UC0GG2kdhy3J-tiQE5Pyrerg?sub_confirmation=1 Sipyaya: 10/22/18

Monday, October 22, 2018

මෙම ලක්ෂණ ඔබේ ශරීරයේ දකින්නට ලැබේ නම් වහාම වතුර වැඩි වශයෙන් බොන්න

රුධිර තුල ජලය 83% ක්, පෙනහළු තුල ජලය 90% ක්, වකුගඩු සහ මාංශ පේශී තුල ජලය 73% ක් අන්තර්ගත වනවා. ශරීරය තුල අන්තර්ගත වන මෙම ජලය ප්‍රතිශතයෙන් විශාල ප්‍රමාණයක් දහඩිය දැමීම සහ මුත්‍රා පිට කිරීම නිසා දිනකටශරීරයෙන් ඉවත් වනවා. මේ ආකාරයට ශරීරයෙන් ඉවත් වන ජලය නිසි ලෙස නැවතත් ශරීරයට ලබා ගැනීම ගැන ඔබ වඩාත් සැලකිලිමත් විය යුතු වනවා.

දිනකට ජලය වීදුරු 6-8 ත් අතර ප්‍රමාණයක් පානය කිරීම සුදුසු යැයි ඔබ අසා තිබෙන්නට පුළුවන්. නමුත් බොහෝ දෙනා මෙය දිනකට ජලය වීදුරු දෙකකට සීමා කරනු ලබනවා. සාමාන්‍ය වශයෙන් පිරිමි පුද්ගලයෙක් දිනකට ජලය ලීටර තුනක් (වීදුරු දොළහක්) පානය කල යුතු අතර කාන්තාවක් දිනකට ජලය ලීටර 2.2 (වීදුරු නවයක්) පානය කල යුතු වනවා. ඔබ නිසි පරිදි ජලය පානය නොකරනවා නම් ඔබේ ශරීරයෙන් මෙවන් ලක්‍ෂණ දැක ගන්නට පුළුවන්. ඔබත් මෙම ලක්‍ෂණ දහය පිළිබඳ නිසි අවධානය යොමු කරන්න.

01. හිසරදය
ජලය නිසි ලෙස පානය නොකරන අවස්ථාවක ශරීරය විසින් උත්සහා කරනු ලබන්නේ ශරීරය තුල තිබෙන ජලය ප්‍රමාණය කෙසේ හෝ භාවිතයට ගැනීමටයි. ශරිරයට ජලය හිග අවස්ථාවක ශරීරයේ කුමන අවයවයක ජලය වුවත් භාවිතයට ගැනීමට කිසිම පැකිලීමක් ඇති වන්නේ නෑ. ඔබට නිරන්තරයෙන් හිසරදය ඇතිවනවා නම් මේ පිළිබඳ නිසි අවධානය යොමු කරන්න. නිසි පරිදි ජලය පානය කරන්න.

02. සන්ධි වේදනාව
සන්ධි චලනය වන අවස්ථාවක නිසි පරිදි ක්‍රියාත්මක වීම සඳහා ජලය ලිහිස්සි ද්‍රාවණයක් ලෙස ක්‍රියා කරනු ලබනවා. නිසි ලෙස ජලය පානය නොකිරීම මගින් සන්ධි වලට අවශ්‍ය කරන මෙම ලිහිස්සි ද්‍රාවනය නිසි ලෙස නොලැබී යනවා. එම හේතුව නිසා කාටිලේජ වලට හානි සිදුවී සන්ධි වේදනාවක් ඇති වනවා.

03. කුසගින්න සහ බර වැඩි වීම
මිනිස් ශරීරය ඉතා සංකිර්ණ යාන්ත්‍රණයක්. මිනිස් මොළයේ අන්තර්ගත වන“hypothalamus” ව්‍යූහය මගින් කුසගින්න සහ පිපාසය ශරීරයට දැනෙන්නට සලස් වනවා. ඔබටසුළු කුසගින්නක් දැනුණු අවස්ථාවක මොනයම් හෝ දෙයක් ආහාරයට ගන්නවා වෙනුවට ජලය වීදුරුවක් පානය කරන්න. (මෙය ප්‍රධාන ආහාර වේල් සඳහා සිදු කල නොහැකි ක්‍රියාවක්) එමගින් ඔබ වැඩි පුර ආහාරයට ගැනීම වළක්වා ඔබේ බරත් යම් මට්ටමකට පාලනය වේවි.

04. අඩුවෙන් මුත්‍රා පිට කිරීම
සාමාන්‍ය වශෙයෙන් පුද්ගලයෙක් දිනකට වාර 6-7 ත් අතර ප්‍රමාණයක් මුත්‍රා පිටකරනු ලබනවා. ඔබ දිනකට මෙම වාර ගණනට වඩා අඩුවෙන් මුත්‍රා පිට කරනවා නම් ඔබ විජලන තත්වයෙනුයි පසුවන්නේ. වකුගඩු මගින් විජලනය හැකිතාක් අවම කර ගැනීම සඳහා හැකි පරිදි ජලය ශරීරය තුල තැම්පත් කර ගැනීමට උත්සහා කර නිසා සාමාන්‍ය ප්‍රමාණයට වඩා මෙවන් අවස්තාවක වකුගඩු වැඩි වශයෙන් වෙහෙසෙනවා. මෙම තත්වය මගහරවා ගැනීම සඳහා ඔබ විසින් සිදු කල යුත්තේ දිනකට අවශ්‍ය කරන නිසි ජලය ප්‍රමාණය පානය කිරීමයි.

05. මුත්‍රා තද කහ පැහැති වීම
මුත්‍රා වල සාමාන්‍ය වර්ණය වන්නේ කහ පැහැයයි. ඔබේ මුත්‍රා සාමාන්‍ය කහ වර්ණයෙන් තද කහ වර්ණය ගනු ලබනවා නම් එයින් අදහස් වන්නේත් ඔබ විජලන තත්වයෙන් පසු වන බවයි. මේ තත්වය සිදු වන්නේ වකුගඩු තුල අඩු වශයෙන් තරලයන් අන්තර්ගත වීම නිසයි. මෙහිදී ශරීරය තුල අන්තර්ගත වන සුළු ජලය ප්‍රමාණය රඳවා තබා ඛනිජ වැනි ද්‍රව්‍යයන් මුත්‍රා ලෙස පිට කිරීමක් සිදු වනවා.

06. මළබද්ධය
විජලනතත්වය නිසා නිතර ඇතිවන රෝග ලක්‍ෂණයක් තමයි මළබද්ධය. පෙර සඳහන් කල ආකාරයටම ශරීරය විජලයන වූ විට ශරීරයටඅවශ්‍ය කරන ජලය ප්‍රමාණය ඕනෑම ඉන්ද්‍රියක් මගින් ලබා ගැනීමට ශරීරය ක්‍රියා කරනවා. එය මහා බඩවැලෙන් වන්නටත් පුළුවන්. මහා බඩවැල තුල ප්‍රමාණවත් ජල සාන්ද්‍රණය නොමැතිවීම නිසා ජීර්ණය නොවූ ආහාර කැබලි මහා බඩවැල හරහා පිටවීමේ දී ගැටළු ඇති වනවා.
07. අධික තෙහෙට්ටුව
අධ්‍යයනයන් අනුව කරුණු දක්වන ආකාරයට ශරීරය තුල නිසි ලෙස ජලය නොමැති වීම නිසා තෙහෙට්ටු ස්වභාවය ඇති වනවා. විජලනය තත්වය නිසා හෘදය මගින් රුධිර පොම්ප කිරීමට වැඩි වෙහෙසක් ගනු ලබනවා. මේ හේතුව නිසයි ශරීරයට තෙහෙට්ටු ස්වභාවයක් ඇති වන්නේ. ඔබ නැවත වතාවක් තෙහෙට්ටු භාවයට පත් වූ විට ඔබ පානය කරනු ලබන කෝපි කෝප්පය සහ ශක්ති ජනක පානය වෙනුවට ජලය වීදුරුවක් පානය කරන්න.

08. පිපාසය සහ වියළි මුඛය
නිතර දැනෙන පිපාසය මගිනුත් කියවෙන්නේ විජලනය පිළිබඳවයි. අධික පිපාසයට අමතරව නිතරම වාගේ ඔබේ මුඛය වියළි ස්වභාවයක් ගනු ලබනවා නම් ඔබ වහාම ජලය පානය කරන්න.

09. ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වලවීම
විජලනය මගින් ප්‍රතිශක්තිකරණය දුර්වල කර රුධිරයේ අඩංගු වන විෂ සහිත සංඝටකයන් ප්‍රමාණය වැඩි කරනු ලබනවා. ඔබ නිසි පරිදි ජලය පානය කරනවා නම් මෙම විෂ සහිත සංඝටකයන් ඉවත් කර ආසාත්මිකතාවයන් සඳහා සටන් වැදීමට ප්‍රතිශක්තිකරණ පද්ධතිය නැවත වර්ධනය කර ගන්නට පුළුවන්.

10. සම වියළීම සහ රැළි වැටීම
ශරීරය තුල ජලය හිගවීම නිසා සම වියළීම සහ සමෙහි රැළි ඇතිවීම ආරම්භ වනවා. (මෙම තත්වය ඇති වන එකම හේතුව මෙය නොවෙයි) නමුත් ඔබ මෙම තත්වයට මුහුණ දෙන අයෙක් නම් විවිධ ප්‍රතිකාර ක්‍රම සඳහා යොමු වීමට පෙර ප්‍රමාණවත් ලෙස ජලය පානය කර එමගින් යම් සහනයක් සැලසෙනවා දැයි විමසිලිමත් වන්න. ශරීරයේ ජලය හිගවීම නිසා සමේ දැවිල්ල වැනි තත්වයන් ඇතිවීම, සම කැසීම සහ සමේ සංවේදීතාවය අඩුවීම වැනි විවිධ තත්වයන් ඇති වන බව චර්ම රෝග විශේෂඥයෙක් වන “Diana Howard” මහතා පවසනවා. සමේ නිසි තෙතමනය දුරු වූ විට සම අකලට වියපත් වූ ස්වරූපයක් ඇති වනවා. සම නැවතත් නිසි ලෙස පෝෂණය කිරීමට නම් නිසි ලෙස ජලය පානය කිරීම අනිවාර්යයි.


දියවැඩියාව ලිංගිකත්වයට බලපාන්නේ කෙසේද


දියවැඩියාව ලිංගිකත්ව ලිංගිකත්වයට බලපාන්නේ කෙසේද දියවැඩියාව හා ලිංගිකත්වයේ අතර යම් වෙනසක් තිබේද යන්න මෙම ලිපිය තුලින් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා


දියවැඩියාව ඇතිවීම නිසා ශාරීරික මෙන්ම ලිංගික සෞඛ්‍යයටත් බලපෑම් ඇති වන බව ඔබ දැන සිටියාද?
දියවැඩියාව මගින් ලිංගික ජීවිතයට ඇති කරනු ලබන බලපෑම ශාරීරික වශයෙන්ම ඇතිවන අතුරු ආභාදයක්ම නොවෙයි. දියවැඩියා රෝගය පුද්ගලයෙකුගේ මානසික සෞඛ්‍යය බිඳ වැට්ටවීම සඳහාත් සමත් වනවා.

දියවැඩියා රෝගය ලිංගික අවයව වලට බලපෑම් ඇති කරන්නේ කෙසේද ?
දියවැඩියාව රෝගය නිසා කාන්තාවන්ට සහ පිරිමින්ට පහත සඳහන් වන ආකාරයන්ගෙන් බලපෑම් ඇති වනවා.

කාන්තාවන්ට ඇතිවන බලපෑම
දියවැඩියාව රෝගය නිසා කාන්තාවන්ගේ ස්නායු වලට බලපෑමක් ඇතිවී ලිංගික උත්තේජනය ලබා ගැනීමේ හැකියාව පහව යවනවා.

මේ තත්වය නිසා සංසර්ගය සිදු කරන විට කාන්තාවකගේ යෝනියෙන් වෑස්සෙන තරලයන් වෑස්සීම සීමාවී වේදනාවක් ඇති කර සුරාන්තයට පත්වීමට ඇති අවස්ථාව දුරු කරනවා. ආර්තවාභාවය අතර තුල පසුවන කාන්තාවකට දියවැඩියාව ඇති වුව හොත් එම කාන්තාවගේ රිධිරයේ සීනි මට්ටමේ ක්‍ෂණික වෙනස් කමක් සිදු වන්නට පුළුවන්. මේ නිසා එම කාන්තාවගේ ලිංගික සෞඛ්‍යයට දැඩි හානියක් සිදු වන්නට ඉඩ තිබෙනවා. එවන් කාන්තාවක් ලිංගිකව එක්වීමට පෙර රුධිර පරීක්ෂාවක් සිදු කිරීමයි වඩාත් සුදුසු වන්නේ.

ඒ, මෙවන් තත්වයක් යටතේ සිටින කාන්තාවක් ලිංගිකව එක්වීමේ දී රුධිරයේ සීනි මට්ටම වඩා අඩු අගයක් ගන්නා නිසා ලිංගික එක්වීම මගින් සතුටට වඩා වේදනාවක් දැනෙන නිසයි. ඒ වගේම, මෙවන් කාන්තාවකට ලිංගික සංසර්ගය මගින් දැඩි අපහසුවක් ඇති කරවන “thrush”, “cystitis” සහ මුත්‍රා මාර්ගයේ ඇතිවන ආසාදන වැනි විවිධ ආසාදන තත්වයන් ඇතිවීමේ වැඩි අවදානමක් තිබෙනවා.

පිරිමි පුද්ගලයින්ට ඇතිවන බලපෑම
දියවැඩියාව ඇති පිරිමි පුද්ගලයින්ට නිතරම වාගේ ඇති වන්නේ තම ලිංගික කාර්යය නිසි ලෙස සිදු කිරීමට නොහැකි වන පරිදි “testosterone” හෝමෝන මට්ටම පහළ වැටීමයි. කෙසේ වෙතත් දියවැඩියාව ඇති පිරිමි පුද්ගලයින්ට ප්‍රධාන වශයෙන් ඇතිවන ලිංගික සෞඛ්‍යය ගැටළුව වන්නේ ශිෂ්ණය නිසි පරිදි ප්‍රාණවත් නොවීමයි. පුරුෂයෙකුගේ ශිෂ්ණය නිසි පරිදි ප්‍රාණවත් වන්නට නම් ශිෂ්ණයට නිසි පරිදි රුධිර සැපයුමක් අවශ්‍ය වනවා. දියවැඩියාව මගින් රුධිර නාලිකා වලට හානි සිදු කිරීම නිසා ශිෂ්ණයට ලැබිය යුතු නිසි රුධිර ප්‍රමාණය නොලැබී යාමත් ස්නායු වලට හානි සිදු වීම නිසා ශිෂ්ණය සහ මොළය අතර ඇති සන්නිවේදනය අවහිර වීමත් සිදු වනවා. මේ නිසා දියවැඩියාව ඇති අයෙකුට ශිෂ්ණය ප්‍රාණවත් කර ගැනීම තරමක් අසීරු ක්‍රියාවක් වනවා.

කාන්තාවන්ට සහ පිරිමින්ට පොදුවේ ඇතිවන බලපෑම
දියවැඩියාවෙන් පීඩා විඳින පුද්ගලයින්ට නිතර වෙහෙස ඇති වනවා. දියවැඩියාව ඇති පුද්ගලයින්ට වෛද්‍ය උපදෙස් මත ඉන්සියුලින් එන්නත තමා විසින්ම ලබා ගැනීමට අවසරදී තිබෙනවා. එමගින් රුධිරයේ ඉන්සියුලින් අගය වැඩි කර රුධිරයේ සීනි මට්ටම පාලනය කර ලිංගික සෞඛ්‍යයත් තරමක් දුරට වර්ධනය කර ගන්නට පුළුවන්.

මීට, අමතරව දියවැඩියාව ඇති පුද්ගලයින් හට ලිංගික සෞඛ්‍යය බිඳ වට්ටන මානසික වශයෙන් විවිධ බලපෑම් ඇති වනවා.
එවන් උදාහරණ කිහපයක් :

තමා පිළිබඳ ඇතිවන අවතක්සේරුව

කාංසාව, ශරීරයේ බර වැඩිවීම, විෂාදය, සිත හුදකලා වීම, තනිකමක් දැනීම, ආත්මාභිමානය ගිලිහීම

දියවැඩියාව රෝගය ඇතිවීම නිසා ඇතිවන විවිධ මානසික ආභාදයන් වලට සුවය ලබා ගැනීම සඳහා “selective serotonin reuptake inhibitors (SSRIs)” වැනි “Prozac” සහ “Zoloft” ඖෂධ තිබෙනවා.

දියවැඩියා රෝගීන්ගේ ලිංගික ක්‍රියාකාරීත්වය වර්ධනය කිරීම සඳහා ඇති ප්‍රතිකාර ක්‍රම

මේ සඳහා ප්‍රධානතම ප්‍රතිකාර ක්‍රමය වන්නේ රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීම මගින් ස්නායු ආභාද ඇතිවීම වළක්වා ගැනීමයි. මේ සඳහා සිදු කල හැකි දෑ වන්නේ දිනාපතා ඉන්සියුලින් ලබා ගැනීම, රුධිරයේ ග්ලූකොස් මට්ටම පාලනය කිරීම වැනි දෑයි.

පිරිමි පුද්ගලයින් සඳහා සිදු කල හැකි ප්‍රතිකාර ක්‍රම
දියවැඩියා රෝගය නිසා ශිෂ්ණය නිසි පරිදි ප්‍රාණවත් නොවන පිරිමින් සඳහා වෛද්‍යවරු විසින් “Viagra” සහ “Cialis” වැනි ඖෂධ නිර්දේශ කරනු ලබනවා. කෙසේ වෙතත් මෙවන් ඖෂධ සෑම අයෙකුටම සුදුසු වන්නේ නෑ. (විශේෂයෙන්ම අධි රුධිර පීඩනය සහ හදවත් රෝග ඇති පුද්ගලයින්ට)

ඇතැම් පුද්ගලයින් මෙවන් ඖෂධ භාවිතා කරන අතර වාරයේ සමහරුන් වැකුම් පොම්ප “vacuum pumps” සහ ශිෂ්ණයට එන්නත් කරනු ලබන එන්නත් ආදිය භාවිතයෙන් ඵලදායීතාවය වර්ධනය කර ගනු ලබනවා. ඒ වගේම, ඇතැමුන් “penile implant” වැනි සැත්කම් වලට භාජනය වීම මගිනුත් ශිෂ්ණයේ ප්‍රාණවත් භාවය නැවත ලබාගන්නවා.

කාන්තාවන් සඳහා සිදු කල හැකි ප්‍රතිකාර ක්‍රම
කාන්තාවන් ලිංගිකව එක්වීමට පෙර යම් ලිහිස්සි ද්‍රාවණයක් යෝනි මාර්ගයේ තවරා ගන්නවා නම් සංසර්ගයේදී ඇති වන වේදනාව තරමක් දුරට දුරු කර වින්දනයක් ලබන්නට පුළුවන්. මෙවන් ද්‍රාවණයන් අන්තර්ජාලයෙන් පවා පහසුවෙන් මිලදී ගන්නට පුළුවන්.

හෝමෝන ලබාදීම මගින් සිදු කරනු ලබන ප්‍රතිකාර
කාන්තාවන්ගේ මෙන් පිරිමින්ගේ ද ලිංගික හැකියාව නැවත වර්ධනය කරන සාර්ථක ක්‍රමවේදයක් තමයි මේ හෝමෝන ලබාදීම. කෙසේ වෙතත් මෙමගින් විවිධ අතුරු ආභාද ඇතිවීමට හැකියාව ඇති නිසා මෙවන් ප්‍රතිකාර ක්‍රම වෛද්‍යවරුන්ගේ අනුමැතිය ඇතිව සිදු කල යුතු වනවා.

නැතිවී ගිය ලිංගික ක්‍රියාශීලීත්වය වර්ධනයට ජීවන රටාවේ සිදු කරනු ලබන වෙනස්කම්
දියවැඩියාව ඇති කාන්තාවන් සහ පිරිමින් සෞඛ්‍යය සම්පන්න ජීවන රටාවකට හුරුවීම මගින් නැවතත් ලිංගික ක්‍රියාශීලී බවක් වර්ධනය කර ගන්නට පුළුවන්. දිනපතා සෞඛ්‍යයට හිතකර ආහාර ලබා ගන්න ඒ වගේම, ව්‍යායාම වලත් නිරත වන්න. තරබාරු පුද්ගලයෙකු දියවැඩියා රෝගයෙන් පීඩා විඳිනවා නම් තරබාරු භාවය අඩු කර ගැනීම මගිනුත් ලිංගික ජීවිතය වර්ධනය කර ගන්නට පුළුවන්.

Kegel ව්‍යායාම
කාන්තාවන් විසින් මෙම ව්‍යායාමය සිදු කිරීම මගින් ලිංගික ක්‍රියාකාරීත්වය වර්ධනය කර ගන්නට පුළුවන්.
පහත සඳහන් වන පියවරයන් අනුගමනය කර “Kegel” ව්‍යායාම සිදු කර ශ්‍රෝණි මාංශ පේශී වර්ධනය කර ගන්න:

ඔබ මුත්‍රා කරන විට මුත්‍රා කිරීම නතර කරන්නට උත්සහා කරන්න. එහි දී උපකාර වන මාංශ පේශී ශ්‍රෝණි මාංශ පේශී ලෙස හඳුන්වනු ලබනවා. නැත්නම් ඔබේ එක් ඇඟිල්ලක් යෝනිය තුලට දමා එම ඇඟිල්ලෙන් යෝනිය තුල ඇති මාංශ පේශී මිරිකන්න. (මෙම ආකාර දෙකෙන් ඔබට ශ්‍රෝණි මාංශ පේශී හඳුනා ගන්නට පුළුවන්)

ඊළඟ පියවර ලෙස මෙම මාංශපේශී තප්පර තුනක කාලයක් තද කර තබා ගෙන තප්පර තුනක කාලයක් ලිහිල් කර ගන්න. මේ ආකාරයට මෙම ව්‍යායාමය නොනවත්වා දස වතාවක් සිදු කරන්න. දිනකට දෙවතාවක් මෙම ව්‍යායාමය සිදු කර ඉහත සඳහන් කල තප්පර තුනේ කාලය තප්පර පහ දක්වා දික් කරන්න.

පිරිමි පුද්ගලයින්ට පවා මෙම “Kegel” ව්‍යායාමය සිදු කර ලිංගික හැකියාව වර්ධනය කර සුරාන්තයට පත්වීම් පවා දිගු කර ගන්නට පුළුවන්. දියවැඩියා රෝගියෙකුගේ මානසික ආතතිය දුරු කර ගැනීම සඳහා භාවනා සිදු කිරීම, පොත් පත් කියවීම, යෝගා අභ්‍යාසය වල යෙදීම වැනි කාර්යයන් සිදු කර මානසික ආතතිය දුරු කර ගැනීම වඩාත් වැදගත් වනවා. අවවාදයයි: මෙම ලිපියේ විවිධ ප්‍රතිකාරක්‍රමයන් පිළිබඳ සඳහන් වුවත් ඔබට දියවැඩියා රෝගයෙන් ලිංගික අකර්මන්‍යතාවයක් ඇතිවී තිබෙනවා නම් ප්‍රථමයෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගැනීමයි සුදුසුම ක්‍රියාව වන්නේ.

අන්තර්ජාලය ඇසුරෙනි