් විය යුතුය. නමුත් වීර්ය කළොත් හොරෙක් නොව හොරු අල්ලන්නෙක් ද විය හැකි ය.” රටපුරා ඇවිද නොයෙක් දේවල් උගත් වික‍්‍රමපාල ප‍්‍රසිද්ධ රහස් පරික්‍ෂකයෙක් විය. ඉංග‍්‍රීසි, දෙමළ භාෂා ද හදාළ ඔහු බුදු දහම ද මැනවින් උගත්තේය. දිනක් මරදානේ සිට නානුඔයට දුම්රියෙන් යන ඔහුට මීවිටිගල නිලමේ නමින් ප‍්‍රසිද්ධව සිටි උඩරැුටියෙකු හමුවිය. මීවිටිගල නිළමේ සිය එකම දියණිය හදිසියේ අතරුදහන් වීම නිසා ඉතා සංවේගයට පත්ව සිටියේය. කෝන්ගොඩ වික‍්‍රමපාල රහස් පරික්‍ෂකයෙකු ලෙස ප‍්‍රසිද්ධව සිටියේ ය. එහෙයින් නිලමේ මෙම හමුවීම පිළිබඳ මහත් සොම්නසට පත්ව ඔහු තමාගේ වලව්වට කැටුව ගියේය. නිලමේගේ දියණිය වූ ඩිංගිරිමැණිකා කලකට පෙර අතුරුදන් වූ බවත් එදින ම වලව්වේ සිටි වැඩකාරිය වූ මැගි නෝනා ද අතුරුදන් වූ බවත් මැගි නෝනාට දැනගන්නට ලැබුණි. ඩිංගිරිමැණිකා සිය ගමේ ම පහත් යැයි සම්මත කුලයක රම්බණ්ඩා තමැති තරුණයෙකු හා පෙමින් වෙලී සිට ඇත. එයට විරුද්ධ වූ මීවිටිගල වලව්වේ දෙමහල්ලෝ ඩිංගිරිමැණිකාට වෙනත් විවාහයක් සූදානම් කළහ. නවරත්න නම් වූ එම තරුණයා සාරධර්ම අගයන සදාචාර සම්පන්න අයෙකු නොවන බව දැනසිටි ඇය එම විවාහයට අකමැතිවූවාය. කෙසේ වුවත් දෙමාපියෝ මගුලට කටයුතු සුදානම් කළහ. ඩිංගරිිමැණිකා අතුරුදහන් වූයේ මේ අතුරතුර ය. ඇය අතුරුදන්වීම සම්බන්ධයෙන් වරදකරු වූ රම්බණ්ඩා වසර තුනකට සිරගත කොට ඇත. ඩිංගිමැණිකා පිළිබඳ කිසියම් ආරංචියක් නැත. ඇය සොයා දුනහොත් තමන් සතු වස්තුවෙන් හරි අඩක් දෙන බව මීවිටිගල දෙමහල්ලෝ පැවසූහ. එය ප‍්‍රතික්‍ෂෙප කළ වික‍්‍රමපාල රු. 10000ක් පමණක් ප‍්‍රමාණවත් බව ප‍්‍රකාශ කළේය. වික‍්‍රමපාල සිය මෙහෙයුම ආරම්භ කළේය. බෝගම්බර සිරගෙදරට ගිය ඔහු රම්බණ්ඩා හමුවී තොරතුරු රැුසක් දැනගත්තේය. වලව්වේ මෙහෙකාරකමට පැමිණ සිිට මැගී සෙරකි. වලව්වේ තිබුණු මුතුමැණික්, මිලමුදල් ආදිය පැහැරගෙන යාමට සිතා ඇය එහි පැමිණ සිට ඇත. නවරත්න සමග විවාහවීමට අකමැති වූ හෙයින් රම්බණ්ඩා සමග හොරෙන් පැනයාමට ඩිංගිරිමැණිකා තීරණය කරගෙන තිබුණි. මැගී ද හොර බඩුත් ගෙන පැනයාමට සුදානම්ව සිටියේ ඩිංගිරිමැණිකා පැනයාමට සිටි දිනයේ ම ය. අගෝරිස් අප්පු නමැති හොරා මැගී කැටුව යාමට පැමිණෙන බව කියා තිබුණි. රම්බණ්ඩා ඩිංගිරිමැණිකාව කැටුව යාමට පැමිණෙන බව කියා තිබුණි. රාත‍්‍රියේ වලව්ව අසල මෝටර් රථයක් ද තබාගෙන ඩිංගිරිමැණිකා එනතෙක් බල සිටි රම්බණ්ඩා කරුවලේ පැමිණි මැගීට රැුවටී ඇයව මෝටර් රථයෙහි නන්වාගෙන වහාම පිටත්විය. මැගී කැටුව යාමට පැමිණ සිටි අගෝරිස් අප්පුට ඩිංගිරිමැණිකා හමුවිය. ඇය රන්රීදි මුතු මැණික් විශාල ප‍්‍රමාණයක් ද මුදලින් රුපියල් 40000ක් ද ගෙනවිත් තිබුණි. අගෝරිස් අප්පු ඒ සියල්ල පැහැරගත්තේය. පොලිසියට හසුවූ පසු සියලූම වැරදි රම්බණ්ඩා පිට පැටවූ මැගී මාස තුනක් හිරබත් කා සිය ගම් ප‍්‍රදේශය වූ නාවලපිටියට ගියාය. රම්බණ්ඩා වසර තුනකට සිරගත කෙරිණි. වික‍්‍රමපාල මේ තොරතුරු සියල්ල දැනගනගත්තේ හිරගෙදර සිටි රම්බණ්ඩාගෙනි. මැගී සොයා නාවලපිටියට ගිය වික‍්‍රමපාල ඇය සුරාවෙන් මත්කොට අගෝරිස් අප්පු පිළිබඳ තොරතුරු දැන ගත්තේය. අගෝරිස් අප්පු ප‍්‍රසිද්ධ සොරෙකු බවත් ඔහු බොහෝ කාලයකින් නොදැක්ක බවත් ඇය කීවාය. අගෝරිස්ගේ මිත‍්‍රයෙකු වු ඖෂධහාමි නමැත්තා පිළිබ`ද තොරතුරු ද ඇය ඔහුට කීවාය. වික‍්‍රමපාල ඖෂධහාමිගේ නිවසට ගොස් අගෝරිස්ගේ අයියා ලෙස ර`ගපෑවේය. දුම්රිය පලෙහි බර උසුලන (නාටාමි* පොඩි අප්පු පිළිබ`ද තොරතුරු ඖෂධහාමිගේ ගෙදරින් දැන ගැනීමට ඔහුට හැකිවිය. පොඩි අප්පු යනු අගෝරිස්ගේ සොරමුලෙහි සිටි පැරණි සොරෙකි. ඔහු දැන් සොරමුලට සම්බන්ධ නැත. පොඩි අප්පුට මත්වතුර අරන් දී යහ`ඵ කොටගත් වික‍්‍රමපාල සොරමුල හා ඩිංගිරිමණිකා පිළිබ`ද තොරතුරු රැුසක් අසාගත්තේය. ඒ අනුව සොරමුල නිරතුරුව වාසය කර ඇත්තේ කුරුණෑගල බවත් සොර මුලේ ප‍්‍රධාන සොරා වූ බබා සිඤ්ඤෝ ඩිංගිරිමැණිකාවත් රැුගෙන දකුණු පළාතට පලාගිය බවත් වික‍්‍රමපාලට දැනගන්නට ලැබුණි. දකුණු පළාතට ගොස් තොරතුරු සොයා බැලූ නමුත් කිසිවක් දැනගැනීමට වික‍්‍රපාලට නොහැකි විය. පසුව කුරුණෑගල ගනේවත්ත ප‍්‍රදේශයට ගිය ඔහුට තාපසයෙකු හමුවිය. තාපසයාගෙන් සොරමුල පිළිබ`ද තොරතුරු දැනගත් ඔහු සොරුන් සැ`ගවී සිටි යාපහුව කැලයට තනිවම පිටත් විය. මෑත කාලයක කිසියම් පිරිසක් එහි විසූ බවට සාධක එහි දී ඔහුට හමුවිය. රෙදි කැබලි, පුවක් ලෙලි, පොල්කටු ආදිය ඔහුට දැක ගැනීමට හැකිවිය. එහි දී අගෝරිස් අප්පුගේ මළ සිරුර ද ඔහුට හමුවිය. මළ සිරුරෙහි තිබූ පොට්ටනි දෙකක ඩිංගිරිමැණිකා ගෙදරින් ගෙන ආ රන්රිදී, මුතුමැණික් ද රු. 40000ක මුදල ද තිබුණි. රම්බණ්ඩාගේ ඡුායාරූපයක් ද එහි දී ඔහුට හමු විය. එහි පිටුපස පැන්සලකින් ලියූ කවි කිහිපයක් ද විය. හමු වූ වස්තුව ඉහත කී තාපසයාගේ ගුහාවේ ස`ගවා වටපිට විපරම් කළ ඔහුට කැලෑකෝරාල නම් අයෙකු හමුවිය. ඔහුගෙන් ඩිංගිරිමැණිකා පිළිබ`ද දැනගන්නට ලැබුණි. කැලෑකෝරාලගේ වේශයෙන් ඩිංගිරිමැණිකා සිටි තැනට ගිය වික‍්‍රමපාල ඇය හමු වී සියලූ තොරතුරු දැනගත්තේය. මාස දහයක් පුරා සොරු 13 දෙනෙකුගෙන් බේරී සිටි ආකාරය ඇය විස්තර කළාය. මාර්තු මස 02 වන දින තෙක් කිසිවෙකු සම`ග විවාහ නොවන ලෙස සිය කේන්දරයේ කියා ඇති බවත් එදිනට පෙර විවාහ වුවහොත් තමන් මරණයට පත්වන බවත් පවසමින් බොරුවක් ගොතා ඇය සොරුන් රවටා තිබුණි. ඩිංගිරිමැණිකා හා වික‍්‍රමපාල කතා කරමින් සිටි ස්ථානයට පැමිණි බබා සිඤ්ඤෝ කැලෑකෝරාල ලෙස වෙස්වලාගෙන සිටින්නේ වෙනත් අයෙකු බව හ`දුනාගත්තේය. නමුත් ඔහුට වික‍්‍රමපාල අල්ලා ගැනීමට නොහැකි විය. වහාම කොළඹ ගිය වික‍්‍රපාල පැය හයක් යන තෙක් සිහිනැතිවන බෙහෙතක් ද රැුගෙන යළිත් කුරුණෑගලට පැමිණියේ ය. පෙර දිනක දී ගනේවත්ත දුම්රියපලේ දී දුටු මහල්ලෙකු කුරුණෑගල දුම්රිය පලේ දී ම දුටු වික‍්‍රමපාල ඔහු සම`ග මිත‍්‍ර විය. ඔහුගේ නම අමාරිස් අප්පු නම් විය. මත්පැන් බොන්නට දී තොරතුරු විමසූ වික‍්‍රමපාලට දැන ගන්නට ලැබුණේ ඔහුගේ නංගිගේ පුත‍්‍රයා බබාසිඤ්ඤෝ නම් වන බවයි. ඔහු කුරුණෑගලට පැමිණ ඇත්තේ බබාසිඤ්ඤෝ හා ඩිංගිරිමැණිකා අතර හෙට සිදුකිරීමට නියමිත විවාහයට අවශ්‍ය ආහාර පාන, මත්පැන් ආදිය රැුගෙන යාමට ය. වික‍්‍රමපාල පෙර කී සිහි නැතිවන බෙහෙත මත්පැන්වලට දමා අමාරිස් අප්පුට බොන්නට දුන්නේය. ඉන්පසු බඩු බාහිරාදියත් රැුගෙන අමාරිස් අප්පුගේ වේශයෙන් සොරමුල සිටි තැනට ගියේය. හෙට දින විවාහ උත්සවයේදී බීමට ගෙනයන අරක්කු බෝතල් දෙකට ද සිහිනැතිවන බෙහෙත කවලන් කිරීමට ඔහු අමතක නොකළේය. විවාහ උත්සවය වේලාවේදී එම මත්පැන් පානය කළ සොරු සිහිසන්වූහ. ඩිංගිරිමැණිකා තමා හඳුනන ගෙදරක නවතා, රම්බණ්ඩාට නිදහස ලබා දී ඔවුන් අතර විවාහය සිදුකිරීමට වික‍්‍රමපාල කටයුතු කළේය. විවාහය ලියාපදිංචි කරන බව මීවිටිගල වලව්වට නොදැන්වීමට ඔහු වගබලා ගත්තේය. තමාට හමුවූ රු. 40000 සහ සෙසු වස්තුව ද මීවිටිගල වලව්වට බාර කළ වික‍්‍රමපාල රම්බණ්ඩා හා ඩිංගිරිමැණිකා වලව්වේ දෙමහල්ලන්ට බාර කළේය. පෙර පොරොන්දු වූ පරිදි රුපියල් 10000 ද ලැබුණි. ඩිංගිරිමැණිකා හෙවත් වික‍්‍රමපාලගේ පළමුවැනි වික‍්‍රමය මෙසේ නිමාවට පත්විය. පියදාස සිරිසේනයන් ඩිංගිරිමැණිකා නවකතාව තුළින් සමාජ දුර්වලතා පෙන්වා දීමට, ජාත්‍යාලය හා ස්වදේශමාමකත්වය ඇති කිරීමට වෙර දරන ආකාරය ශිෂ්‍යයන්ට රචනා ප‍්‍රශ්නවලට පිළිතුරු ලිවීමේ දී ඉවහල් කොටගත හැකි උද්ධෘත පාඨ පමණක් ඩිංගිරිමැණිකා නවකතාවෙන් උදුරාගෙන මෙහි දක්වමු. මෙහි උද්ධෘත අංක යොදා ඇත්තේ 2002 නව මුද්‍රණයට අනුව බව සලකන්න.  සුරාපානය පිළිකුල් කිරීම ”සුරාපානය මනුෂ්‍යයන්ගේ ලජ්ජා භයත්, ප‍්‍රකෘති සිහියත් නැති කරන විෂ වර්ගයකි. ඒ පානය කරන තැනැත්තා තමාටත් ලෝකයාටත් ඒකාකාරව ම අපරාධ කරන්නෙකි.” (76 පිටුව * ”මිත‍්‍රය , සුරා වෙළෙදාම පවතිනා රටේ තිබෙන අනිත් වැරදි දුරු කරන්නට කතරගම දෙවියන්ට තබා කාටවත් බැරිය. අතීසාරයට බෙහෙත් නොකොට නිකම් රෙදිවලින් තබා පට රෙදිවලින් අමුඩ ගැස්සුවත් බඩයාම නොනවතී.” (98 පිටුව* ”ඔය කියන ඩිංගිරිමැණිකේ සෙවීම සුරා පානය කරන අයෙකු තුළ උතුම් ගුණ ධර්මයක් සොයා ගැනීම වැනි දුෂ්කර ක‍්‍රියාවකි.” (118 පිටුව* ”සුරාපානය නිසා රටේ මිනීමැරුම් ඇතිවීම, මං පැහැරීම් බහුලවීම, ගෙවල් උමංකෑම අධිකවීම, හරක් හොරකම් පැතිරයාම යනාදිය සමහර ප‍්‍රතිඵලයි. ඒ එක්කම හි`ගන්නන්, කාලකණ්නියන්, දුඃඛිතයන්, අසරණයන්, කණුන්, කොරුන්, ගො`ඵවන්. බිහිරන් , උම්මත්තකයන් මීමැස්මොරකාරයන් , ප‍්‍රමේහ රෝගීන්, උපදංශ රෝගීන්, ලාදුරු රෝගීන් බහුලවීම ද සුරාපානයේ ප‍්‍රතිඵල වේ. ක්‍ෂය රෝගකාරයන්, සිහිය මඳවුන්, නහර දුර්වලවූවන් අධිකවීම සුරුට්ටු සිගරට් බීමේ ප‍්‍රතිඵල වේ. ඉතින් ඔපමණ නොවෙයි, අවුරුද්දකට සුරාව සඳහා රුපියල් 2,5000000 පමණත් සුරුට්ටු සිගරැුට් දුම්කොල පයිප්ප ආදිය සඳහා රුපියල් හැත්තෑලක්‍ෂයක් පමණත් වියදම් වේ.” (87 පිටුව * අහසින් යනෙන දෙවියෙක් ම`ග ඉඳු බලැතී දුටිනන් යම් තැනෙක මත්පැන් අවැඩ ඇතී එතනින් සියක් ගව් දුරුවී වහා යතී එබැවින් සුරා බොන මිනිසුන් නුවණ නැතී එනිසා සුරා බොන අය දිවිි තිබෙන තුරු සලසා ගන්ට නුසුදුසු වෙත්ය අඹු දරු සදොසා සුරා බොන හිමියෙකු අවැඩ කරු උදෙසා වෙහෙස නොවි`දිව් ලඳුනි පියකරු (117 පිටුව* පියා දර පෙමින් ළය හොවමින් වැඩුව පියා දුකට පත්කොට ඔහු සිත කැඩුව නයා වැනි කළේ දරුවා ගුණ අඩුව සොයා බැලූව හොත් වෙයි ”මත්පැන් බඩුව” විලි බිය ගුණ නුවණ යුතු යුතුකම් සෑම විලි වැද දුවන්නෙය මත්පැන් බී වාම පිළිකුල් සුරාවෙන් ඇති පල නම් බෝම බිලි වනු පමණි දුක් රකුසුට මෙහිදීම (155 පිටුව*  සිංහලයාගේ අසමගිය හෙළාදැකීම ”තමුන්නාන්සේලාගේ අසමගිය මහමෙර සමානයි . බොරු නම්බුවත්, කුලයත්, නිකාය භේදයත් සියලූම අනර්ථවලට මුල් වී තිබේ.” (110 පිටුව * ”වික‍්‍රමපාල මහතාණෙනි, මාතර මිනිසුන්ගේ අසමගිය නිසා මෙහි උසස් ඉංගිරිසි බෞද්ධ පාඨශාලාවක් පිහිටුවා ගන්නට බැරිය. මගේ ළමයි දෙන්නාත් අබෞද්ධ පාඨශාලාවකට යවමි. ඉතින් අප්පේ ඒ ළමයින්ට මක්වේ ද?” (105 පිටුව*  කුලභේදය ප‍්‍රතික්‍ෂේප කිරීම ”ලෝකයේ පැවතුණු කුලභේදාදි දුශ්චරිත දුරුකොට කාටත් සාධාරණ වූ නිවන් සැප දෙන පිණිස උපන් බුදුහාමුදරුවන්ගේ ‘පුත‍්‍ර’ මහා සංඝයා උඩරට වුවත් පාතරට වුවත් බුදුහාමුරුවන් වහන්සේ විසින් තුච්ඡු කොට හැරියා වූ කුලභේදය සැලකීම යුතු ද? බුදුහාමුදුරුවන් එපා කළ ඒ භේදය මු`ඵ රටටම අවැඩව තිබියදී සංඝයා විසින් පවත්වාගෙන යාම කෙතරම් අපරාධයක් ද?” (110 - 111 පිටුව* ”අනේ නිලමේ අපේ ජාතිය අනිත් අතටම ගිය හැටි, නිලමේ පමණක් නොව සිංහල කවුරුත් පළමුවැනි නොම්මරයට ගනින්නේ මලකඩ කා තිබෙන වංශකබලයි. එය බලවත් වැරැුද්දකි.” (173 පිටුව*  අල්ලස පිළිකුල් කිරීම ”අනේ දැන් කාලේ යමක් කමක් කරන මිනිස්සු කූ`ඩැල්ලෝ වාගේමය. මිනිහාගේ අමාරුව කු`ඩැල්ලාට කොහෙත්ම නොතේරී උගේ බඩපුරාම ලේ බී නැවත නැවතත් වමාරමින් තව ලේ බොන්නාක් මෙන් කිසිවෙකුගේ කිසි ආමරුවක් නොබලා දුප්පතුන්ගෙන් අල්ලස් ගැනීම නියම කාරණයක් වූ හැටි ” (58 පිටුව*  සමාජ අසාධාරණයට එරෙහිව හ`ඩ නැ`ගීම සමහරු දුගින් වනසා දන රැුස් කරති සමහරු සුරා විකුණා දනවතුන් වෙති සමහරු දුසිරි සැඩපාරේ බැස ඉඳිති මෙරුදුරු දුදන ඔබහට කැප කරමි ඉති කන බොන සියල අඩු වී රැුකෙන මං නැති අසරණ දනන් නොතකන ලොකු දන දනැති සමගින නපුරු නිලදාරින් වැඩක් නැති බලමැන සුර රජුනි, බර නුවණින් තෙදැති (97 පිටුව *  හෙළ චාරිත‍්‍ර වාරිත‍්‍ර අගය කිරීම හා අනාර්ය චාරිත‍්‍ර වාරිත‍්‍ර ප‍්‍රතික්‍ෂේප කිරීම. නාවලපිටිය කඩ හන්දියෙ අච්චාරු සිංහල ගෑනු දෙම`ඵන් හා කච්චෝරු කුලමල සිරිත් වතුරේ යති ලෙස පාරු දැන් දැන් ජාතියත් වෙන්නා මඩ ගෝරු දැන් දැන් වලව්වේ මහතුන් රුසිරු ඇති අඩිගහගෙන පිරිමින් සමගින් නටති ඒක දකිකොට ¥ලත් සලිත වෙති ලජ්ජා බයත් කුල සිරිතුත් කැලේ යති (74 පිටුව* ”තරුණ කාන්තාවන්ට දුව පැන ඇවිදීමත් අශික්‍ෂිත රාගනිශ‍්‍රිත කතාබහත් සුදුසු නැත. මැණිකේ මීවිටිගල පෙළපතට ඉන්නා එකම කුමාරිය ය. සිංහ ධේනුවෝ නරි බැල්ලියන් මෙන් උඩුබුුරලන්ටවත් මං මාවත්වල දුව පැන ඇවිදින්ටවත් නොකමැත්තාහ. සිංහධේනුවක් ක‍්‍රීඩා කරතත් තමාට අතිශයින් සුදුස්සෙකු සම`ග සුදුසු ස්ථානයකදීය” (63 පිටුව* ”ඔව් නෝනාට නම් ඕනෑ නෙයියාඩමක් නැටුවත් ”හොනිමුන් ’‘ ගියෑකි. නමුත් පිරිසිදු කුල චාරිත‍්‍ර ආරක්‍ෂා කරන සිංහල ස්ත‍්‍රීන්ට නම් වස වැරැුද්දකි. (52 පිටුව*  මාංශ අනුභවය වරදක් ලෙස පෙන්වාදීම ”මත්ස්‍ය මාංශ ශරීරයට නුවුවමනා එකක් බව කිව හැක. නිතරම අධිකව මස් කෑමෙන් මනුෂ්‍යයාගේ සිත රෞද්‍ර විය හැක. සතුන් කෙරෙහි මෛත‍්‍රියක් ඇති කිරීමට සතුටු අය සම්පූර්ණයෙන් මත්ස්‍ය මාංශ අත් හැරිය යුතුයි.” (44 පිටුව * ”ත‍්‍රිකෝටි පාරිශුද්ධ යැයි කියන්නේ අදිට්ඨ, අසුත, අපරිසංකිත කියන නොදුටු, නොඇසූ, සැකනැති මසටයි. එයින් දක්වන්නේ මරණ බවත් නොදුටු, මරණ ලද බව නොඇසූ , මරණ ලද්දේ යැයි සැක නැති මත්ස්‍ය මාංසවලටයි. ඉතින් දැන් කාලේ මස් කඩෙත්, මා`ඵ කඩෙත්, දැල් වැල්ලෙත් තබාගෙන විකුණන මස් මාංසවල තුන් විදියේ පිරිසිදුකමක් තබා එක විදියක පිරිසිදුකමක්වත් ඇත්තේ නැත. මේ කාලයේ කන විදියට මස් කෑමට බුදුහාමුරුවෝ අනුදැන නොවදාළ සේක.” (44 පිටුව * ගෙනෙන්නේ කඩෙන් මුත් මස් අත මිලට නොවන්නේ මන්ද පව් බුදිනා අයට බුදුන්නේ බණේ නැති පල් බොරු වලට කරන්නේ මොකද තිරිසන් අපි නිවට (44 පිටුව*  ආත්මාර්ථකාමීත්වයට ගැරහීම ”අක්කර හත අටක පොල් ඉඩමක් නිසා නම් පණ කඩාගෙන වීරිය කරති. උගුල් අදිති. නමුත් අනුන්ගේ විපතක් දුරු කිරීමට, අනුන්ට යහපතක් සැලැස්වීමට මහත්මයාලාට වැඩි උවමනාවක් නැහැ.” (147 පිටුව* ”ඉතාම පහත් පන්්තියේ මිනිසා නම් ස්වකීය ජාතිය ගැන කිසිත් නොතකන ජාත්‍යාභිමානය නැති මනුෂ්‍ය තිරිසනාය.” (79 පිටුව* සියවස් විසුව මුත් පර වැඩ නොකළ දන සුපහස් යස ලියගෙ නොලබා කිසිම දින අ`ද ඇස් ගො`ඵ බිහිරියෙකු ලෙස ඉඳ දුකින නිදහස් නැති දුකට නිරයේ සැපත් වන (149 පිටුව*  සිංහලයන් ක`ඵ සුද්දන් බවට පත්වීම අවඥා සහගතව හෙළාදැකීම ”පෙරකදෝරුවෙක්, දොස්තරයෙක් මද තරමේ ධනවතෙක් වුණ හැටියේම මුදලූත් සමග ස්ත‍්‍රියක් ලබා ගැනීම සඳහා පරම්පරාගතව අදහාගෙන ආ බෞද්ධ සමය අත්හැර ක‍්‍රිස්තියානි හෙවත් ‘ස්ත‍්‍රියානි’ වන මිනිස්සු මේ පලාතේ පමණ වෙන කොහේවත් ඉන්න බවක් මම නුදුටිමි-නෑසීමි.” (104 පිටුව* ”ලජ්ජා භය දෙක ස්ත‍්‍රීන්ගේ මහාර්යාභරණය යි කී උතුම් ඉගැන්වීම් අන්තිම මෝඩ කතාවක් කොට ලජ්ජා භය නැතිකම ශීලාචාර ස්ත‍්‍රීන්ගේ රන් ඔටුන්නැකැයි අප රටට පුරුදු වූයේත් අපේ ප‍්‍රධානීන් කුඩා දරුවන් ගැන නොසැලකූ වරදින්ය. රත්නාවලී, ස්වර්ණතිලකා, සුමනා, නන්දා, පද්මා, පද්මිණි ආදි අර්ථාන්විත නාම වෙනුවට අයිවි, ක්ලරැුන්ඩා, නෙලී, රූබී ආදි පුදුම නාම බෝ වුණෙත් අපේ ලොක්කන්ගේ වරදින්ය” (108 පිටුව*  දියුණුව සඳහා ම`ග පෙන්වාදීම ”යහමින් මුදල් ගෙදර ස`ගවාගෙන ඉන්නේ මුදල්වල අගය නොදත් අඥානයාය. උගත් ඥානවත් මිනිසුන්ගේ ගෙදරක කලින් නොකීවොත් උවමනාවකටවත් රුපියල් සියයක් ගන්නට නැත්තේය. ඔවුන්ගේ මුදල් බැංකුවලය, කටයුතුවල යොදලාය.” (53 පිටුව* ”පැරණි සිංහලයන්ට මෙන් ආත්ම ගෞරවයක් තිබේ නම්, ශරීර ශක්තිය තිබේ නම්, සුරාපානය නිසා ඥාන ශක්තිය හීනනූනා නම්, අනුන් යටතේ අල්ලස් දී සු`ඵ වැඩ ලබා නොගත්තාට මේසා විශාල ලක්දිව ඉඩ මදිද? අක්කර ලක්‍ෂ ගණන් භූමිය වල් බිහිව තිබිය දී සිංහලයෝ වහල් මෙහෙයේ ඉන්නා හැටි.” (58 පිිටුව*  බෞද්ධාගමික නැඹුරුවේ වටිනාකම පෙන්වාදීම ”තවත් ලූහුෙ`ඩන් කියතොත් යහපත් මව්පියන්ගේ දරුවෙක් වීමෙන් හෝ කල්‍යාණමිත‍්‍ර සේවනයෙන් ඥානවත් මනුෂ්‍යයෙක් වීම නිසා උසස් ධර්ම ශාස්ත‍්‍ර ඉගෙනීම ද, උසස් ධර්ම ශාස්ත‍්‍ර ඉගෙනීම නිසා මෛත‍්‍රිය වැඞීම ද, මෛත‍්‍රිය දියුණු වීම නිසා පරාර්ථකාමීභාවය ද, පරාර්ථකාමීභාවය නිසා ලෝභ, ද්වේෂ, මෝහ යන අකුසල් දුරු වීම ද, ඒ අකුසල් තුන දුරුවීම නිසා නිරෝධ නම් වූ උතුම් සැපත ද සිද්ධ වන්නේ ය” (33 පිටුව* ”පිනුම් ගසන්නට පුරුදු කළ මිනිසාට දවසින් දවස වඩ වඩා හො`දින් පිනුම් ගැසිය හැක. නමුත් උසස් රාජ කුමාරයෙකුටවත් කලින් පුරුදු කිරීමක් නැතුව පිනුම් ගැසිය නොහැක්කේය. එමෙන් ම මෛත‍්‍රිය නොවැඩූ තැනැත්තාට පරාර්ථය කිරීමට සිත යොමු කළ නොහැක.” (33 පිටුව* ඩිංගිරිමැණිකා නවකතාවෙන් හෙළිවන පියදාස සිරිසේනයන්ගේ පු`ඵල් දැනුම. සිංහල, පාලි, සංස්කෘත භාෂා පිළිබ`ද මෙන්ම බුදුසමය පිළිබ`ද ව ද පු`ඵල් දැනුමක් පියදාස සිරිසේන මහතා සතුව තිබූ බව ඩිංගිරිමැණිකා නවකතාවෙන් හෙලිවේ. එමෙන්ම කාලීන සමාජය හා අපේ සංස්කෘතිය පිළිබ`ද ව ද පු`ඵල් දැනුමක් එතුමා සතුවූ බව පෙනේ. අවස්ථාවෝචිත පරිදි කථාන්දර, ආප්තෝපදේශ, ශ්ලෝක, ගාථා, කවි, දහම් කරුණු ආදිය ගෙනහැර පාමින් ඩිංගිරිමැණිකා නවකතාව රචනා කිරීමට මෙතුමාට හැකිවී තිබන්නේ එකී පු`ඵල් දැනුම් සම්භාරය නිසාවෙනි. ඩිංගිරිමැණිකා නවකතාවෙන් උදුරාගත් පහත පාඨයන්ගෙන් ඒ බව මනාව පැහැදිලි වේ.  බුදු දහම පිළිබ`ද දැනුම ”නමුත් ජරාමරණය නම් අප කාටත් සාධාරණයි. උතුම් ධර්මයේ මෙසේ දක්වා තිබේ. අප්පායුකස්ස මරණං සුලභං භවේසු දීඝායුකස්ස ච ජරා ව්‍යසනංච නෙකං එවං භවේ උභයතෝපි ච දුක්ඛමේව සම්මා සමාචරථ දුක්ඛවිනාසනාය.” (39 පිටුව* ”කර්මයට විපාක නැතැයි කීම අත් දැකපු බොරුවකි. දැන් රාලහාමි ගල් කැටයක් රැුගෙන අහසට දමන්ට. එය යම් හෙයකින් ගසක රැු`දුනත් නොඅනුමානව ප‍්‍රමාද වෙලාවත් බිමට වැටේ. එමෙන්ම අප කරන ක‍්‍රියාවේ විපාක පූර්ව කර්මයකින් මුවා කරනු ලැබුවත් ටිකක් ප‍්‍රමාද වෙලාවත් ලැබේ.’ (152 පිටුව* ”ශරීර ශක්තියෙන් කළ නොහැකි පුදුම දේ ධර්ම ශක්තියෙන් කළ හැකි බව මට ප‍්‍රත්‍යක්‍ෂව තිබුණේය” ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරි - ධම්මෝ සුචිණ්ණෝ සුඛමාවහාති, ඒසානිසංසෝ ධම්මෝ සුචිණ්ණෝ - න දුග්ගතිං ගච්ඡුති ධම්මචාරි” යන ගාථා රත්නය මට සිහිව එයම පිිහිට කොට ගත්තෙමි. (164 පිටුව* සාහිත්‍යය පිළිබ`ද දැනුම නොවන හිමි හරණේ දරු වැදු ගැහැනු නුගුණේ ර`ගින් පුතු මුහුණේ රහස තම කළ වරද පමුණේ (90 පිටුව* නල මුදු සුව`ද පිරි කුඹු මියුරු අඹ ගෙඩි පුල හෙල කුසුම ලිය පිය තෙපිළ රන්කෙ`ඩි සල සුදු සෙමර සේසත් ගිජි`දුනොද වැඩි බල සුබ නිමිති පෙරම`ග නැකතටත් වැඩි (42 පිටුව* සුවාසිතං හර්ම්‍ය තලං මනෝරමං - ප‍්‍රියං මුඛෝච්වාස විකම්පිතං මධූ සුතන්ත‍්‍රි ගීතං මදනස්‍ය දීපනං - සුචෞ නිසීතේනු භවන්ති කාමිනඃ (50 පිටුව*  උපදේශ හා ප`ඩිවදන් පිළිබ`ද දැනුම ,ඊැකසැෙ සි දබකහ ඉකසබා ේසඑය, (විශ්වාස වනාහි අඥාන භක්ති මාත‍්‍රයකි* (54 පිටුව* ”කිං කිං නසාධයති කල්පලතේව විද්‍යා” (කල්ප ලතාවක් වැනි විද්‍යා තොමෝ කුමක් නොදෙන්නී ද?* (173 පිටුව* කාහටත් වැරදි ටික ටිකවත් යෙදෙති ලෝසමත් දනෝ ඒ ගැන නොසලකති ආයෙමත් වැඩක් කෙරුමට තැත් කරති මේ පසත් දහම දැන ගැණුම යහපති (134 පිටුව* අ`ගලක් වානේ නැතුවම හාරන ඌරු වියතක් වානෙ ලැබුණොත් දෙරණත ගෝරු (51 පිටුව* දහසක් වසක් විසුවක් රජ සැපත් වි`ද පිහිටක් පරලොවට එම විසුමෙන් කිමද සැපතක් අනුන්හට සලසන සත සුහද දවසක් එකම විසුවත් එපමණ මදිද (118 පිටුව* ඩිංගිරිමැණිකා නවකතාවේ චරිත නිරූපණය නවකතාවක ජීවය ර`දා පවතින්නේ චරිත නිරූපණය මතයි. සජීවී ආකාරයෙන් චරිත නිරූපණය කිරීමට නවකතා රචකයා නිරතුරුවම උත්සහවත් විය යුතුය. නවකතාවේ චරිත හා සිදුවීම් අතර සමීප සබැ`දියාවක් තබීම අනවාර්ය වේ. චරිත හා සිද්ධි සාම්‍යය යනුවෙන් හ`දුන්වන්නේ එය යි. නවකතා රචකයාගේ අභිප‍්‍රාය මුදුන්පත් වීමට නම් සාර්ථක චරිත නිරූපණය අතිශය වැදගත් වේ. මිනිස් සිතුවිලි මොහොතින් මොහොත වෙනස් වේ. ඔහු ඇසුරු කරන දේශපාලන , සංස්කෘතික, සමාජ රාමුව එයට සෘජුව ම බලපෑම් එල්ල කරයි. එමෙන් ම වර්ග චරිත නිරූපණය නොකොට වටකුරු හෙවත් සංකීර්ණ චරිත නිරූපණය කිරීමට නවකතා රචකයා නිරතුරුව ම උත්සහවත් විය යුතුය. සුප‍්‍රසිද්ධ නවකතාකරුවෙකු වූ ඇන්ටන් චෙකොව් මෙසේ පවසයි. ”කලාකරුවා තමා මවන චරිත පිළිබ`ද තීරණ දෙන්නෙක් නොවේ. ඔහු ඒ පිළිබ`ද අපක්‍ෂපාති නිරීක්‍ෂකයෙකු විය යුතු ය.” නවකතාවේ උපයුක්ත චරිත ලවා කතා කරවීමෙන් (චරිත සංවාදයෙහි යෙදවීමෙන් හෙවත් දෙබස් ඉදිරිපත් කිරීමෙන් * හා එකී චරිත සිතන හැටි ප‍්‍රකාශ කිරීමෙන් සප‍්‍රාණික බවක් ඇති කළ හැකිය. නවකතාවක ඇතුළත් වියයුතු ප‍්‍රධාන අංගයක් ලෙස චරිත නිරූපණය හැ`දින්විය හැකිය. මෙය ඇතු`ඵ කොට ඇති සෙසු නවකතාංග පියදාස සිරිසේනයන්ගේ නවකතා තුළ මැනවින් විද්‍යමාන නොවන හෙයින් ඔහුගේ නවකතා අසාර්ථක බව ඇතැම් විචාරකයෝ පවසති. නමුත් තවත් අයෙකු පවසන්නේ යථාර්ථවාදී නවකතා රචනයේ පුරෝගාමියා පියදාස සිරිසේනයන් බවයි. ඩිංගිරිමැණිකා නවකතාවෙහි එන ප‍්‍රධාන චරිත කිහිපයක් ඇත. ඒවා මෙසේය. 1. කෝන්ගොඩ වික‍්‍රමපාල 2. මීවිටිගල නිලමේ 3. ඩිංගිරිමැණිකා 4. රම්බණ්ඩා මේ එක් එක් චරිතයක් පිළිබ`ද කෙටි විවරණයක් කිරීමට මෙහිදී අපි බලාපොරොත්තු වෙමු. කෝන්ගොඩ වික‍්‍රමපාල ඩිංගිරිමැණිකා නවකතාව උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් රචනා වූවකි. එහි කතා නායකයා කෝන්ගොඩ වික‍්‍රමපාලයි. ඔහු රහස් පරීක්‍ෂකයෙකි. හො`ද සිංහලයෙකි. ජාත්‍යාලය ඇත්තෙකි. දේශමාමකත්වයෙන් හෙබියෙකි. සිංහල, පාලි, සංස්කෘත, දෙමළ, ඉංග‍්‍රීසි වැනි භාෂා පිළිබ`ද හා බුදුසමය පිළිබ`ද මනා දැනුමැත්තෙකි. සමාජ දුර්වලතා, සමාජ අසාධාරණය දුටුසැණින්් අභීතව ඉදිරියට පැන හ`ඩ නැගීමට ඔහු කිසිවිටෙක පසුබට නොවෙයි. එක් දිනක් දුම්රියක ගමන් කරන විට කාන්තාවන්ට හා දුර්වල මහලූ මිනිසුන්ට අසුන් ගැනීමට ඉඩ නොදුන් තරුණයෙකුට වික‍්‍රමපාල මෙසේ දොස් නගයි. ”ආ මනුෂ්‍යයෝ, තමුසේ කෙතරම් අධම ආත්මාර්ථකාමියෙක් ද? දුර්වල ස්ත‍්‍රියකට සැපදෙන පිණිස පැයක් පැය භාගයක් නැගිට සිටින්ට බැරි කෙනෙක් යම් අසරණයෙකුට බත් කටක් හෝ සතයක් දෙයි ද? ...... මෙහි සිටගෙන ඉන්නේ දුර්වල ස්ත‍්‍රීන් තුන්දෙනෙක් හා මහල්ලන් තුන්දෙනෙකුත් ය” (27 පිටුව* එම දුම්රියේ දී ම මීවිටිගල නිලමේට මෙසේ පවසයි. ”ආත්මාර්ථකාමීභාවය හෙවත් තමා ම, තමාගේ පවුල ම, තමාගේ කුලය ම පමණක් දියුණු වුනොත් ඇත යන කල්පනාවෙන් යුත් පුද්්ගලයා යටත් පිරිසෙයින් ගොනෙකු තරම නොවටනේය.” (31 පිටුව* ඔහු දිනපතා ටික වේලාවක් භාවනා වඩයි. පන්සිල් සමාදන් වෙයි. සාකච්ඡුාවට වැටුණු ඇතැම් විටෙක පාලි පාඨ ගෙනහැර පාමින් බණ කියයි. වෙහෙස මහන්සිය නොබලා සිය අරමුණු ජයගැනීමේ අභිලාෂයෙන් බාධක මැඩ ගෙන ඉදිරියට ඇදෙන පුද්ගලයෙකු ලෙස වික‍්‍රමපාල සෑම විටම නිරූපණය වේ. වික‍්‍රමපාල විවිධ පුද්ගලයන්ගේ වෙස්ගත් අවස්ථා රැුසක් පිළිබ`ද ඩිංගිරිමැණිකා නවකතාවේ කියවේ. එවන් ඇතැම් තැනෙක පාඨකයා විශ්වාස භංගත්වයට පත් වේ. එය දුර්වලතාවක් ලෙස පෙන්වා දිය හැකිය. කෝ්න්ගොඩ වික‍්‍රමපාලගේ චරිතය තත්කාලීන විමුක්තිකාමී නායකයන් නිරූපණය කරන සංකේතයක් ලෙස සැලකීමට ද ඉඩ නැත්තේ නොවේ. මීවිටිගල නිලමේ ඩිංගිරිමැණිකාගේ පියා ලෙස නිරූපණය වන්නේ මීවිටිගල නිලමේගේ චරිතයයි. ඔහු රදළ පැලැන්තිය නියෝජනය කරන වලව්කාරයෙකි. කුලමානයෙන් දැපුනෙකි. මහා ධනවතෙකි. ඔහුට සිටියේ එකම දරුවෙකි. ඒ ඩිංගිරිමැණිකා පමණි. සිය ගමේ පහත් කුලයක තරුණයෙකු වූ රම්බණ්ඩා හා ඩිංගිරිමැණිකාගේ පේ‍්‍රම සම්බන්ධයට මීවිටිගල නිලමේ තදින්ම විරුද්ධ වූයේ කුලමානය නිසා උපදවාගත් ගර්වයෙන් ඉදිමී සිටි හෙයිනි. අවසානයේ දී මීවිටිගල නිලමේට හා බිරි`දට ශෝක සන්තාපයට පත් වීමට හේතුව වූයේ ද මෙකී කුලමානය ම යි. රට ජාතිය විපතට පත්ව සිටි තත්කාලීන සමාජයෙහි කුලය ආරක්‍ෂා කරගැනීමෙහි නියලූන වලව් පැලැන්තිය මීවිටිගල නිලමේගෙන් නිරූපිත බව පෙනේ. එක් අවස්ථාවක දී වික‍්‍රමපාලට මීවිටිගල නිලමේ මෙසේ පවසයි. ”මගේ කල්පනාව කුලවංශය 1 වැනියි, ධනය 2 වැනියි, රූපය 3 වැනියි, උගත්කම හා ගුණ ධර්ම 4 වැනියි. එහෙම නොවේද වික‍්‍රමපාල මහත්මයෝ?” (174 පිටුව* වික‍්‍රමපාලගේ කතාවලට සවන් දී අවසානයේ ඔහු කුලවංශයට වඩා ගුණයහපත්කම උතුම් බව වටහා ගනියි. ඔහු මෙසේ පවසන්නේ එහෙයිනි. ”සත්තකින්ම මව්පියාදීන්ට බණින, තලන බේබදු රදල පුත‍්‍රයාට වඩා මව්පියාදීන්ට ගරු බහුමන් දක්වන පහත් පවුලක පුත‍්‍රයා උතුම් බව මම පිළිගනිමි.” (174 පිටුව* රම්බණ්ඩා හා ඩිංගිරිමැණිකා විවාහ වීම සම්බන්ධයෙන් අවසානයේදි සිය විරෝධය පළ නොකිරීමට නිලමේ වගබලාගත්තේ ද එහෙයිනි. ඩිංගිරිමැණිකා උතුම් සිංහල කුල කතක් තුළ තිබිය යුතු ලක්‍ෂණ නිරූපණය කිරීම ස`දහා පියදාස සිරිසේනයන් ඩිංගිරිමැණිකාගේ චරිතය භාවිතයට ගනියි. ඇය කීකරුය. ස්ථානෝචිත ප‍්‍රඥාවෙන් යුක්තය. හො`ද නරක තේරුම් ගැනීමෙහි සමත්ය. ඉංග‍්‍රීසි ඉගෙනීම ස`දහා ක‍්‍රිස්තියානි පාඨශාලාවකට ගිය ඇය නාගරික ඇසුර නිසා වෙනස් වූ ආකාරය මීවිටිගල නිලමේ මෙසේ පවසයි. ‘‘කලින් මටත් මවුටත් අප්පොච්චිය, අම්මාය කියකියා සිටි අපේ ඩිංගිරිමැණිකා අපට ” පප්පයි, මම්මයි කියන්ට ද පටන් ගත්තාය.” (45 පිටුව* කෙසේ වුවත් රම්බණ්ඩාගේ ම`ග පෙන්වීම මත ඇය හෙළ තරුණියක සතු විය යුතු ගුණාංග කෙරෙහි නැඹුරුවීමට වැඩි කලක් ගත නොවීය. රම්බණ්ඩාට ඇය විසින් ලියන ලද හසුන් වලින් ඒ බව සනාථ වේ. ඩිංගිරිමැණිකා විසින් රම්බණ්ඩා වෙත යවන ලද හතරවැනි ලියමනෙන් උදුරා ගන්නා ලද කොටසකි මේ. ”අනාර්ය චාරිත‍්‍ර සියල්ලම රස මිශ‍්‍ර විෂක් වැනිය. අපේ කුල සිරිත් රසමිශ‍්‍ර අමෘතයක් වැනිය. නමුත් දහස් ගණන් සිංහල දරුවෝ මේ කිසිත් නොදැන මුලාවේ වැටී විනාශ වෙති.” (106 පිටුව* සොරු දහතුන්දෙනෙකුට මැදිව මාස දහයක් පුරා සිය පවිත‍්‍රතාව ද රැුකගෙන සිටීමට තරම් ඩිංගිරිමැණිකා උපායශිලී වූවාය. ඇය ගෙදරට හොරා රම්බණ්ඩා සම`ග පැනයාමට සිතීම හිතුවක්කාරකමක් ලෙස සැලකිය නොහැක. එය දෙමව්පියන්ගේ වැරදි නිසා ඇයට ගන්නට සිදු වූ තීරණයකි. රම්බණ්ඩා ජාතිකාභිමානයෙන්, දේශමාමකත්වයෙන් ඔදවැඞී ගිය උගත් තරුණයෙකු ලෙස රම්බණ්ඩාගේ චරිතය නිරූපණය වේ. ඔහුගේ චරිතය බොහෝ දුරට විකාශනය වී ඇත්තේ ඩිංගිරිමැණිකාට යැවූ ලිපි හරහා බව පෙනේ. එසේ යැවූ එක් ලිපියකින් උපුටා ගත් කොටසක් මෙසේය. ”දැනට අපේ රටේ ස්ත‍්‍රී පුරුෂයන්ගෙන් සියේට දහයක්වත් යහපත් දරුවන් ලැබීමේ ක‍්‍රමය නොදනී. තිරිසනුන් මෙන් ප‍්‍රකෘති කාමාලය නිසා ගිහිගෙට බැෙ`දන මොවුන් අතර සුරාපානාදී දුශ්චරිත බහුල බැවින් හදිසියෙන්වත් පින්වත් සත්වයෙකුට දරුවෙක් වීමට ඉඩ නැත්තේය.” (145 පිටුව* අභූත චෝදනා ලබා සිරගත නොවුනා නම් ඩිංගිරිමැණිකා සෙවීමට වික‍්‍රමපාල කළ සියලූම වික‍්‍රමයන් රම්බණ්ඩා විසින් සිදු කරනු නොඅනුමානය. තවත් අතකින් විමසා බැලූ කල අයුක්තියට, අසාධාරණයට, සමාජ ශෝධනයට එරෙහිව හ`ඩ නැගූ තරුණ නායකත්වයට එකල අත් වූ ඉරණම සංකේතානුසාරයෙන් රම්බණ්ඩා මගින් ඉදිරිපත් වන බව ද සිතිය හැකිය.

No comments: